2021 ජුලි 10 වන සෙනසුරාදා

කොරෝනා කාලේ බෝතල් ආලේ

 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 104

බයෝ බබල් ආතල් ගැන Y Trend එකක් දෙන්න හිතුවා මචෝ. පහුගිය දවස්වල බයෝ බබල් කඩලා අපේ ක්‍රිකටර්ස්ලාට හම්බවුණු ආතල් එක දකින්න ඇතිතේ. ඒ සීන් එක නෙවෙයි මචෝ මේ කියන්න යන්නේ වෙන සීන් එකක්. පහුගිය කාලේ රට ගිහිල්ලා ආපු බයෝ බබල්වල කට්ටිය ගත්ත ආතල් ගැන. ඒ වගේම ඔය නිරෝධායන සීන් එක ආතල් එකට ගත්ත ඩයල් යන සිරා සීන් එකක්. මේක අප්‍රකට Trend එකක් වෙලා තිබුණා මචෝ. 

ඔන්න මචෝ රට ගිහිල්ලා හෝටල් නිරෝධායනයට යන ඩයල් ගත්ත ආතල්වලින්ම සීන් එක පටන්ගමුකෝ. සුදාලට කියන්න මේ හෝටල් නිරෝධායනය ගොඩක් දෙනෙක්ට මාර ආතල් වුණේ සියලු පහසුකම් ලැබුණු නිසා. පහසුකම් කියන්නේ සූර් වෙන්න බෝතල්වල ඉඳලා ජොයින්ට් බොයින්ට් ඇතුළු සියලුම දේ මචෝ. සමහරු රට ඉඳන් ගෙනාපු බෝතල් නිරෝධායනය මිත්‍රයෝ එක්කම ගහලා තමා ගෙදර ආවේ. තව සමහරු නිරෝධායන සීන් එකට වියදම් කරනවාට වඩා දෙගුණයක් විතර වියදම් කළා ආතල් ගන්න. ඔය රජයේ නිරෝධායන මධ්‍යස්ථානවල අය වගේ නෙවෙයි මෙයාලා තමා රියල් සැප ගත්තේ මචෝ. 

ඔන්න සුදාලට හිතෙනවා ඇති මේක පිළිගන්න පුළුවන්ද කියලා. ඒ වුණාට මචෝ ආතල් ගත්ත බුවාලාම තමා අපිට සීන් එක කිව්වේ. හෝටලේ පොරක් සෙට් කරගත්තාම එළියෙන් ඕනෑ තරම් බෝතල් ගේන්න පුළුවන්ලු. කිසි අවුලක් නැහැලු. සමහර යාළුවෝ ෆ්ලයිට් එකේ සෙට් වෙච්ච ඩයල්ලු. තව සමහරු එහෙ ඉඳන්ම එකට ආවලු. තවත් සමහරු හෝටලේ දී හම්බවුණාලු. ඔන්න ඔය වගේ සෑහෙන කතා අපි දැනගත්තේ බයෝ බබල් ආතල් දාපු ඩයල්වලින්. මීට අමතරව මචෝ සියලු පහසුකම් සහිතව හෝටල් නිරෝධායනය ඇතුළේ තාවකාලිකව ප්‍රේම සම්බන්ධතා පවත්වපු උන් ගැනත් දැනගන්න ලැබුණා. විශේෂයෙන්ම අරාබිකරයේ ඉඳන් ආපු අයගෙන් තමා එහෙම කතා දැනගත්තේ.

සිරාවට අර ක්‍රිකටර්ස්ලා ගත්ත ආතල් මොනවද කියලා හිතුණා මචෝ මේ කතා ඇහුවාම. සිරාවට මේක දැන් Trend එකක් වෙලා තියෙන්නේ. ඕනෑනම් හොයලා බලන්න හැම නිරෝධායන හෝටලයකම වගේ තත්ත්වය මේක මචෝ. අපිට වීඩියෝ පවා දකින්න ලැබුණා මචෝ කොන්ගෝ බොන්ගෝ ගහලා සින්දු කියලා දාන ආතල් පාටිවල. සුදාලට කියන්න කොරෝනා කාලේ එහෙම පාටි අපිටවත් දාන්න බෑ. මේවාට ලොකුවට වැට බැඳීමක් හෝටල්වලින්නම් වෙලා නෑ කියලා බොහොම පැහැදිලියි. ඒ වගේම පේන විදිහට හෝටල් නිරෝධායනය ගැන සෞඛ්‍ය බලධාරීන් වුණත් එච්චර අවධානයක් යොමුකරලා නෑ.

මෙහෙමයි මචෝ මේ වැඩේ එකෙන්ම වැරදියි. ඒ වුණත් මිනිස්සු හිරවෙලා ඉන්න අකමැතියි. ඒක සාමාන්‍ය තත්ත්වයක්. වැඩේ තියෙන්නේ හෝටල් නිරෝධායනයට කෝවිඩ් හැදුණු එක්කෙනෙක් ආවොත් මේ Trend එක නිසා ඔක්කොමලා ආසාදිතයන් බවට පත්වෙන එක. තව දෙයක් මේ හෝටල් නිරෝධායන සීන් කෝන් එක ලොකු ගාණක් ගෙවලා කරන්නේ මේ සීන් එක නිසාමද කියලා පොඩි අවුලකුත් තියෙනවා. ආ.. අමතක වුණා ලියන්න සමහර තැන්වලට එළියේ ඉන්න යාළුවෝ එහෙමත් බඩු අරගෙන ගිහිල්ලා දීලා තියෙනවා. බඩු කීවේ උයන පිහන බඩු නෙවෙයි මචෝ. අරක්කු බයිට් ගංජා සිගරුට් එහෙම. හෝටලේ සේවකයෙක් අල්ලගත්තාම මේක සිම්පල් සීන් එකක් කියලා තමා එයාලා කියන්නේ. 
එතකොට අපේ කට්ටිය අර ක්‍රිකටර්ස්ලා බයෝ බබල් එකකින් එළියට පැන්න ලෝකේ පළවෙනිම උන් වගේ හැසිරුණාට මෙහෙත් එහෙම සීන් තියෙනවා මචෝ. එහෙම සීන්වලට පහසුකම් සපයන අයත් ඔය මධ්‍යස්ථාන අවට දැන් බිහිවෙලා තියෙනවා. ඒකනේ මේක දැන් Trend එකක් විතරක් නෙවෙයි බිස්නස් එකක් සුන්දරා. සුදාලට කියන්න පහුගිය කාලේ අර යුක්‍රේන සංචාරකයන්ටත් මෙහෙම පහසුකම් දීපු අය හිටියා. සමහර හෝටල්වලින් සංචාරකයන් පන්නාගෙන හයර් එහෙමත් ගිහිල්ලා.  ඒ වගේම හෝටල් සේවකයෝ සිකියුරිටිලා සෙට්වෙලා ආරක්ෂක අංශයට හොරෙන් මෙයාලටත් අර කීව ජාතියේ බඩු ගෙනල්ලා දීලා. ඉතින් කොහොමද ආතල් එක.

ඉතින් මේ වගේ සීන් කෝන් ගැන අපි තව හොයලා බැලුවා. රජයේ නිරෝධායන මධ්‍යස්ථානවලත් ආතල් දැමිල්ල සුළුවට වෙනවා. හැබැයි මෙච්චර නෑ. පොදුවේ ආරක්ෂක අංශ මේක කළමනාකරණය කරනවා. ආ... අමතක කරන්න බෑ නිරෝධායන මධ්‍යස්ථාන ඇතුළේ අගය කළ යුතු වැඩ එහෙම සිද්ධවෙලා තියෙනවා. අපි ඒවා ගෑන වෙන දවසක කතා කරමු. කොහොම වුණත් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ නිරෝධායන ආතල් හරිම භයානකයි කියන එක. ගොඩක් දෙනෙක් මේවා ගැන නිහඬව ඉන්නේ ඇයි කියලානම් අපිට තේරෙන්නේ නෑ. ඕං අපි කිව්වා මේං අපි ගියා. දින්නෝ බලත්වා. බලන්නෝ සිතත්වා.