කළණ.. මේ දවස්වල තොරතුරැ එහෙම කොහොමද?
මේ දවස්වල ඉන්දික ගුණවර්ධනගේ රැහැයියෝ කියලා අලුත් ටෙලිනාට්‍යයක වැඩ පටන්ගෙන තියෙනවා. ඒ වගේම පොදු නාට්‍යයේ දෙවෙනි කොටස පටන්ගන්න යන්නෙ. ඒකෙ වැඩවලට ලෑස්ති වෙනවා.
කළණ.. ඔබ Travel කියන දේ විනෝදාංශයක් වශයෙන් කරන කෙනෙක්ද?
ඇත්තටම ඔව්. මම Travel කරන එක අවුරුදු ගාණක ඉඳන් කරනවා. මේ ළඟදිත් මගේ යාළුවෝ කිහිප දෙනෙක් සමඟ මීගල කැලෙත් ගිහිල්ලා හිටියා. මම ගොඩක් වෙලාවට ඇවිදින්න යන්න කැමති කැලෑ, දියඇලි, කඳු වගේ තියෙන ප්‍රදේශවලට තමයි. ඊයේ පෙරේදා දවසක මමයි මගේ යාළුවෝ කට්ටියකුයි චිත්‍රපටයක වැඩකට ලංකාවේ වටේ 3000km වගේ ගිහිල්ලා ආවා. ඒකයි මම මුලින්ම කිව්වෙ මම ඇවිදින්න හරි කැමති කෙනෙක්.
ඔබ ඒ ඇවිදින්න ගිය තැන් අතරින් ඔබගේ හිතට දැනිච්ච තැනක් එහෙම ඇති?
මම දියඇලි සහ කඳුවලට ගොඩක් කැමති කෙනෙක්. මොකද මම ලිව්වා නවකතාවක් ප්‍රේමණීය සාරාගිනිය කියලා. ඒ පොතේ තියෙන්නෙත් ගැහැනියකගේ හැඩයක් ඇති කන්දක් ගැන. කඳු කියන එක ගැහැනියකට ආදරයට සරාගීත්වයට සමාන කරන්න මම හරි කැමතියි. ඒ තරමට මම පරිසරයට ආදරය කරන කෙනෙක්. මීට අවුරුදු 10කට විතර කලින් මමයි මගේ යාළුවෝ කිහිප දෙනෙකුයි ගියා ලොකූ කියලා මගේ යාළුවෙක්ගෙ ගෙදරකට. එයාගේ අම්මා නැතිවෙලා. එයා ඉන්නෙ තාත්තත් එක්ක නිල්ගල කැලේ මැද්දෙ. නිල්ගල කැලේ 7km වගේ මැද්දට යන්න ඕනෙ. අපි එහේ ගිහින් මාසයක් වගේ හිටියා. ඒ ගමනෙදි අපි ඉගෙන ගත්තා කැලේ ජීවත්වෙන විදිහ කොහොමද කියලා. මාසයක පමණ කාලයක් කැලේ ජීවත් වෙද්දි අපිට එකපාරක් හාමුදුරැ නමකුත් මුණගැහුණා. අර මම කලින් කියපු මම ලියපු පොතෙත් නිල්ගල කැලේ ජීවත් වෙද්දී අපි මුහුණදුන් යම් යම් සිද්ධි ගැන විස්තර තියෙනවා. ඒ කැලෑවේ ඇති කොළ පාටට වතුරවලට සහ වතුරවල සද්දෙට මම ආදරේ කරනවා. ඒ නිසයි මගේ හිතට ඒ ගමන එච්චරටම දැනුණේ.
මේ වගේ ගමනක් යනකොට ඔබ ඒ ගමන සැලසුම් කරන්නෙ කොහොමද?
අපි ගොඩක් වෙලාවට සැලසුම්සහගතව නෙවෙයි Travel එකක් කරන්නෙ. එකපාරක් අපි කොත්මලේ යන්න සැලසුම් කළා දවස් තුනක් ඉඳලා එමු කියලා. හැබැයි ඒ ගමන ගිහිල්ලා ආවේ දවස් 17කින්. ඒ ගමන ගියේ මමයි කෝරළගේ සමනුයි නාමලුයි. එහේ ගියාට පස්සේ එහෙත් යාළුවෝ වගයක් සෙට්වෙලා අපි දන්නැති තැන් ගොඩකට ගියා. සමහර දවස්වලට අපි ගාල්ලේ යනවා කියලා සිංහරාජෙත් ගිහිල්ලා සිංහරාජෙන් බෙලිඋල් ඔයට ගිහිල්ලා එහෙන් බණ්ඩාරවෙලට ගිහිල්ලා බණ්ඩාරවෙලින් හම්බන්තොටට ගිහිල්ලා ආපු අවස්ථාත් තියෙනවා. සමහර මිනිස්සු සල්ලි තියෙන නිසා Travel කරනවනෙ. අපි ඇත්තටම යන්නෙ සල්ලි තියෙන නිසා නෙවෙයි. එකපාරක් ගමනක් ගිහිල්ලා යාළුවෙකුට කෝල් කරලා බැකුවට සල්ලි දාගෙන ඒකෙන් වාහනේට තෙල් ගහගෙන අපි බලංගොඩ ගියා. එහෙම හරි සල්ලි හොයාගෙන Travel කරන පොඩි එකක් අපි ගාව තියෙනවා. දැන් මේ කාලෙත් අපේ වැඩ ඉවර වුණු ගමන් කොහේ හරි අපි සෙට් එක යනවා. හැබැයි ඔය ගිය කිසිම ගමනක් ලොකුවට සැලසුම් කරන්නෙ නෑ.
කළණ.. ඔබ ලංකාවේ ගොඩක් තැන්වල Travel කරපු කෙනෙක්. ඒ ගියපු තැන්වලදි ඔබට සිදුවූ අමතක නොවන සිදුවීම් එහෙම ඇති නේද?
අමතක නොවන සිදුවීම්නම් ගොඩක් තියෙනවා. එකපාරක් නිල්ගලදි මට මීඋණ හැදුණා. ඊටපස්සෙ මට එන්න වුණා. මම මාර දුරක් පයින් ආවා. එහෙම පයින් එද්දි බයිසිකලයක් හමුවුණා. ඊටපස්සෙ ඒ බයිසිකලෙන් මහියංගණයට ආවා. මහියංගණයෙන් නුවරට ඇවිල්ලා නුවර ඉඳන් බස් එකෙන් කොළඹට ආවා. කොළඹට එද්දි මට කෙලින් හිටගන්න බැරි තරම්. ඊටපස්සෙ මම පාරේ අයිනක වාඩිවෙලා එළිවෙනකම් ඉඳලා තමයි ගෙදර ගියේ. ගෙදර ගිහිල්ලා බෙහෙත් ගන්න ගියාට පස්සෙ තමයි දන්නෙ මට මීඋණ හැදිලා තියෙන්නෙ කියලා. ඔය සිද්ධිය නම් මට කවදාවත් අමතක නොවන සිදුවීමක්.
ඔබ අහලා දැකලා ඇති සමහරැ Travel කරන එක ඡායාරෑපවලින් විතරක් විඳිනවා. ඔබ ඒ ගැන මොකද හිතන්නෙ?
කොහොමහරි විඳිනවානම් එකෙ කිසිම ප්‍රශ්නයක් නෑ. සමහර වෙලාවට ඇස් දෙකෙන් විඳින එකා ඡායාරූපයෙන් විඳින එකාට බණින්න පුළුවන්. ඡායාරූපයෙන් විඳින එකා ඇස් දෙකෙන් විඳින එකාට බණින්න පුළුවන්. හැබැයි මම කැමතියි යන තැන ඇස් දෙකෙන් විඳලා ඡායාරූප අරගෙන fb වගේ සමාජජාලාවල ඒ පින්තූර දානවට තමන් කන බොන ඒවා දානවාට වඩා. මොකද කන කෑමවල පින්තූර fb දානවා කියන්නෙ බඩගිනි හැදිච්ච එකෙක්ට ඒ පින්තූරය රසවිඳින්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නෙ නෑ. මිනිස්සු කන කෑම ඒකේ පින්තූර දාලා කරන්නෙ තමන්ගෙ සල්ලි පෙන්නන එකයි. හැබැයි අපි ඇවිදින්න ගිය තැනක ඡායාරෑපයක් අරගෙන සමාජජාලවලට දාන එකෙන් වෙන්නෙ ඒ තැනට ගිහිල්ලා නැති කෙනෙකුට වුණත් ඒ තැන ඡායාරෑපයෙන් හරි විඳින්න පුළුවන්නෙ. සමහර මගේ යාළුවොත් පිටරටවල්වල ගියාම ඒ යන තැන්වල ඡායාරෑප දානවා. මම ඒකට හරි ආසයි. මොකද මම නොගියපු තැනක් ඡායාරෑපයෙන් හරි මම විඳිනවනෙ. ඒ නිසා මම හිතන්නෙ ඡායාරෑප ගන්න එක හොඳයි කියලයි.
කළණ.. ඔබ අනාගතයේදි ඇවිදින්න යන්න ආසා කරන තැනක් තියෙනවාද?
ගොඩක් තැන් තියෙනවා. ඒ අතරින් විශේෂ ආසාවක් තියෙනවා හිමාලයට යන්න.
ඇයි ඔබ හිමාලයට යන්න විශේෂ ආසාවකින් ඉන්නෙ?
ඇයි කියලා මම දන්නෙ නෑ. හිමාලය කිව්වාම මම ඒක විඳලා නෑනෙ. ඒ නිසා මම ආසයි හිමාලයට යන්න.
Travel කරනවා කියන එක ඔබ දකින්නෙ කොහොමද?
මම හිතන්නෙ අපි ජීවිතේ පටන්ගත්ත දවසේ ඉඳන් කරන්නෙ Travel තමයි. මිනිස්සු මානසිකව Travel කරනවා. ශාරීරිකව Travel කරනවා. හැබැයි ශාරීරිකව Travel කරන්න පුළුවන්නම් එක තැන ඉන්නෙ නැතිව ජීවිතේ ඉදිරියට යන්න ලේසියෙන් පුළුවන් වෙනවා කියන එකයි මම හිතන්නෙ. ඒ නිසා මම දකින විදිහටනම් ඇවිදිනවා කියන්නෙ ඇත්තටම හොඳ දෙයක්.