පසුගියදාක ශිහාන් හිටි හැටියේ අසනීපවෙලා දැඩිසත්කාර ඒකකයේ දින තුනක් ගතකළා. මේ ගැන දැනගන්න අපි ශිහාන්ට කතාකළා.
ශිහාන් මොකද වුණේ?
මට උණ ගැනිලා අසනීප වුණා. දැන්නම් ටිකක් හොඳයි. ඩොක්ටර්ලා ''කියනවා කතා කරන්නවත් එපා රෙස්ට් කරන්න කියලා. කතා කරද්දී ඇත්තටම ටිකක් අමාරුයි.
ශිහාන් එහෙම කියද්දී අපිට ශිහාන් එක්ක දිගින් දිගටම කතා කරන්නත් බැහැනේ. ඒ නිසාම අපි මේ ගැන වැඩි විස්තර අහන්න ශිහාන්ගේ බිරිඳත් එක්ක කතා කළා.
ඇත්තටම ශිහාන්ට මොකද වුණේ?
ශිහාන්ට දැන් දවස් දහයකට දොළහකට උඩදී උණ ගත්තා. ඇඟට පණ හැති ගතියක් දැනුණා. ඒක නිසා අපි එයාව හොස්පිට්ල් එකට එක්ක ආවා. එෙතන්දි තමයි දැනගත්තේ ශිහාන්ට ඩෙංගු රෝගය වැළදිලා කියලා..
දැන් ශිහාන්ගේ තත්ත්වය කොහොමද?
දැන්නම් ගොඩක් දුරට හොඳයි. කොහොමත් ඩොක්ටර්ස්ලා නම් කිව්වේ හෙට අනිද්දා වෙද්දී එයාව ගෙදර එක්ක යන්න පුළුවන් කියලා. මේ වනතුරු ශිහාන් ඉන්නේ පෞද්ගලික රෝහලක. හැබැයි ඩොක්ටර්ස්ලා කියන්නේ නම් තව මාසයක් යනකම් ශිහාන් ගොඩක් රෙස්ට් කරන්න ඕනේ කියලයි. එයාට වැඩිය කතා කරන්නත් එපා කියලා ඩොක්ටර්ස්ලා කිව්වා.
ශිහාන්ට දැඩිසත්කාර ඒකකයේත් ඉන්න සිද්ධ වුණා නේද?
ඔව්. ඩෙංගුවල අවදානම් අවස්ථාවක් තමයි ශිහාන්ට ඇතිවුණේ. ඒ තත්ත්වයේදී දැඩිසත්කාර ඒකකයේත් ප්‍රතිකාර කරන්න සිද්ධ වුණා. දවස් තුනක් විතර දැඩිසත්කාර ඒකකයේ ශිහාන් හිටියා. දැන්නම් සාමාන්‍ය කාමරයක නේවාසිකව ප්‍රතිකාර ගන්නවා.
දැන් කෑම බීම එහෙම ගන්නවද?
ඔව්... දැන්නම් ඒවාවල ගැටලුවක් නෑ. ඩොක්ටර්ස්ලා කිව්වා රතුපාට කෑම හැර එයා කැමති කෑමක් බීමක් දෙන්න කියලා. හැබැයි ඉතින් ශිහාන් කන්නේ හරිම අඩුවෙන්.
පසුගිය දවස්වල එක දිගට සංගීත ප්‍රසංග තිබුණා නේද?
ඔව්... ඒ මාසේ එයාට දිගටම ෂෝ තිබ්බා. ඒවාත් එක්ක නිතරම එයා එළියෙ හිටියේ. ලංකාවේ විවිධ පැතිවල ප්‍රසංගවලට එයත් සහභාගි වුණා. ඒ කොයි පැත්තකදි හරි පුංචි මදුරුවෙක් කරපු ලොකු විනාශයක් තමයි මේ.
තාත්තා ගෙදර නැති එකට පුතාලා දෙන්නට හරි පාළු ඇති නේද?
ඔව්... ඒකනම් එහෙම තමයි. ඒ දෙන්නා එක්ක දැන් මගේ අම්මා තාත්තා ඉන්නවා. මම ඉතින් ශිහාන් එක්ක හොස්පිට්ල් එකේ ඉන්නවා. ඒ දෙන්නට දැන් අපි දෙන්නම ළඟ නැහැනේ. ඉතින් හරි පාළුයිලු. ඒත්... ඉතින් මොනව කරන්නද. ශිහාන්ව හොස්පිට්ල් දාලා මට යන්න බැහැනේ.
ශිහාන් භාරගත්තු සංගීත ප්‍රසංගවලට මොකද වුණේ?
ඒක තමයි. ඒවාවලට මම කතාකරලා ඇත්ත විස්තරේ හැමෝටම කිව්වා. ලංකාවේ හැම පැත්තකම වගේ ෂෝ එයාට තිබුණා. මම ඒ හැම එකටම වගේ මේ ගැන දැනුම් දුන්නා. මොනව කරන්නද මෙහෙම අසනීප තියාගෙන ශිහාන්ට සින්දු කියන්න බැහැනේ. සින්දු කියනවා තියා තාම එයාට හරියට කතාකරගන්නවත් හයියක් නෑ.
කොහොමද ඒ ප්‍රසංග සංවිධායකවරුන්ගෙන් ලැබුණු සහයෝගය?
හැමෝම වගේ සිදුවීම තේරුම් ගත්තා. එයාලා අවංකවම මේ ගැන දුක්වුණා. නමුත් එයාලගේ බලාපොරොත්තුවක් තියනවා අන්තිම මොහොතේ හරි එයාලගේ ප්‍රසංගයට ගෙන්වා ගන්න. සමහරු ශිහාන්ට කෝල් කරලා දින වෙන්කරලා තිබුණේ අවුරුද්දකටත් කලින්මයි. නමුත් මොනව කරන්නද මේ තත්ත්වයත් එක්ක ශිහාන්ට සින්දු කියන්න බෑ.
විදෙස් සංචාර එහෙම තිබුණේ නැද්ද?
නෑ... එයා අවුරුදු මාසේදී ආපු විදෙස් ප්‍රසංග බාරගත්තේ නෑ. ලංකාවේ ෂෝ මුළු මාසය පුරාම තිබුණ නිසා ඒවා බාර ගත්තේ නෑ.
සහෝදර කලාකරුවන් කලාකාරියන් එහෙම එයාව බලන්න ආවද?
කීප දෙනෙක් ආවා. ඒත් ඩොක්ටර්ස්ලා අපිට කිව්වා එයාව එහෙම බලන්න එන අය සීමිත කරන්න කියලා. මෙයාගේ ඇඟ ගොඩක් දුර්වල වුණා. ඒ නිසා ඉක්මණින් විසබීජයක් ඇඟට ඇතුළුවීමේ ප්‍රවණතාවය වැඩියි. මේ දවස්වල වෛරස් උණකුත් තියෙනවනේ. ඒ නිසා ගොඩක් හිතන්න කිව්වා. අපේ ගෙදර අය පවා ශිහාන්ව බලන්න වැඩිය ආවෙත් නැත්තේ ඒකයි. මමම තමයි එයා ළඟට වෙලා හිටියෙ. එයා ගැන හොයලා බලපු හැමෝටමත් රෝහල් කාර්ය මණ්ඩලයටත් ගොඩක් ස්තූතියි.
Text – Dishani / Pic — internet