ජීවිතයේ ෆැන්ටසි එකෙන් රියැලිටි එකට එන්න වෙන තැන් හරිම වේදනාත්මකයි... බැඳීමක් කියන්නෙම රිදීමක උල්පතක් කියලා පසක් වෙන තැන් නිර්මාණය වෙද්දි ජීවිතය හරි වේදනාත්මකයි... අහන්නට පෙරුම් පුරමින් බලා සිටි කටහඬක් යළි යළිත් නෑහෙන තැනකදි හිත කොනිති ගහන රිදුම් හරිම වේදනාත්මකයි. කොච්චර ආදරයෙන් අල්ලාගත්තත් මේ සංසාර ගමනම හරි වේදනාත්මකයි...
එහෙම හිතෙන මොහොතක් ජීවිතයේ ආව දවසට ඔයාට හැඟෙයි වේදනාත්මක කියන වචනය ඇතුළේ කිඳාබැස්ස අරුත කොයි තරම් ගැඹුරුද කියලා. ඒත් අපි වෙලාවකට ඒ වේදනාවටත් පෙම් බඳින මිනිස්සු. ඒ නිසා නෙවෙයිද වේදනාවත් අත්නොහැර තෘෂ්ණාවෙන්ම පපුවට තුරුලු කර ගන්නෙ. පපුව අස්සේ ඒ වේදනාවත් මගේම කරගෙන තුවාල තව තවත් රිදවගන්න හේතු හොයන්නෙ.. ඇයි අපි එහෙම කරන්නේ. ආදරයත් එක්ක ආදරයෙන් බැඳුණු නිසාද? ආදරය, ප්‍රේමය හා සමපාත කලං ගණනකින් මුහු කළ හින්දද.. එහෙමත් නැත්නම් ආදරයත් එක්ක තෘෂ්ණාවෙන් බැඳුණු හින්දද? ඒ හේතුව කුමක් වුණත් අවසානයේ භුක්තියට ලැබෙන භුක්තිය තුළ ඇත්තේ වේදනාව, පසුතැවීම, කලකිරීම නම් ජීවිතයේ නොගිලිහෙන්න අපි අල්ලගන්න හදන්නේ තවදුරටත් අල්ලාගත යුතු දේවල්මද?
Jalebi හින්දී සිනමා රෑපකාරකය තුළ කතා කරන්නෙත් ඒ වගේ ගැඹුරු සිද්ධාන්තයක්. මේ ලෝකයේ මම දකින එක විස්මයක් සහ පුදුමාකාර මැවීමක් තමා සංගීතය.. ඒ වගේම මම දකින තවත් විස්මයක් සහ පුදුමාකාර මැවීමක් තමයි ආදරය.
ජීවිතයේ නොහිතන තැනකදි ආදරය හමුවෙන්න පුළුවන්...
ජීවිතයේ නොහිතන කෙනෙක් එක්ක ආදරයෙන් බැඳෙන්න පුළුවන්...
අත්හැරෙන්න පුළුවන් විදිහට වගේම අත්හැරෙන්න බැරි විදිහටත් බැඳීම් ජීවිතයේ ඇතිවෙනවා. හරියට දවසින් දවස ළ දලු ලන පැළයක් වගේ... ඒ ගහ වනස්පතියක් වෙන්න යන කාලය දන්නෙ නෑ කවුරුත්... මේ මහපොළොව මේ අහස් වියන යට මේ මහපොළොවත් එක්ක කොන්දේසි විරහිත බැඳීමකින් ඒ ගහ බැඳෙනවා.. ඇයි ඒ ආදරය හින්දා...
ආදරය ගනුදෙනුවක් නොවී ආදරය ආදරයම වෙච්ච තැනක ඇතිවෙන්නෙත් ඒ විදිහෙ කොන්දේසි විරහිත බැඳීමක්... එහෙම ආදරයක් වචනවලින් පහදන්න තරම් මේ විශ්වයේ කිසිම භාෂාවක් පොහොසත් නැහැ කියලා මට හිතෙනවා. ආදරය කියන්නෙ ආදරයට...
Jalebi කතා කරන්නෙත් අත්හැරුණත් නොසංසිඳුණු ආදරයක් ගැන... ජීවිතයේ ඕනෑම දෙයක් ඕනෑම මොහොතක අත්හැරෙන්න පුළුවන්... ඒ තමා යථාර්ථය... ඒත් භෞතිකව අත්හැරෙන සමහර දේවල් ආධ්‍යාත්මිකව අත්හරින්න බෑ... ඒ තරම් ගැඹුරු හේතු සහේතුක කරගෙන අපි ඒ බැඳීම් එක්ක හදවතින් යා වෙන නිසා ඒ බැඳීම් අවසන් හුස්ම ගිලිහෙන මොහොත තෙක් නෙවෙයි ඉන්පසු සසර සක්මන පුරාත් අත්හරින්න අපිට බෑ...
සමහර අහිමිවීම් ජීවිතයේ පාර කියන්නේ තවත් හිමිකමකට... දන්නෙ නෑ මම ස්වභාවධර්මය කියන දෙවියන් වහන්සේ මිනිස්සුන්ගේ හිත් තුවාල කරලා රිදවලා එක දෙයක් අහිමි කරලා තවත් දෙයක් හිමි කරලා දෙන්නෙ ඇයි කියලා.. Jalebi හින්දි සිනමා චිත්‍රපටය තුළ ඔහු කිසිවිටෙක ඇය අත්නොහැරියත් හේතුවක්ම නැති හේතුවක්ම ඇති හේතුවක් ඇති සහ නැති හේතුවක් උඩ ඇය ඔහුගෙන් ඉවතට යනවා. ඒත් මතකය තුළ ඔහුව අත්හරින්න ඇයට කවදාවත් පුළුවන් වෙන්නෙ නැහැ.. කාලය ඇයගේ ජීවිතයේ ඇය ආසාම තැනකට ඇය හැමදාමත් දැකපු හීනයක් ළඟට ඒ වේදනාව මැදම ඇය ගෙනියනවා. ඇය ලේඛිකාවක් වෙනවා.. ඇය ලියන්නෙම ආදරය ජීවිතය හා ලෝකය ගැන..
දවසක් කාලය ඇයව අරගෙන ගිහින් නවත්වනවා මහ අමුතුම තැනක.. කෝච්චි පෙට්ටියක් ඇතුළේ ඇය මගියෙක්... ඇය යනවා දුර ගමනක්..
හුඟාක් කාලයකට පසුව එදා ඔහු ඇයට මුණගැහෙනවා... එදා ඔහු ළඟ සිටි ඇය වෙනුවට එදා ඔහු ළඟ සිටින්නේ තවත් බිරිඳක්. දැන් ඔහු තාත්තා කෙනෙක්.. ආපහු හැරෙන්න ඔහුට බෑ..
අවසානයේ ඔවුන් සමුගන්නවා.
ඒ සමුගැනීමේදී ඔහු කියනවා මම දැන් ඇගේ.. ඒත් මම ඔබේ මතකයෙන් තොරව හුස්මක් ගත්ත දවසක් මට මගේ ජීවිතයේ තිබුණේ නෑ.. අදටත් මම ආදරය කළ ගැහැනිය කවුද කියලා කෙනෙක් ඇහුවොත් මගේ උත්තරය ඔබ.. මම හැමදාමත් උත්තර හොයපු එකම එක ප්‍රශ්නයක් තිබුණා. ඇයි ඔබ මා හැර ගියේ... ඇය කියන්නෙත් ඒ ටිකමයි.
දෙවියනේ ජීවිතය කියන්නෙ වෙලාවකට මොනතරම් පටලැවිල්ලක්ද? තේරුම් නොගැනීමක්ද? වැරදීමක්ද?
ඒත් ඒ සමුගැනීම සතුටක් නොවුණත් වේදනාවකින් තොර මානයකට ඒ දෙසිතම රුගෙන යනවා.. මේ ලෝකයේ කොහේ හිටියත් කා ළඟ හිටියත් අපි දෙන්නට අපි දෙන්නා ආදරෙයි කියන හැඟීමෙන් ඔවුන් ඒ දුම්රියෙන් බැස යනවා. ඒ ගමනාන්තය අමුතුම ගමනාන්තයක්.. ඇය සෙවූ ඔහු සෙවූ අවසානයක්...
කතා නොකළට ආදරයක් මිය යන්නෙ නෑ..
හමුනොවුණට ආදරයක් අත්හැරෙන්නෙ නෑ...
මගේම නොවුණට මගේම නොවෙන්නෙත් නෑ...
අයිතියක් නැති තැන අයිතිය සුන්දරයි
සුන්දර තරමටම වේදනාත්මකයි