2021 මැයි 01 වන සෙනසුරාදා

ළමයි විස්සකුත් බලාගෙන නයිල් ගඟේ බෝට්ටු පැද්දා

 2021 මැයි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 58


ජනනි.. මේ දවස්වල අලුත් විස්තර එහෙම කොහොමද?
මම දේවි බාලිකා විද්‍යාලයේ සංගීත ගුරුවරිය ලෙස රැකියාව කරන්නේ. දරුවන් එක්කම තමා කාලය ගෙවුණේ. මේ නිවාඩුව එන්න පෙර පාසලේ වැඩ ටික කරන ගමන් සින්දු කිහිපයකුත් කළා. ඔය දේවල් අතරේ කොවිඩ් ප්‍රශ්නය නිසා සෞඛ්‍ය නීතිරීතිවලට එකඟවෙමින් හැකිතාක් ගෙදරටම වී ඉන්නවා. මොකද එය රටේ පුරවැසියන් ලෙස අපේ වගකීමක් ලෙස හිතන හින්දා.

ඔබ Travel කරන එක විනෝදාංශයක් වශයෙන් කරන කෙනෙක්ද?
ඇත්තටම මම හරිම ආසා කරන දෙයක් තමයි Travel කියන්නෙ. හැබැයි මම Travel කරන්න පටන් ගත්තේ පොඩි කාලේ ඉඳන්නම් නෙවෙයි. විවාහයෙන් පස්සෙ තමයි නිතර නිතර සංචාරය කරන්න පුරුදු වුණේ. මගේ සැමියා ශාලිත් කුමාරසිංහ. ශාලිත් අයියාත් මම වගේම ආසයි සංචාරයට.

ඔබ ඒ සංචාරය කරපු තැන්වලින් ඔබේ හිතට දැනිච්ච තැනක් තියෙනවද? 
හිතට දැනිච්ච තැන් කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් මම ගොඩක් ආසා කරන ගමනක් තමයි ඊජිප්තු සංචාරය.

ඇයි ඔබ ඊජිප්තු සංචාරයට එච්චරටම කැමති?
මම ඒ සංචාරයේ යෙදුණේ පාසල් දරුවන් සමඟ. ඒ රටවල් ගණනාවක් එක්ක යෙදුණු ජන සංගීත සහ ජන නැටුම් වෙනුවෙන් කරපු උත්සවයක් සඳහා. ඒ උත්සවය තිබුණේ ඊජිප්තුවේ කයිරල් සහ ඇලෙක්සැන්ඩර් කියලා ප්‍රාන්ත දෙකක. ඒ රටට අපි උත්සවයකට සහභාගි වුණත් අපිට ඒ රට ඇතුළත ඇවිදින්න අවස්ථාව ලැබුණා. ඒ ගියපු තැන් ගැන කතා කරද්දිත් හිතට පුදුම සතුටක් දැනෙන්නේ. අපි නයිල් ගඟේ බෝට්ටු සවාරියක් ගියා. තව අපි කෞතුකාගාරයකටත් ගියා. ඒ වගේම පිරමීඩ බලන්නත් ගියා. ඔය වගේ ගොඩක් තැන්වලට අපි ගියා. ඒ තැන් ඇස් දෙකින් දකිද්දි මේ ලෝකයේ විවිධත්වය ගැන පුදුමාකාර හැඟීමක් හිතට දැනුණා. මේ වගේ හේතු නිසා තමයි ඒ ඊජිප්තු සංචාරයට මම එච්චර කැමති.

කොච්චර කාලයක් ඒ සංචාරයේ යෙදුණාද?
අපි දවස් එකොළහක් හිටියා. ඒ දවස් එකොළහ ඇතුළත ඒ රටින් අපිට පුදුම ආරක්ෂාවක් ලබා දුන්නා.

ජනනි.. ශිෂ්‍යාවන් පිරිසක් පරිස්සමට වගකීමෙන් එක්ක යන ගමන් කොහොමද ගමනේ රසයත් මේ විදිහට වින්ඳේ? 
මම සහ අපේ පාසලේ නැටුම් ගුරුවරිය මේ ගමනට ගියා. ඇයගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. මොකද ළමයි විස්සකට ආසන්න පිරිසක් අපිත් සමඟ මේ සංචාරයේ යෙදුණා. මුලදිනම් ලොකු අපහසුතාවයක් තිබුණා කොහොමද අපි දෙන්නා මෙච්චර ළමයි පිරිසක් පරිස්සමට බලාගන්නෙ කියලා. ඒ වුණාට අපි ඒ ළමයින්ට අවවාද දුන්නාට පස්සෙ ඒ ළමයි අපි කියන දේ හොඳට ඇහුවා. ඒ නිසා අපිට මේ සංචාරය ළමයි සමඟ පරිස්සමට ගිහින් එන්න පුළුවන් වුණා.

ඒ ගමනෙදි වින්ඳ අත්දැකීම් ගැන කතා කරමුද?
සමහර වෙලාවට එක එක ප්‍රශ්නවලටනම් අපිට මුහුණ දෙන්න වුණා. ඒ රටේ මිනිස්සු වෙලාවට වැඩ කරන පිරිසක්. අපි හිටපු හෝටලයේ සිට උත්සවය පැවැත්වෙන තැනට යන්න අපිට බස් රථයක් තිබුණා. ඒ බස් එක හරියට වෙලාවට එතනට එනවා ඉතින් ළමයි පිරිසක් අපිත් එක්ක මේ සංචාරයේ යෙදුණු නිසා ළමයින්ව ලෑස්ති කරලා වෙලාවට හෝටලයෙන් එළියට ගන්න එක අපිට ලොකු අභියෝගයක් වුණා. ඉතින් මමයි නැටුම් ගුරුතුමියයි උදේ පාන්දර කෑගහලා ළමයින්ව ඇහැරවලා ලෑස්ති කරලා ඒ උත්සවය තියෙන තැනට එක්කගෙන ගියා. සමහර දවස්වල අපි එතනට යනකොට අපිට තිබෙන වෙලාව පහුවෙලා. ඒ අවස්ථාවලදි අපගේ ඉදිරිපත් කිරීම දවස් දෙකකට විතර පස්සෙ කරන්න වුණු අවස්ථාත් තිබුණා. ඊටපස්සෙ අපේ ළමයිනුත් තේරුම් ගත්තා අපි වෙලාවට වැඩ ටික කර නොගත්තොත් අපිට මේ උත්සවයට සහභාගිවෙන්න බෑ කියන එක. ඊටපස්සේ ළමයි වෙලාවට වැඩ කළා. ඒ දේ තමයි අපිට ලැබුණු ලොකුම අභියෝගය.

ඊජිප්තුවේ ගමන හැරෙන්න ඔබේ හිතට හුඟාක් දැනුණු වෙනත් විදෙස් සංචාර තියෙනවාද?
මගේ නංගි අනුරාධත් දුව අමාත් ජීවත් වෙන්නෙ ඔස්ට්‍රේලියාවේ නිසා මමත් මගේ සැමියා ශාලිත් අයියාත් මගේ අනිත් නංගි නදීත් අපි කට්ටියම ඔස්ට්‍රේලියාවේ ගියා. ඒ ගිය සංචාරයේදි අපි හුඟාක් දවස් ඔස්ට්‍රේලියාවේ හිටියා. ඔස්ට්‍රේලියාවේ බලන්න තියෙන හුඟාක් තැන් බලන්න ගියා. නගරයෙන් නගරයට ඇවිද්දා. ලස්සන ලස්සන තැන් බලන්න ගියා. නැව්වල ගියා. දුවත් ඒ ගමනේදි අපිත් එක්කම හිටියා. මමයි නංගිලායි ඇවිදින්න යද්දි සමහරවිට ඇන්ඳෙත් එකම විදිහට. මගේ නංගි අනුරාධා සහ ඇගේ සැමියා චූලන් තමයි ඒ හැම ගමනක්ම අපිව එක්ක ගියේ. මගේ දුව අමාගේ උපාධි ප්‍රදානෝත්සවයට ඊළඟ අවුරුද්දෙත් ඔස්ට්‍රේලියා යන්න තමා අපි බලාපොරොත්තුවෙන් ඉන්නෙ. ඒත් ඉතින් කොවිඩ් ප්‍රශ්නය නිසා හැමදෙයක්ම අවිනිශ්චිතයිනේ නේද? ඒ නිසා සමහරවිට ඒ ගමනේත් දින වකවානු වෙනස් වෙයිද දන්නෙ නෑ.

ජනනි.. ඔබ අපිත් සමඟ කතා කළේ ඔබ ගියපු විදෙස් සංචාර ගැන. ඒ වගේම අපි ඔබ ලංකාව ඇතුළත සංචාරය කරන්න කැමති තැන් ගැනත් ආසයි දැනගන්න?
මම ආසම කරන තැනක් තමයි නුවරඑළිය කියන්නෙ. අපේ ගෙදර කට්ටිය කොහේ හරි චාරිකාවක් යනවා කියලා සැලසුම් කළොත් මම ඉස්සෙල්ලාම කියන්නෙ නුවරඑළියේ යමු කියලා. ඒ වගේම තව යන්න ආසම තැනක් තමා මගේ තාත්තා අමරසිරි පීරිස් මහතා කෑගල්ලේ අරුග්ගම්මන හදපු පන්සලට අපි යන ගමන. ඒ පන්සලට යද්දි අම්මා, තාත්තා, මගේ බාල නංගි සුබා, මගේ තාත්තාගේ ළඟම මිතුරෙක් වන වෛද්‍ය අසේල විජේසුන්දර මහතාත් හුඟාක් වෙලාවට එකතු වෙනවා. එතන හිත නිවන අමුතුම තැනක්.

ඇයි ඔබ නුවරඑළියේ යන්න එච්චරටම ආසා කරන්නෙ?
මටවත් ඒක තේරුම්ගන්න බෑ. මම හිතන්නෙ මම ගිය භවයක නුවරඑළියේ ඉපදුණු කෙනෙක්ද දන්නෙ නෑ. ඒ තරමට මම නුවරඑළියට ආදරය කරනවා. මම මාරම ආසා කරන පැත්තක් තමයි නුවරඑළිය. සමහරවිට ඒ සීතල දේශගුණය නිසාද දන්නෙත් නෑ. නුවරඑළිය, මන්දාරම් නුවර වගේ තැන්වලට සහ ඒ පරිසරයට තමයි මම ආසා කරන්නෙ. ගියපාර කොරෝනා කාලය අවසන් වුණාට පස්සෙ අපිට එහේ මෙහේ යන්න අවස්ථා තිබුණනෙ. අපි ඒ අවස්ථාවෙත් ගියේ නුවරඑළියට. පවුලෙ හුඟ දෙනෙක් පරම්පරා තුන හතරක අය ඒ ගමනට ආවා. අපි ගියේ බස් එකක. ඒ ගමනත් හරිම සුන්දර අත්දැකීමක්.

ඒ වගේ ගමනක් යන්න ඔබ වැඩිපුර කැමති කා සමඟද?
මගේ පවුලේ අය සමඟ තමයි මම ගොඩක් වෙලාවට Travel කරන්නෙ. දැන් මගේ දියණිය ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ. ඒ නිසා දැන්නම් මම ගොඩක් වෙලාවට මගේ සැමියා එක්ක තමයි Travel කරන්නෙ. හැබැයි මගේ සැමියානම් නුවරඑළියට වැඩිය කැමති නෑ. මොකද එයාට සීතල දේශගුණය වැඩිය ඔරොත්තු දෙන්නෙ නෑ. ඒ වුණාට මම කොහොමහරි එයාව කැමති කරගෙන එක්කගෙන යනවා.

නුවරඑළිය වගේ ගමනක් යාමට පෙර කොහොමද ඔබ ඒ ගමන සැලසුම් කරන්නෙ?
ඇත්තටම මෙහෙමයි. අපි ඔය වගේ ගමනක් යන්න කලින් සැලසුම් කරන්නෙ නෑ. අද අපිට හිතුණොත් හෙට යනවා කියලා අපි අද ඇඳුම් පැළඳුම් ලෑස්ති කර ගත්තා.. හෙට ගියා. අන්න ඒ වගේ තමා සමහර සංචාර සිදුවෙන්නේ.

ජනනි.. ඔබ අනාගතයේ යනවාමයි කියලා හිතාගෙන ඉන්න තැනක් තියෙනවාද?
මම ඇත්තටම ආසයි දඹදිව සංචාරය කරන්න. හැබැයි දැන් පවතින තත්ත්වයත් එක්ක ඉන්දියාවට යන එක ලොකු අවදානමක්. කොහොමහරි මේ කොරෝනා ප්‍රශ්න ඉවර වුණු ගමන් යන්න තමයි ඉන්නෙ.

අවසාන වශයෙන් ජනනි.. ඔබ Travel කරනවා කියන එක මොන විදිහටද දකින්නෙ?
ඒක ඇත්තටම හොඳ දෙයක්. මම හිතන විදිහට මිනිසුන්ගේ මානසික ආතතියට හොඳම බෙහෙතක් තමා සංචාරය කියන්නේ. ගෙදරට වෙලා ලොකු පීඩනයකින් ඉන්න කෙනෙකුට ආතතිය නැතිකර ගන්න පුළුවන් Travel කරන එකෙන්. ඒ වගේම රට සහ ලෝකය දකිනවා කියන්නෙ වෙනම අත්දැකීමක්. සමහර අයට සංචාරය කරන්න තරම් ආර්ථිකයක් නැති නිසා ආසාව තිබුණත් එය සඟවාගෙන ඉන්නවා. සමහර අය සල්ලි තිබුණත් වියදම් නොකර ජීවිතය නොවිඳිමින් හිඳ මැරී යනවා. මිනිස්සු උපයන්නේ අවශ්‍ය දේට අවශ්‍ය තැනට වියදම් කරන්න. ජීවිතය විඳින්න. මේ ලෝකය පුරා ඇවිදින්න තියෙනවානම් කෙනෙකුට මම හිතෙන්නෙ ඒක සංසාර වාසනාවක්.