2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා

නැති තැනක් නැති යකා

 2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 274

Trending යන යකා ගැන කතා නොකරම මෑ මචෝ. ඒ නිසා මෙදා පාර Y Trend එක යකා Trend වීම ගැන දාන්න හිතුවා. පොඩි කාලේ අපි කවුරුත් බය චරිතයක් තමා යකා කියන්නේ. ඒත් මෑතක "යකා" Fashion එකක් වගේම Theme එකක් වුණා. ඇත්තටම දැන් යකාට ළමයෙක්වත් බයද කියලා හිතාගන්න බෑ සුන්දරා. ඒ තරමට යකා Famous වෙලා.

පහුගිය අවුරුදු කාලේ තමා යකා හොඳටම ජනප්‍රිය වුණේ. සීන් කෝන් එක ටිකක් අපබ්‍රංස වගේද? Sorry වෙන්න ඕනා. අපි කතාව මුල ඉඳලාම ගලපන්නම්. අපේ එදිනෙදා කතාබහේ වගේම ප්‍රස්ථාව පිරුළුවල “යකා” කියන්නෙ අපිට හුරු වචනයක්. "ඇයි යකෝ",  “මේ යකා", “මාර යකෙක්" ඔය වචන අපිට නිකම්ම කියවෙන්නේ. ඒත් ගොඩක් අය ඔය කතා කියන්නේ මේ යක්කු ගැන දැනගෙන නෙවෙයි. ඒත් සහෝ යක්කු කියන්නේ අදටත් අපේ සම්ප්‍රදායේ කොටසක්. අපේ ජනශ්‍රුතිය හරහා යකා ගැන කියවගන්න ගියොත් ඒක වෙනම සීන් එකක් වෙනවා. ඒ නිසා අපි මේ යකා ජනප්‍රිය සංස්කෘතියේ කොටසක් වෙන තැනින් පටන් ගමු.

පහුගිය කාලේ "අපේකම" Market කරන සීන් එකක් නැගලා ගියා සුදාලට මතක ඇති. ඒකේ ප්‍රතිඵලයක් තමා යකා Trend වීම. මුලින්ම අපේ අතීත උරුමයන් පිළිබඳ රටේ නිර්මාණය වුණේ විද්වත් සාකච්ඡාවක්. පස්සෙ පස්සෙ ඒ සාකච්ඡා ඇතුළේ අපේ දේවල් ඇසුරෙන් නව නිර්මාණය බිහිවුණා. ජන සංගීතය, ජන නැටුම්, ජන කතා, ජන කවි, ශාන්තිකර්ම වගේ දේවල් තමා මේ අලුත් නිර්මාණවල පදනම වුණේ. යක්කු ගැන කතාවත් මේ එක්කම පටන් ගත්තා. ඒ අතර සංචාරක කර්මාන්තයටත් මේක ඈඳුණා. ඔය අම්බලන්ගොඩ යක් මූණු වගේ දේවල් සංචාරක කර්මාන්තයේ ලොකු කොටසක් වුණා. ඔන්න ඔතනදී තමයි සංචාරකයන් අතර මීට කාලෙකට ඉස්සෙල්ලා "යක්ෂ මුහුණු" ප්‍රසිද්ධ වුණේ.

මේ දවස්වල ලොකුවට Trend වෙන්නේ "නාග රාක්ෂ" මුහුණ මචෝ. ඉස්සර අපේ පරණ ගෙවල්වල ඔය මුහුණ එල්ලා තියෙනවා මතක ඇතිනේ. ඒ සීන් එක අපේ විශ්වාස පද්ධතියේ කොටසක්. හැබැයි ඕකේ තේරුම දන්නේ නැතිවුණාට අපේ අලුත් පරම්පරාවට ඔය මුහුණ කාලයක් තිස්සේ මාර විදිහට Familiar වෙලා තිබුණේ. අන්න ඒ සීන් එක අපේකම Marketing පටන් ගන්නකොට කට්ටිය අල්ලගන්නවා. අන්න එතැනින් තමා මේ "යකා මුහුණ" Logos වලට එහෙම භාවිත වෙන්න පටන් ගන්නේ. "යකා" Brand එකක් වෙනවා. "Yaka crew” “Yaka Creation” දේවල් පටන් ගන්නවා. 

මේ අස්සේ තව සීන් එකක් නැගලා යනවා. ඒ තමා "රාවණා" සීන් එක. එතැනදී සිංහලයා පැවත එන යක්ෂ ගෝත්‍රිකයන් පිළිබඳ කතාව ලොකුවට Market වෙනවා. යක්කු ගැන තිබුණු විශ්වාස පද්ධතියත් මේ එක්කම වෙනස් වෙන්න පටන් ගන්නවා මචෝ. යකා නරක නෑ වගේ Idea එකක් අපේ අයගේ ඔළුවට එනවා. "අපි යක්කු බොලව්" වගේ කතා ප්‍රසිද්ධ වේදිකාවල පවා කියවෙනවා. මේ එක්කම මේ "යකා" කියන සංස්කෘතික චරිතයට ලංකාවේ මාර Love එකක් ඇතිවෙන්නේ. සින්දු පවා හැදෙනවා. වෙනම සීන් එකක් Create වෙනවා අපේ නූතන සංස්කෘතිය ඇතුළේ. මෙන්න මෙතැනදී යකා Marketing වල ගොදුරක් වෙලා හෙමිහිට Trend වෙලා අද තියෙන තැනට එනවා. 

මේ කතාව ලොකුවට අධ්‍යයනය කරලා ප්‍රබුද්ධ භාෂාවෙන් ලියන්න පුළුවන් හරිය. එතකොට ආතල් කැඩෙනවනේ. ඔන්න අපි යකා Y Trend එකක් වුණු හැටි සරලව කෙටියෙන් කිව්වා. ඊළඟට බලමු අද වෙනකොට මේ Trend එකේ තත්ත්වේ. මේ දවස්වල ප්‍රධානම දේ Fashion නේ මචෝ. යකා Logo ගහපු ඇඳුම්, බෑග්, හෑන්ඩ් බෑන්ඩ්, කැප් හැට් වගේ දේවල් වෙළෙඳපොළට එන්න ගත්තේ මීට කාලෙකට කලින්. මුලදීනම් බතික් කර්මාන්තය වගේ දේවල් ඇතුළේ තමා මේ සීන් එක තිබුණේ. සංචාරක කර්මාන්තය ඇතුළේ නම් මේ යකා Fashion  වැඩේ අවුරුදු 10ක 15ක ඉඳන් තිබුණා. හැබැයි ඒක අපේ සාමාන්‍ය සමාජයේ සුදාලට එච්චර ටච් වෙලා තිබුණෙ නෑ. අපි මුලදී කිව්ව හේතු නිසා පහුගිය අවුරුදු හත අට ඇතුළේ යකා Fashion එක හෙමිහිට අපේ අයටත් පත්තියන් වෙන්න පටන් ගත්තා. ආසන්නම අවුරුද්ද දෙක ඇතුළේ යකා නැගලා යන කලා නිර්මාණවලටත් මාතෘකා වුණු නිසා සීන් එක උපරිම පත්තු වුණා.

මේ සිංහල අවුරුදු කාලේ " යකා " Fashion එක කූඨප්‍රාප්තියට ආවේ එහෙම තමා සුන්දරා. අවුරුද්දට ගොඩක් අය "යකා සරම්", “යකා ටී ෂර්ට්", “යකා කමිස", “යකා ගවුම්"  සෑහෙන ඇන්ඳා. කොටින්ම මුළු රටටම යකා ගැහුවා සුන්දරා. ආයෙත් අහලා යකා ගැහුවා නෙවෙයි තඩිබෑවා වගේ. Online Market එක සම්පූර්ණයෙන්ම යකා අරක් ගත්තා. සමහරු යකා නිසා පොහොසත් වුණා. සමහරු යකාගෙන් ආතල් ගත්තා. ඒ අස්සේ යකා ජාත්‍යන්තරයටත් ගියා.

මේ ඇඳුම් පැළඳුම් ඇඳගෙන Facebook එකේ Photos දාන එක වෙනම පිස්සුවක් වුණා. තවත් සමහරු ඒ Photos දාන අයගෙන් වෙනම ආතල් එකක් ගත්තා. මීම්ස් හැදුණා. කොටින්ම කිව්වොත් මේ යකා Trending වීම නිසා බුකියේ ඉන්න අපේ යකාලා යකා නැටුවා. ඉතින් ඔන්න ඔය විදිහට තමා යකා Trending ගියේ. තමා සීන් එක නැගලා යන කලාවේ තමා තියෙන්නේ. හෙට අනිද්දට මොන මොනවාට යකා ගහයිද කාට කාට යකා වැහෙයිද කියලා අපි නම් දන්නේ නෑ සුදෝ. හැබැයි එකක් කියන්නම් රැල්ලට ගියාට කමක් නෑ අර්ථයත් දැනගෙන ඉන්න මගේ පැංචෝ. මොකද යකා කියන්නේ අපේ ජන සංස්කෘතියේ එන ලොකු චරිතයක් හරිය.