ඒකාලේ අවුරුදු අද කාලෙට වඩා වෙනස් කියලා දැනෙන හැෙඟන දෙයක්. මිනිස්සු මිනිස්සුන්ට ළං වෙච්ච යුගය පහුකරලා මිනිස්සු සන්නිවේදන මාධ්‍යයන් එක්ක ළං වෙච්ච යුගයක සිංහල අලුත් අවුරුදු සම්ප්‍රදායන් විතරක් නෙවෙයි තවත් හුඟක් වටිනාකම් ඈතකටම ගිහින් කියලා අපිට හිතෙනවා. වර්තමානය ගැන එහෙම හැඟීමක් දැනෙද්දී අතීතය ගැන කතා කරන්න අපි හිතුවා.. එදා සිංහල අලුත් අවුරුද්ද ගත කළේ කොහොමද කියලා කීප දෙනෙක්ගෙන් අපි ඇහුවේ අන්න ඒ හින්දා..
අද කාලේ වගේ නෙවෙයි මම පුංචි කාලේ මට හරි ලස්සන, සුන්දර අවුරුදු කාලයක් තිබුණා. ඒ කාලේ හැම අවුරුද්දෙම ජනවාරි මාසේ ඉඳන් පුංචි අපි අප්‍රේල් මාසය ළංවෙනතුරු දින ගණන් කළා. අප්‍රේල් මාසය උදාවෙනවා කියන්නේ වෙනමම සුන්දර කාලයක්. අවුරුද්දට කලින් දවසේ රූ මට නින්ද ගියේ නැහැ. එළිවෙනකම් බලන් හිටියේ අවුරුද්ද ලබන දවස එනතුරුයි. මගේ ගම පොළොන්නරුවේ. ගමේ තිබුණ ඒ අසිරිය වෙනමම සුන්දරත්වයක් එකතු කළා. අපේ වත්තේ ලොකු කජු ගහක් තිබුණා. ඒ කජු ගහේ ලොකු අත්තක් ගෙයි වහළෙට තමයි බරවෙලා තිබුණේ. අවුරුදු කාලෙට ඒ කජු ගහේ කජු පිරුණා. ඒ නිසා වැඩි කාලයක් ඒ කාලේදී මම අපේ ගෙයි වහළෙ උඩ හිටියා. ඉස්කෝලේ නිවාඩුව ලැබුණා. ඒ කාලේ අපි චක්ගුඩු ගැහුවා. කැට ගැහුවා. නිදහස උපරිමයෙන් තිබුණා.
අවුරුදු කාලයත් එක්ක ඒ සොබාදහමත් වෙනස් වුණා. අලුත් ඇඳුම් ඇඳගෙන අවුරුදු සමරපු ඒ සුන්දර අවුරුදු කාලයට මම හරි ආදරෙයි. අද හැමදෙයක්ම වෙනස් වෙලා හැමෝම කාර්යබහුල වෙලා. ඒත්... තාමත් අවුරුදු කාලයට කොහාගේ ඒ හඬනම් වෙනස් වෙලා නැහැ.
අපි අද කොච්චර වයසට ගියත් අපි ළමා කාලයේදී ගතකරපු ඒ අවුරුදු කාලයට හරි ආදරෙයි. මටත් ඒ වගේ ලස්සන අවුරුදු කාලයක් තිබුණා. ගැමි පරිසරයත් එක්ක ගෙවිච්ච ඒ කාලය ගැන මතක් වෙද්දී හිතට පුදුමාකාර සතුටක් දැනෙනවා. අද ඕනෑම කෙනෙකුට කොච්චර බලතල, කොච්චර සල්ලි තිබුණත් ඒ ළමා කාලයේදී දැනුණ ඒ හැඟීම ආයෙත් ගන්න බැහැ.
අද ගොඩක් ඉන්නේ අසාමාන්‍ය මිනිස්සු. නමුත් මේ සමාජයේ ඉන්න සාමාන්‍ය මිනිස්සු ඇතුළේ හැමදාමත් තමන්ගේ ළමා කාලයේදී ජීවත්වුණු ඒ පුංචි දරුවා ජීවත් වෙනවා. ඒ ළමා මතකයන් කවදාවත් අපිට මරන්න බැහැ. අවුරුදු සීයක් ජීවත්වුණු ඒ හැම සාමාන්‍ය මනුස්සයාගේම ජීවිත ඇතුළේ අවුරුදු කාලයේදී ජීවත්වුණු පුංචි දරුවෙක් ඉන්නවා. ඒක හරි සුන්දර මතකයක් තියෙන අතීතයක්.
ඉස්සර මම අවුරුදු කාලේදී හරි ආසාවෙන් ලඩ්ඩු කෑවා. ඒක තමයි මම ආසම කරපු කෑම වුණේ. ඒත් එකදවසක් අවුරුද්දට ලඩ්ඩු හදපු වෙලාවක මගේ තිබුණ කෑදරකමට මට ඒ ලඩ්ඩු විස්සක් විසිපහක් විතර කෑවා. හැබැයි මම ඒක කාලා ටික වෙලාවයි හිටියේ. එකපාරටම ටැප් එකක් ඇරියා වගේ ඒ කාපු ලඩ්ඩු ටික මං වමනේ කළා. එදායින් පස්සේ ලඩ්ඩු මට පෙන්නන්නම බැරි කෑමක් වුණා. ඒ තරමටම ඒක මට අප්පිරියායි. අපි අවුරුද්දේ කෑම ගත්තේ දෙවියන්ට පූජා කළාට පස්සෙයි. හැබැයි හොරකම් කරලා හොරෙන් කාපු ලඩ්ඩු මට ජීවිත පාඩමක් ඉගැන්නුවා. අදටත් කහපාට ටෙනිස් බෝලයක් දැක්කත් මට වමනය යන්න එනවා. ඒ තරමටම ලඩ්ඩු මට අප්පිරියා වුණා.
ඒ කාලේ අපි හිටපු පාරේ සිංහල බෞද්ධ ගේකට තිබුණේ අපේ ගේ විතරයි. හැදුණේ වැඩුණේ කතෝලික මිනිස්සු හිටපු වටපිටාවක. සිංහල අවුරුද්ද ඒ පාරෙන්ම සැමරුවේ අපි විතරයි. ඒ නිසා ඒ පාරේ හිටපු ළමයි අපේ ගෙදරින් එන කෑම පිඟන්වලට හරි ආසයි. විශේෂයෙන් අපේ අම්මා හදන කැවුම්, නාරං කැවුම් කන්න ඒ අය හරි ආසයි. ඉතින් අවුරුද්ද ලැබුවට පස්සේ මායි, මල්ලියි අලුත් ඇඳුම් ඇඳගෙන ඒ ගෙවල්වලට කෑම පිඟන් අරන් ගියා. මම ගොඩාක් පුංචි කාලේ අපි විතරක් ඒ අයට කෑම අරගෙන යන්නේ ඇයි..? ඒ අය කෑම ගේන්නේ නැහැනේ* කියලා අපේ අම්මගෙන් අහලා තිබුණලු. අපේ අම්මා හැමවෙලේම බෙදාගැනීම බැඳීම ගැන අපිට කියලා දුන්නා. පහුකාලේදී මායි, මල්ලියි අම්මා අවුරුද්දට කෑම පිඟන් හදලා දෙනතුරු බලාගෙන හිටියා.
අදටත් අපි ඒ චාරිත්‍ර වාරිත්‍ර කරනවා. අවුරුද්දට ගෙදර හිටියොත් ඒ හැම නැකතක්ම අපි ඉටු කරනවා. මේ පාර අපි සිංහල අලුත් අවුරුද්ද එක්තරා නාළිකාවක තමයි සමරන්නේ. නමුත් ඒ දවසටත් ඒ හැම නැකැතක්ම මගේ පුතාට බලාගන්න පුළුවන් වේවි. සම්ප්‍රදායික මේ හැම චාරිත්‍රයක්ම අපි අපේ දරුවන්ට කියලා දෙන්නම ඕනේ.
පුංචි කාලේ මම මගේ ආච්චියි, සීයයි එක්ක ඒ දෙන්නගේ ගෙදර තමයි හැදුණේ. මගේ ආච්චිට හරි රසට කෑම හදන්න පුළුවන්. ඒ නිසා මගේ ආච්චි සෑම සිංහල අලුත් අවුරුද්දකම හැම සිංහල කැවිලි වර්ගයක්ම හැදුවා. ඒවා හදද්දි ආච්චිගේ තනියට එයා ළඟට වෙලා සින්දු කිය කියා පුංචි බංකුවක වාඩිවෙලා හිටපු ඒ ලස්සන අතීතයට මම හරි ආදරෙයි. අලුත් අවුරුදු දවසේ ඒ නැකතට ගැලපෙන පාටට මට හරි ලස්සන ගවුමක් හැම අවුරුද්දෙම ආච්චි මහලා දුන්නා. ඒ අලුත් ගවුමත් ඇඳගෙන ආච්චි හදපු කිරිබත්වලින් සීයා මට නැකැතට කිරිබත් කෑල්ලක් කැව්වා. කිරිබත් කෑවට පස්සේ ආච්චි හරි රස කෑම වේලක් හැදුවා. ඒක ලොකු කෑම මේසයක්.
එදාට මගේ අම්මා ඇතුළු හැම දරුවෙක්ම ආච්චිගෙයි, සීයාගෙයි ගෙදර ආවා. මම ඒ කාලේ මුං කැවුම් කන්න හරි ආසයි. ආච්චි කැවිලි හදද්දී මටත් ඔය කොකිස් බදින්න ටිකක් ඉඩ දෙනවා. මම ඒවාට ආච්චිට උදව් කරන්නේ හරි ආසාවෙන්. මම හදපු කොකිසයක් පෙන්නලා &මේ මම හදපු කොකිස්* කියලා ඒ කාලේ මම ආඩම්බරයෙන් කිව්වා අදටත් මට මතකයි.
ළමා කාලයේදී මගේ අවුරුද්ද මට මීට වඩා දැනුණා. දැන් ඒ අවුරුද්ද අපිට දැනෙන්නේ නැහැ. මේ කාලේදී අපිට අපේ අවුරුද්ද ගෙදර අයත් එක්ක සමරන්න ලැබෙන්නේ හරිම අඩුවෙන්. සමහර කාලවලදී විදෙස් රටක. සමහර කාලවලදී විද්‍යුත් නාලිකාවක් එක්ක තමයි අපිට ඒ අවුරුද්ද සමරන්න වෙලා තියෙන්නේ.
පිංපොං වුණාට පස්සේ සමරන අවුරුදුවලට වඩා පිංපොං වෙන්න කලින් රජිත හිරාන් ගතකරපු අවුරුද්ද හරි වෙනස්. අද මගේ තාත්තා ජීවතුන් අතරේ නැතත් ඒ කාලේ මම අවුරුද්ද සැමරුවේ මගේ අම්මයි, තාත්තයි, මල්ලියි එක්කයි. අම්මා හැම නැකැතක්ම හරියටම කළා. ළිපේ අළු අයින් කළා. නොනගතයේ වැඩ නැවැත්වූවා. ඒ දවසට පැකට් එක කඩපු අලුත් අඳුමක් මටයි, මල්ලිටයි ලැබුණා. ඒ අලුත් ඇඳුම්වල පුසුඹට මම හරි ආසයි. කිරිබත් කාලා අපි හැම අවුරුද්දෙම තාත්තාගේ අක්කාගේ ගෙදර ගියා. එදාට අපි අපේ නෑදෑ සහෝදර සහෝදරියන් එක්ක කැට ගැහුවා. සෙල්ලම් කළා. ඒක වෙනස්ම අත්දැකීමක්.
සිංහල අලුත් අවුරුද්ද කියන්නේ අපි උපරිම සතුටින් ගත කරපු කාලයක්. අපේ පවුලේ අයියයි මමයි නංගිලා තුන්දෙනයි අපි ඔක්කොම පස්දෙනෙක්. අපි පස්දෙනාටම තාත්තාගේ බාලම නංගි අපේ නැන්දා තමා අවුරුද්දට අඳින්න ඇඳුම් මහලා දුන්නෙ. එකම විදිහෙ ගවුම් තමා නංගිලාට මට මැහුවේ. පරණ අවුරුද්දට ස්නානය කරන නැකත ආවාම අම්මයි තාත්තයි අපි පස්දෙනා ගෙවල් කිට්ටුව තියෙන ඕවිට ළඟ පින් ළිඳට එක්ක යනවා නාන්න. අපේ අම්මා හරියටම නැකැත් සිරිත් විරිත් කරනවා. අද අපි පස්දෙනාගෙන් අයියා ඉන්නෙ ඉතාලියේ. එක නංගි කෙනෙක් ඕස්ට්‍රේලියාවේ. ඉතින් එදා වගේ එකට හමුනොවුණට අදටත් අම්මයි තාත්තයි හරියටම ගෙදර ඒ නැකැත් කරනවා. නැකැත් වෙලාවට වෙන ගමනක්වත් අම්මා දාගන්නෙ නෑ. හිසතෙල් ගාන්න අපි අම්මාගේ පාදුක්කෙ ගෙදර ගියා. ඒ සීයා තමා අපේ හිසතෙල් ගෑවේ. ගමේ ආච්චි කෙනෙක් උදව්වට අඬගහගෙන අම්මයි ආච්චියි කැවුම්, කොකිස්, ආස්මී ඔක්කොම කෑම ගෙදර හැදුවා. මම කන්න ආසම කෑම තමා ආස්මී.
තාත්තා අපිට ඔංචිල්ලාවක් බැඳලා දෙනවා. රතිඤ්ඤා ගෙනත් දෙනවා. අපි කැට ගහනවා. ගනුදෙනු කරද්දි තාත්තා අපි පස්දෙනාටම සල්ලි දෙනවා. නෑදෑයොත් සල්ලි දෙනවා නෑගම් ආවම. ඉතින් හරි ආසයි අපි සල්ලි ලැබෙද්දි. අවුරුදු දවසට අම්මා රසම රස කෑම හුඟාක් හදලා හරිම සරු බත් මේසයක් ලෑස්ති කරනවා. අපේ ගෙදර අවට තියෙන කතෝලික ගෙවල්වලට අම්මා හැම අවුරුද්දකම හොඳ බත් පිඟානක් යවනවා. ගමේ හැම ගෙදරකටම වගේ රසකැවිලි දෙනවා. මගේ තාත්තා අමරසිරි පීරිස් කියන්නේ ගමේ හැමෝම වගේ ආදරේ කරන කෙනෙක්. ඉතින් තාත්තා අතින් ගනුදෙනු කර ගත්තම සුබයි කියලා හුඟාක් අය ඒ කාලේ අපේ ගෙදරට එනවා ගනුදෙනු කරන්න. අවුරුදු දවස් තරම් සතුටු කාලයක් අපිටනම් තවත් තිබුණෙ නෑ. දැනුත් ඒක එහෙමමයි.