2021 ජුලි 10 වන සෙනසුරාදා

ජීවිතය කියන්නේ චිත්‍රපටයක් නෙවෙයි

 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 245

- අනුරාධා එදිරිසිංහ

 

ජීවිතය, ලෝකය අපි එකිනෙකාට දැනෙන හැටි හරි වෙනස්. මට දැනෙන හැටි හරි වෙනස්. අපි කතා කරමු. මට දැනෙන හැටි ගැන කතා කරන්න අද ආවේ අනුරාධා එදිරිසිංහ.

කැපකිරීම

කැපකිරීම අවස්ථානුකූලව වෙනස් වෙනවා. මගේ ජීවිතේ විවිධාකාර තැන්වලදි විවිධාකාර විදිහට කැපකිරීම් කරලා තියෙනවා. දුවෙක් විදිහට, සහෝදරියක් විදිහට ආදී විවිධ චරිතයන් ඔස්සේ මම ඒ කැපකිරීම් කරලා තියෙනවා. තවත් කෙනෙකුගේ ජයග්‍රහණයක් වෙනුවෙන්, සතුටක් වෙනුවෙන් අපිට ඇප කැප කිරීම් කරන්න පුළුවන්. මට දැනෙන විදිහට මගේ ජීවිතේ කරපු කැපකිරීම් නිසා මගේ ජීවිතේට ලොකු සැනසීමක් ලැබිලා තියෙනවා. ඒක සතුටකට එහා ගිය ලොකු සැනසීමක්.

ඉරිසියාව

ඉරිසියාව කියලා දෙයක් තියෙනවා. නමුත් මට දැනෙන විදිහට ඒ ඉරිසියාව වුණත් රඟපාන්න ගියාම මට ඒක පෙන්නන්නේ කොහොමද කියලා ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනවා. ඉස්සර ඉඳන්ම මම දකින දේ කියන පුරැද්දක් තියෙනවා. වැරැද්දක් හෝ වේවා.. ප්‍රශංසාවක් හෝ වේවා.. මම ඒක ඒ මොහොතේම ඒ අදාළ කෙනාටම කියනවා. ඒ නිසා මම හිරවෙච්චි හිතුවිලිවලින් ජීවත් වෙන්නේ නැහැ. ඒ නිසාමදෝ මන්දා ඉරිසියාව කියන හැඟීම මට වැඩිය දැනිලා නැහැ. මට අවශ්‍ය දේවල් ඒ අවශ්‍ය කාලෙදී මට ලැබිලා තියෙනවා. ඒ වගේම මම බලාපොරොත්තු පස්සෙ, හීන පස්සෙ හඹාගෙන යන චරිතයක් නෙමේ. බොහෝවිට මට දැනෙන විදිහට ඉරිසියාව හටගන්නේ තමන්ට නැති දේවල්වලටයි. මගේ ජීවිතේ ඇරියස් කවර් කිරීමක් නැහැ. මේ මොහොතේ මම ඉතා සතුටින් ජීවත්වෙන කෙනෙක්.

කඩා වැටීම

මට දැනෙන විදිහට මගේ ජීවිතෙත් කඩාවැටීම් තිබිලා තියෙනවා. ඒක වයසත් එක්ක වෙනස් වෙනවා. අපි එක එක කාලවලදී ජීවිතේ මුහුණදෙන සිදුවීම් එක්ක වෙනස් වෙනවා. ජීවිතේ මුහුකුරා යාමත් එක්ක මම හිතට හයියක් ගත්තා. මීට කාලයකට උඩදී ප්‍රශ්නයකට මුහුණදුන් විදිහට අද මම ඒ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ නැහැ. මට හිතෙන විදිහට ජීවිතේ අපි ගත කරන වයසත් එක්ක අපි පරිණත වෙලා තියෙනවා. මේ කාලෙදීනම් මොන ප්‍රශ්නයක් ආවත් මම ආයෙත් කඩා වැටෙන එකක් නැහැ. ඒ තරමටම මගේ හිත දැන් හයියයි.

සුතැවීම

මගේ ජීවිතේ මට දැනෙන විදිහට ලොකු පසුතැවීමක් තියෙනවා. ඒ මගේ ආදරණීය තාත්තයි. අද මගේ තාත්තා ජීවතුන් අතරේ නැහැ. ඒ අය අපිව උස් මහත් කරන්න ඒ අයගේ මුදල්, මහන්සිය, දහඩිය හැමදේම කැප කළා. ඒ අය අපිට දුන්න දේ අපිට කරන්න ලැබෙන වයස තමයි මේ ගෙවෙන්නේ. ආර්ථිකමය වශයෙන් මම ටිකක් ශක්තිමත් වෙද්දී මට මගේ තාත්තා වෙනුවෙන් කරන්න දෙයක් ලැබුණේ නැහැ. මට මගේ තාත්තාව සතුටු කරන්න පුළුවන් කාලෙදී එයා මම ළඟ නැහැ. ඒ ගැන ලොකු පසුතැවීමක් තියෙනවා. ඉස්සර තාත්තා මාව වාහනයේ දාගෙන ගියා වගේ මට තාත්තාව වාහනයේ දාගෙන යන්න ආසාවක් තියෙනවා. ඒත් තාත්තා නැහැ. තාත්තා කියන්නේ මේ ලෝකේ එක්කෙනාටයි. ඒ මගේ ලෝකේ හිටපු චරිතයට මට මේ යුතුකම් කරන්න නොලැබීම ගැන ලොකු පසුතැවීමක් හිතේ තියෙනවා.

මඟහැරීම

ඔව්.. මට දැනෙන විදිහට මගේ ජීවිතෙත් මඟහැරීම් වෙලා ඇති. නමුත් මම ඒ මඟහැරීම්වලට පසුතැවිලි වෙන්නෙවත්, ඒවා පස්සෙන් යන්නෙවත් නැහැ. මම ඒ මඟහැරැණු දේවල් නිසා දුක් විඳින්නේ නැහැ. පොඩි දෙයක් කියන්නම්. යම් නාට්‍යයකට මාව තෝරාගන්න ගිය තිර පරීක්ෂණයකින් පසුව ටික කාලයකට පස්සේ ඒ නාට්‍ය මම නැතිව විකාශනය වෙද්දී මම ඒ මඟහැරැණු චරිතය ගැන දුක්වෙලා නැහැ. ඒ දුක් නොවීම ගැන මම සතුටු වෙනවා. ජීවිතේ මගේ මඟහැරීම් වෙලා ඇති. ඒත් ඒවා ගැන මම දුක් වෙන්නෙ නැහැ.

අත්හැරීම

මට දැනෙන විදිහට මගේ ජීවිතේ එහෙම අත්හැරීම්වලට මුහුණ දුන්න අත්දැකීම් වෙලා නැහැ. නමුත් තාත්තා නැතිවුණු වෙලාවේ ඒ බැඳීම නැතිවුණාම කොච්චර අමාරැද කියලා මට දැනුණා. ඒ නිසා අනාගතයේදී මට මුහුණ දෙන්න වෙන අනිත් අහිමිවීම්වලදී වුණත් ඒ අත්හැරීම්වලට මුහුණදෙන්න පුළුවන් ශක්තියක් තාත්තාගේ අහිමිවීමත් එක්ක මගේ හිතට එකතු වුණා. ඒ බැඳීම් අත්හරින්න වුණත් අද මගේ හිත ශක්තිමත් කරගෙනයි ඉන්නෙ. නමුත් ඒක ඇත්තටම ශක්තිමත්ද කියලා මම දන්නේ නැහැ. හැබැයි මම එහෙම හිතාගෙන ඉන්නවා.

පරිත්‍යාගය

චිත්‍රපටවල වගේ ආදර පරිත්‍යාගයන් මගේ ජීවිතේ නැහැ. නමුත් මගේ පවුල ඇතුළේ ඒ පරිත්‍යාගයන් තියෙන බව මට දැනිලා තියෙනවා. මම නිර්මාණයකට දායකවෙලා මහන්සිවෙලා, නිදි මරාගෙන උපයන මුදල මම මගේ පවුල වෙනුවෙන් ඉතා සතුටින් පරිත්‍යාග කරනවා. ඒ මුදලින් මම ආසා කරන දෙයක් ගන්න, ආසා කරන දෙයක් වෙනුවෙන් යොදවන්න හිතුණත්, පවුල වෙනුවෙන් සතුටින් යොදවන්න කරන පරිත්‍යාගය ගැන මම ඇත්තටම සතුටු වෙනවා.

ප්‍රථම ප්‍රේමය

මට මගේ ප්‍රථම ප්‍රේමය තුළ ලොකු ආරක්ෂාවක්, ලොකු රුකවරණයක් දැනුණා. මට හරි පරිණත ප්‍රේමයක් ලැබුණේ. එයා මට වඩා අවුරුදු හතක් වැඩිමල්. මේ වකවානුවේදී ඒ ප්‍රේමය හරි සුන්දරයි කියලා මට හිතෙනවා. මගේ අම්මගෙයි තාත්තාගෙයි වයස් පරතරය අවුරුදු දහ තුනක් වෙනවා. ඒ දෙන්නා තමයි මම දැකපු ආදරණීයම දෙන්නා. තාත්තා ගොඩක් පරිණත කෙනෙක් විදිහට අම්මා එක්ක ජීවිතය බෙදාගත්තු විදිහ හරි සුන්දරයි. නමුත් නොගැලපීම් නිසා කතා කරලා මට මගේ ප්‍රථම ප්‍රේමය නතර කරන්න සිදු වුණා.

ආදරය

ආදරය රැඳිලා තියෙන්නේ විශ්වාසය මතයි. අද සමාජයේ ආදරය කරන අය අනිත් කෙනාගේ ෆෝන් එක බලනවා. Fb බලනවා. නමුත් මගේ ජීවිතේ ඉන්න කෙනාගේ ෆෝන් බලන්න, fb එකේ password එක බලන්න මට කවදාවත් ඕන වෙන්නෙ නැහැ. අඩුපාඩු, වෙනස්කම්, ඉස්සර හිටපු මනුස්සයා නෙමෙයි කියලා දැනෙද්දී ඒක වෙනස් වෙනවා. නිදහස ඇතුළෙම ආදරය කියන දේ රුඳිලා තියෙනවා. මට දැනෙන විදිහට ආදරය කියන්නේ අනිත් කෙනාට දෙන නිදහස හා අනෙක් කෙනාට දෙන විශ්වාසයයි.

පරාජය

මට දැනෙන විදිහට ජීවිතේ පරාජයන් තියෙනවා. උසස් පෙළට මම නීති අංශයෙන් ඉහළට යන්න ඉගෙන ගත්තා. නමුත් උසස් පෙළින් පසුව ඒ අංශයට නොගොස් මම කලා කටයුතුවලට සම්බන්ධ වුණා. අදටත් සමහර වෙලාවලට අපරාදේ ඒ ඉගෙන ගත්තු දේවල් එතනින් අතහැරියේ* කියලා හිතිලා තියෙනවා. අද මේ දේවල් එක්ක ඒ දේවල් කරන්න බැරිවුණු එක ගැන හිතේ පුංචි පරාජයක් තියෙනවා.

ජයග්‍රහණ

මට දැනෙන විදිහට මගේ ජීවිතේ මට ජයග්‍රහණ ලැබිලා තියෙනවා. මගේ තාත්තා නැතිවුණු වෙලාවෙදී මම පත්වුණු මානසික පීඩනයත් එක්ක අද මගේ හිත හයිය කර ගැනීමත් ලොකු ජයග්‍රහණයක්. තාත්තා නැතිවීමේදි මම හිටියේ ළමා මානසිකත්වයකයි. දැන් ජීවිතේට එන ගැටලු, ප්‍රශ්නවලට මුහුණදීලා මෙහෙම සැහැල්ලුවෙන් හිඳීමත් මම ලබපු ජයග්‍රහණයක්.

ඉලක්ක

මට දැනෙන විදිහට මට ලොකු ඉලක්ක නැහැ. මම තාම අලුත් කෙනෙක්. ඒ නිසා කරපු නැති චරිත බොහොමයක් තියෙනවා. ඒ වගේම මට මගේ පවුලේ අයට කරන්න තියෙන යුතුකම් ගොඩක් තියෙනවා. නොතේරෙන කාලෙදී මම පොඩි කාරයක් ගන්න ආසා කළා. මම මගේම පොඩි කාමරයක ජීවත් වෙන්න ආසා කළා. ඒ හීන මම හැබෑකර ගත්තා. මම ගුවන් යානයක යන්න ආසා කළා. අද ඒ හීනයත් මම හැබෑකර ගත්තා. ඒ නිසා මම දැකපු, මම විඳපු ඒ අත්දැකීම්, ඒ දේවල් මම මගේ පවුලේ අයට ලබා දෙන්න ආසා කරනවා. මට දැනෙන විදිහට ඒවා තමයි මගේ හීන වෙන්නෙ.

මම කවුද?

මට දැනෙන විදිහට මම හරිම සරල, කාගෙවත් හිත රිදවන්න කැමති නැති පාඩුවේ ඉන්න කෙනෙක්.