මේ දවස්වල ලෝචනානම් ඉන්නේ මුහුදෙන් එයා නෙදර්ලන්තයේ. ලෝචනායි, පුංචි පුතායි ලසන්ත ඉන්න රටට ගිහින්. ලසන්ත කියන්නේ ලෝචනාගේ ආදරණීය සැමියා. ලෝචනා නෙදර්ලන්තයට යන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී අපි ලෝචනාට කතා කළා. ඒ වෙලාවෙනම් ලෝචනා හරි හරියට වැඩ. බලමු, මේ හදිස්සියේ ලෝචනා ලසන්තව මුණගැහෙන්න යන්නේ මොකද කියලා.
කොහෙද ලෝචනා මේ එහාට මෙහාට දුවන්නේ?
අම්මෝ... එකපාරටම ඔහොම ඇහුවමත් බය හිතෙනවා. අනේ... වැඩ.. වැඩ.. ඒවාට තමයි මේ දුවන්නේ.
මොනවද ඔච්චර වැඩ. රට අතහැරලා යන එකටද ඔච්චර එහාට මෙහාට දුවන්නේ?
ඔව්... අනේ.. හැබැයි වැඩි කාලෙකට නෙමෙයි යන්නේ. මාස තුනකටයි යන්නේ.
එකපාරක් ලෝචනා නෙදර්ලන්තයට ගියා නේද?
ඔව්.. ඒ පුතා ලැබෙන්න කලින්. ඒ ගිහින් බොහොම අමාරැවෙන් මාසයක් ඉඳලා ලංකාවට ආවා.
ඒ මොකෝ ඒ.. මහත්තයත් හිටපු නිසා තව ටික දවසක් ඉන්න තිබුණනේ..?
අනේ.. බෑ අනේ... එහේ හරි පාළුයි. ලසන්ත වැඩට ගියාම හරිම පාළුයි. මම හැදිලා තියෙන්නේ කට්ටියත් එක්කයි. නෑදෑයෝ, යාළුවෝ මට ඕනේ. එහේ පාළුයි. නිදහසේ ඉන්න තනියම ඉන්න අයට ඉන්න පුළුවන්. මම වගේ කෙනෙක්ටනම් මළාට ඉන්න බෑ.
කවුද ඔය දෙන්නා එක්ක යන්නේ?
මායි පුතායි එක්ක මගේ අම්මයි තාත්තයි දෙන්නත් නෙදර්ලන්තයට යන්න එනවා.
දැන් ඔහොම මාස තුනක් නෙදර්ලන්තයේ හිටියම ලෝචනා බාරගත්ත වැඩවලට මොකද වෙන්නේ?
ඒ හැමදෙයක්ම කලින් කරලා මම ඉවර කළා. කොහොමටත් මම ලංකාවට ආවට පස්සේ තමයි ආයෙත් වැඩ පටන් ගන්නේ. මේක මේ හරි හදිස්සියෙනේ යන්නේ පුතා නිසා. ඒක නිසා ඒ තියන ඒවා කතා කරලා ඉවරවෙලා තමයි යන්නේ.
පුතා දැන් දඟයි නේද..?
නේදුල පුතා හරි දඟයි. පුතාත් එයාගේ අම්මා වගේම දඟයි. මම ඒ දඟකාරකම්වලට හරි කැමතියි.
පුතා ඉපදෙන්න ඉඳිද්දි ලෝචනා ආසාවෙන් හිටියෙ දුවෙක්ටද.. පුතෙක්ටද..?
මමනම් ආසාවෙන් හිටියේ පුතෙක්ට. අපේ පවුලෙත් ඉන්නේ ගෑනු ළමයි තුන්දෙනෙක්. ඒ නිසා මම ආසාවෙන් හිටියේ පුතෙක්ට. හැබැයි දුවෙක්ටත් ආස කළා. පුතෙක් වුණත් දුවෙක් වුණත් ඉතින් ඒ මගේමනේ. හැබැයි ඩොක්ටර් මට පුතෙක් කිව්වට පස්සේ මට ඒ ඉන්න තැනත් අමතක වුණා.
ඒ වුණාට ලසන්ත ආසාවෙන් හිටියේ දුවෙක්ට නේද..?
ඔව්.. අනේ. ලසන්තගේ පවුලේ පිරිමි ළමයි ගොඩාක් ඉන්නේ. ඉතින් එයා ආසාවෙන් හිටියේ දුවෙකුට. එයා ඩොක්ටර්ට කිව්වෙම දුවෙක් කියලා. අන්තිමට ඩොක්ටරුයි එයයි ඔට්ටුවක් පවා ඇල්ලුවා. අන්තිමට ඩොක්ටර් දිනුම්.
ලසන්ත හිටියේ ලංකාවේ නෙමෙයිනේ. ලංකාවේ හිටපු ලෝචනාට පිටරට හිටපු පිරිමි ළමයෙක්ට හිත ගියේ කෙහොමද?
මේක විවාහ යෝජනාවක් මත සිදුවුණ විවාහයක්. අපේ අම්මලා මට කෙනෙක්ව හොයන කාලෙදි සේමිණි අක්කගේ මාර්ගයෙන් තමයි මේ යෝජනාව ආවේ.
යෝජනාව ආවට පස්සේ ලෝචනා ලසන්ත එක්ක කතා කළාද?
නෑ.. යෝජනාව ගෙනාවට පස්සේ ලසන්තගේ ගෙදරිනුයි, අපේ ගෙදරිනුයි මේ දේවල් කතා කරලා ඉවරවෙනකම්ම මට කවුරුවත් ලසන්තගේ ෆෝන් නම්බර් එකවත්, එයාට මගේ නම්බර් එකවත් දුන්නෙ නෑ.
බොහොම පොඩි කාලයක් ඇතුළත ඔයාලගේ විවාහය තීන්දු වුණා නේද..?
ඔව්.. අවුරුද්දක් ඇතුළත ඒ හැමදෙයක්ම තීන්දු වුණා. ලසන්තත් ලංකාවට ආවා. අපි මුණගැහුණා. එයා මට හොඳයි කියලා හිතුණා. මාව එයාට හොඳයි කියලා හිතුණා. ගෙවල් දෙකේම ආශීර්වාදයත් එක්ක අපි විවාහ වුණා.
ලසන්තට කැමති වෙන්න තිබුණ විශේෂ ගතිගුණ මොනවද.. ඇයි ලසන්තට කැමති වුණේ?
එයා නපුරු කෙනෙක් නෙමේ. හරිම කූල්. එයා මම වගේ නෙමෙයි. මම හැමදේටම ගිනි අරන් වගේනේ ඉන්නේ. එයා එහෙම නෑ. ඒක නිසා වෙන්නත් ඇති මම ලසන්තට කැමති වුණේ.
ලෝචනා පුතා ඉපදිලා මාසෙන් ආයේ රූගත කිරීම්වලට සහභාගි වුණා නේද..?
ඔව්.. මට ඒක කරන්න සිද්ධ වුණා. මම කලින් කරපු නාට්‍යයත් බබා ඉපදුණාට පස්සේ විකාශනය වෙන්න පටන් ගත්තා. ඉතින් ඒකත් එක්ක ඉතුරු ටික රූගත කරන්න සිද්ධ වුණා. ඉතින් පුතා අම්මා ළඟ තියලා මට ෂූටින්වලට යන්න සිද්ධ වුණා.
ලසන්ත ඔය ගිය ගමන පුතාත් එක්ක එහේ නවතින්න කියයිද දන්නේ නෑ?
එහෙම වුණොත් මෙහේ මම බාරගත්තු වැඩවල මිනිස්සු අමාරුවේ වැටෙනවා. හැබැයි කියන්න බෑ. ලසන්තගේ අදහසුත් එකපාරටම වෙනස් වෙනවා. හැබැයි ලසන්ත මාව වගේම මේ ෆීල්ඩ් එක තේරුම් ගත්ත කෙනෙක්. ඒ නිසා එහෙම කියන එකක් නෑ.
Text — Jayamali / Pic — Internet