2021 මැයි 01 වන සෙනසුරාදා

ඔස්කා සම්මානයෙන් ආසියාව සැරසූ සිනමාකාරී ෂාඕ

 2021 මැයි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 100

93 වැනි ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය ලෙස ඔස්කා සම්මානය දිනාගත්තේ නෝමැඩ්ලෑන්ඩ් චිත්‍රපටය. එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ක්ලෝවි ෂාඕ. ඇකඩමි සම්මාන උළෙල ඉතිහාසයේ කාන්තාවක හොඳම අධ්‍යක්ෂණය සඳහා සම්මානයට පාත්‍ර වූයේ දෙවැනි වරටයි. මින් ඉහත එම සම්මානය දිනා සිටියේ හර්ට් ලොකර් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ කැත්රින් බිගලෝ. ආසියානු කාන්තාවක හොඳම අධ්‍යක්ෂණය සඳහා සම්මානය හිමිකරගත්තේ ඇකඩමි ඉතිහාසයේ පළමුවරටයි.
මින් ඉහත අවස්ථා 15කදී පමණ හොඳම අධ්‍යක්ෂණය සඳහා කාන්තාවන්ගේ නම් නිර්දේශ වී තිබෙනවා. මෙවර සම්මාන උළෙලේදී හොඳම අධ්‍යක්ෂණය සඳහා පළමුවරට කාන්තාවන් දෙදෙනකු නම් කර තිබුණා. ඒ නෝමැඩ්ලෑන්ඩ් අධ්‍යක්ෂණය කළ ක්ලෝයි සහ ප්‍රොමිසිං යං වුමන් අධ්‍යක්ෂණය කළ එමරල්ඩ් ෆෙනල්.  හොඳම අධ්‍යක්ෂණය සඳහා  අනදර් රවුන්ඩ් අධ්‍යක්ෂණය කළ තෝමස් වින්ටර්බර්ග්, මැන්ක්  අධ්‍යක්ෂණය කළ ඩේවිඩ් ෆින්චර්, මිනාරි අධ්‍යක්ෂණ්‍ය කළ ලී අයිසෙක් චුන්ග් සහ ප්‍රොමිසිං යං වුමන් අධ්‍යක්ෂණය කළ එමරල්ඩ් ෆෙනල් නිර්දේශ කර තිබූ අතර හොඳම චිත්‍රපටය ලෙස නිර්දේශ අතරට එක්ව තිබුණේ නෝමැඩ්ලෑන්ඩ්, ද ෆාදර්, ජුදාස් ඇන්ඩ් ද බ්ලැක් මෙසායා, මැන්ක්, මිනාරි, ප්‍රොමිසිං යං වුමන්, සවුන්ඩ් ඔෆ් මෙටල් සහ ට්‍රයල් ඔෆ් චිකාගෝ 7 යන චිත්‍රපටයි. මේ අතුරින් හොඳම අධ්‍යක්ෂණ්‍ය සහ හොඳම චිත්‍රපටය සඳහා සම්මාන හිමිවූයේ නෝමැඩ්ලෑන්ඩ් චිත්‍රපටයයි. එමරල්ඩ් ෆෙනල්ට හොඳම අධ්‍යක්ෂණය සඳහා වන සම්මානය අහිමි වුවත් හොඳම තිරනාටකය සඳහා වන සම්මානය හිමි වුණා.

හොඳම නිළිය ලෙස නෝමැඩ්ලෑන්ඩ් චිත්‍රපටයේ ප්‍රාන්සස් මැක්ඩොමන්ඩ් ද, හොඳම නළුවා ලෙස ද ෆාදර් චිත්‍රපටයේ ඇන්තනි හොප්කින්ස් ද සම්මානයට පාත්‍ර වුණා. ප්‍රාන්සස් මින් ඉහත පස් වතාවක් ඇකඩමි සම්මානයට නිර්දේශ වූ අතර දෙවතාවක්  එම සම්මානය දිනා සිටියා. ඇන්තනි හොප්කින්ස් මෙවර සම්මානයට පාත්‍රවූයේ වාර්තාවක්ද තබමින්. 83 හැවිරිදි ඔහු මෙවර හොඳම නළුවා වූයේ එම සම්මානය දිනාගත් වයස්ගතම පුද්ගලයා ලෙසින්. ඔහු මින් පෙර ඇකඩමි සම්මාන දෙකක්, බෆ්ටා සම්මාන හතරක්, එමි සම්මාන දෙකක්, සිසිල් බී. ඩිමිල් සම්මානය සහ බ්‍රිතාන්‍ය රූපවාහිනී සම්මානයද දිනා තිබෙනවා. සිනමාවට කළ සේවය උදෙසා එළිසබෙත් මහ රැජන ඔහුට නයිට් නාමයක්ද පුද කළා.

හොඳම අධ්‍යක්ෂණය සඳහා ඇකඩමි සම්මානයට පාත්‍ර වූ පළමු ආසියාතික කාන්තාව ලෙස වාර්තා තැබූ ක්ලෝයි ෂාඕ චීන ජාතික කාන්තාවක්. 2015වසරේ  සෝන්ග්ස් මයි බ්‍රදර්ස් ටෝට් මී නමැති චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිස් ඇය හොඳම පළමු චිත්‍රපටය සඳහා ඉන්ඩිපෙන්ඩන්ට් ස්ප්‍රින්ට් සම්මානයට නිර්දේශ වුණා. 2017 දී ඇය අධ්‍යක්ෂණය කළ &ද රයිඩර්* විචාරක ඇගයුමට ලක් වූ අතර ඉන්ඩිපෙන්ඩන්ට් ස්ප්‍රින්ට් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂණය යන සම්මාන ද්වයට නිර්දේශ වුණා. නෝමැඩ්ලෑන්ඩ් ඇගේ තෙවැනි වෘත්තාන්ත චිත්‍රපටයයි. එම චිත්‍රපටය වෙනිස් චිත්‍රපට උළෙලේ ගෝල්ඩන් ලයන් සම්මානයත්, ටොරොන්ටෝ චිත්‍රපට උළෙලේ පීපල්ස් චොයිස් සම්මානයත්, ගෝල්ඩන් ග්ලෝබ්, ඩිරෙක්ටර්ස් ගිල්ඩ් ඔෆ් ඇමෙරිකා සම්මානයත්, බ්‍රිටිෂ් ඇකඩමි සම්මානයත් දිනාගත්තා. මහා ආර්ථික අවපාතය හමුවේ සියල්ල අහිමි වූ 60 හැවිරිදි ෆර්න් නමැති කාන්තාවක වෑන්රථයක දිවි ගෙවමින් ගතකරන වත්මන් නෝමැඩික ජීවිතය පාදක කර ගනිමින් නෝමැඩ්ලෑන්ඩ් චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා. හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම නිළිය යන සම්මාන ත්‍රිත්වයම දිනාගත්තේ එම චිත්‍රපටයයි.

ඇයගේ නවතම නිර්මාණය 2021 අධ්‍යක්ෂණය කළ එටර්නල්ස් නමැති චිත්‍රපටයයි. එය මේ වසරේ නොවැම්බරයේ ප්‍රදර්ශනයට නියමිතයි. චීනයේ බෙයිජින් නුවර උපන්  ෂාඕ අධ්‍යාපනය ලැබුවේ බ්‍රිතාන්‍ය‌ෙය් බ්‍රයිටන් විද්‍යාලයෙන්. උසස් අධ්‍යාපනය ලැබුවේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරයි. පසුව ඇය නිව් යෝක් විශ්වවිද්‍යාලයෙන් සිනමාකරණය හැදෑරුවා.

ඇකඩමි සම්මාන උළෙල පැවැත්වුණේ පසුගිය අප්‍රේල් 25 වැනිදා. කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවර එය එතරම් උත්කර්ෂවත් ලෙස පැවැත්වුණේ නැහැ. සාමාන්‍ය‌ෙයන් ඇකඩමි සම්මාන උළෙල පැවැත්වෙන්නේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි හාලාවේ වුවද මෙවර එය ඩොල්බි ශාලාවේත් යූනියන් ස්ටේෂන් ශාලාවේත්  සිට සජීවිව විකාශය කෙරුණා. 

මෙවර සම්මාන බෙදී ගියේ මේ අයුරින්
හොඳම චිත්‍රපටය - නොමැඩ්ලෑන්ඩ්
හොඳම අධ්‍යක්ෂණය - ක්ලෝවි ෂාඕ - නොමැඩ්ලෑන්ඩ්
හොඳම නළුවා  -  ඇන්තනි හොප්කින්ස් - 
ද ෆාදර්
හොඳම නිළිය -  ෆ්‍රාන්සස් මැක්ඩොමන්ඩ් - නොමැඩ්ලෑන්ඩ්
හොඳම සහය නළුවා - ඩැනියෙල් කලූයා - 
ද ට්‍රයල් ඔෆ් ද චිකාගෝ 7
හොඳම සහය නිළිය -  යූ ජුං යුන් - මිනාරි
හොඳම ගීතය - ෆයිට් ෆො යූ - ද ට්‍රයල් ඔෆ් 
ද චිකාගෝ 7
හොඳම කැමරාකරණය - මැන්ක්
හොඳම සංස්කරණය - සවුන්ඩ් ඔෆ් මෙටල්
හොඳම ජාත්‍යන්තර චිත්‍රපටය - ඩෙන්මාර්කයේ අනදර් රවුන්ඩ්