2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා

බැඳීම් උපදින්නෙම රිදුමක් එක්කමයි...

 2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා, පෙ.ව. 05:59 261

ජීවිතයේ මඟහැරෙන තත්පරයක් ආයෙ කවදාවත් එන්නෙ නෑ. සමහරවිට ඒ මඟහැරෙන තත්පරය කියන්නේ ඔයාට කෙනෙක් සදාකාලයට අහිමිවෙන තත්පරය වෙන්න පුළුවන්. කෙනෙක් වෙනුවෙන් යුතුකමක් වගකීමක් කරන්න තියෙන තත්පරයක් වෙන්න පුළුවන්. ජීවත් වෙද්දි පසුතැවීම හිතට නොවන මානයක හින්දා ජීවිතයේ ගනුදෙනුව කරගෙන යන්න පුළුවන්නම් ජීවත්වීම වේදනාවකින් තොර සාධකයක් බවට පත්වෙයි. 

ඒත් ජීවිතය කියන්නෙම එක්තරා පොර බැදීමක්. කාත් එක්කද? අපි පොර බදින්නේ. මොනවත් එක්කද අපි පොර බදින්නේ. අපි පොර බදින්නේ සංසිද්ධින් එක්ක. අපි අරගල කරන්නෙ ඒ සංසිද්ධීන්වලට උත්තරයක් ඉල්ලගෙන. අපි කැමති උත්තරයක් ඉල්ලගෙන. ඒත් ජීවිතය කියන්නේ කවදාවත් අපි ඉල්ලන උත්තර විතරක් අපිට දෙන ප්‍රශ්න පත්තරයක් නොවෙයි. හවා හින්දි සිනමා රූපකාරකය ජීවිතයත් එක්ක කරන මේ අරගලය මැනවින් අපට ඒත්තු ගන්වනවා.
හවා කියන්නේ සුළඟට... ජීවිතය කියන්නෙත් එක්තරා සුළඟක් සහ සුළං වෙනුවෙන් විවර කරන කවුළුවක්. නන් දිශාවන් වෙතින් ජීවිතය කියන කවුළුව වහගෙන ඇරගෙන සුළං හමා එන්න පුළුවන්. ජීවත්වීම කියන්නේ ඒ සුළංවලට හසුවී නොවැටී ජීවිතය වැරෙන් අල්ලා ගැනීමට. 

හවා කියන්නේ කුතුහලයත් එක්ක අපිව දුරකට අරගෙන යන චිත්‍රපටයක්. හැබැයි අවසානයේ ඒ සුළඟ පිටුපස සැඟවුණු කතාවක් තියෙනවා. ඒ අතීතයේ සැනසිල්ලක් නොලැබ මළවුන් අතරට ගිය උන්ගේ කතාවක්. උන් ඒ ඉතිහාසයට ආදරය කරමින් ඒ බිමේ උරුමය තුළ ප්‍රාණය නිරුද්ධ සිරුරු වෙනුවෙන් සැරිසරනවා. අපිව සංසාරයේ ඇවිද්දවන්නේ නොසිඳෙන තෘෂ්ණාව විසින්. ඒක හරියට සිඳ බිඳ දමන්න බැරි රැහැන් පොටක් වගේ. තෘෂ්ණාවේ මූලයන් සියල්ල බිඳහෙළන තාක් ඒ රැහැන් පොට සංසාරයේ අපිව රැගෙන යන ගමනේ කෙළවරක් නෑ.. භවාංග සිත කියන්නේ අපි මතක ප්‍රබල ලෙස දරාගෙන ඉන්න ගැඹුරුම සිත. ඒ සිතේ අපි භවයෙන් භවයට රැගෙන යන මතක අතුරාගෙන ඉන්නවා. ඉන් මිදීමක් නැහැ අපට. අපි හැමවිටම ජීවිතය වෙතින් කරන්නෙ ඉල්ලීම්. අපි ජීවිතය තුළ ගොඩනගන්නෙම බලාපොරොත්තු. අපි ජීවිතය පාට කරන්නෙම හීනවලින්. මේ ඉල්ලීම් බලාපොරොත්තු හා හීන කය අත්හැරියත් හිත අත්හරින්න අපිට ඉඩක් දෙන්නෙ නෑ. සංසාරය කියන්නෙ අනන්තයක්. ආ දුරවත් යා යුතු දුරවත් අපි නොදන්න අමුතුම ගමනක්. ඒ ගමන කෙළවර කරන්න සිත කියන සාධකය තුළ උපදින සිතුවිලිවල හටගැන්ම සමාප්තියක් දක්වා ගෙන යා යුතුයි. සිතුවිලි හටගන්නේ අප්‍රමාණ තෘෂ්ණාව මත. ඒක ඇත්තටම ගින්දරක්. ඒත් ගින්දරක් බව දැන දැනම මිනිස්සු ඒ ගින්දරේම පිච්චෙනවා. පිච්චි පිච්චි මියැදෙනවා. වධ වේදනාවන් විඳ විඳ නැවතත් වධ වේදනාවන්ම සොයාගෙන යනවා.
ඇයි ඒ.. තෘෂ්ණාව ඒ තරම්ම බලවත් නිසා.. කොහොමද මේ සංසාර ගැටය අපි ලිහාගන්නේ. ඒක හරිම දුෂ්කර වෑයමක්. බැඳීමක් කියන්නෙම රිදුමක්. බැඳීම් උපදින්නේ වේදනාවේ මුල් වසාගෙන. බැඳීම් තුළින් පූදින මල් පූදින්නේ වේදනාවේ ඒ මුල් මතුපිටමයි. කොයි මොහොතක හෝ ඒ මල් පරවී යා හැකියි. ඒ මල් පරවෙන මොහොතක ඒ හිස්තැන වසාගෙන අර වේදනාවේ මුල් පෑදෙනවා. බැඳීම් කියන්නෙම රිදුම් සමඟ උත්පත්තිය ලබන්නක් මිස කිසිදු මොහොතක රිදුම්වලින් වියුක්තව සතුටක් එක්ක පමණක් සංයුක්ත වෙන භාවයක් නෙවෙයි.

මේ ලෝකයේ හුඟාක් සිනමා කෘතිවල කතා කරන එක සිද්ධාන්තයක් තමයි ගැහැනියක විඳින පීඩනය. ඒ පීඩනය එක් එක් දිශානතින් කරා විහිදී යන්නක්. හවා චිත්‍රපටය තුළත් එවන් ගැහැනියකගේ හදගැස්ම ගැන කතා කරනවා වෙනස්ම විදිහකට. 
මොහොතින් මොහොත කුතුහලය දනවන සිනමා රූපකාරකය ළඟ මම නැවතෙන්න තවත් එක හේතුවක් තමා ඒ සිනමා සිත්තම තුළ යම්කිසි අද්භූත රසයක් ජනනය වීම. 
අද්භූත රසය කියන්නෙත් හිත ප්‍රිය කරන එක රසයක්. ජීවිතය හරිම සරල රේඛාවක් දිගේ දිවෙද්දි මට හිතෙන්නේ ජීවිතය හරි නීරස අත්දැකීමක්. ජීවිතය තුළ පොර බැදීම්, අරගල, ඝට්ටන නිර්මාණය විය යුතුයි. ඒ සියල්ල ගං දෑලක් සේ පවතිද්දි ඒ සියල්ල දරාගෙන ඒ මැද්දෙන් ජීවිතය ගලාගෙන යන්න ඕනෑ. කොතනක හරි මුවදොරක් ළඟ ජීවිතය නවතිද්දි එක වතාවක් පිටුපස හැරිලා බලද්දි වින්ඳ දුක් කටු අකුල් මත මල් පොහොට්ටුවක් දෙකක් පිපිලා තියෙද්දි දැනෙන සංතෝෂය කියන්නෙ වචනවලින් කියා හමාර නොකළ හැකි මහා පුදුමාකාර සන්තුෂ්ටියක්.

හවා අවසන් වෙන්නෙත් එවන් අවසානයක් ළඟට අපිව එක්කගෙන ඇවිත්. ඒ අවසානය ළඟ හරිම සැහැල්ලුවෙන් හුස්මක් ගන්න අපට පුළුවන්. 

ජීවිතයේ අපි හැමතිස්සෙම හොයන්නෙ සැහැල්ලුවෙන් හුස්මක් ගන්න ඉඩහසරක්. අපි ආසයි ගින්දරෙන් පිච්චෙන තැන් පහුකරගෙන ගිහින් සීතල වැස්සක් ජීවිතයට වැටෙන තැනක ඔහේ නිස්කලංකව නැවතිලා ඉන්න. ඒ වැස්සට තෙමෙද්දි හරි සනීපයි. ජීවිතයේ දාහය දැනෙන හැම තැනකම හැම මොහොතකම අපි හොයන්නේ ඒ දාහය නිවාගන්න තැනක්. ඒත් අපි සමහරවිට ඒ දාහය නිවාගන්න නැවතෙන්නෙත් තවත් එක් දාහයක් ළඟ.

ජීවිතයේ නැවතුමක් නැති නැවතුම් හරිම වේදනාත්මකයි. නවතින්න අපි හොයන්න ඕනෑ නැවතුම්පොළක් මිස නැවතුමක් නෙවෙයි. මොකද කවදාහරි දවසක නැවතුම්වලින් අපිට පිටමං වී යන්න සිදුවෙනවා. ඒ නිසා ජීවිතය වෙනුවෙන් නැවතුම් හොයන්න එපා. නවාතැන්පොළක් හොයාගන්න. මරණය අලුත් නවාතැන්පොළකට දොරටුව හරින තුරැ ඒ නවාතැන්පොළේ සැනසිල්ලේ රැඳී ඉඳින්න එතකොට ඔයාට පුළුවන්.