2021 ජුලි 17 වන සෙනසුරාදා

දිදුලන තරු ගැසූ බබළන ටැටූ....

 2021 ජුලි 17 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 97

තමන්ගේ ජීවිතයේ වඩාත්ම ආදරය කරන අයගේ නම බොහෝ දෙනෙක් තමන්ගේ සිරුරේ ටැටූ එකක් විදියට නිර්මාණය කරගන්නවා. බොලිවුඩයේ සිනමා තාරකාවන්ද තමන්ගේ ආදරණීයන් කෙරෙහි ඇති ආදරය සහ කැපවීම පෙන්නුම් කිරීමට තම සිරුරේ ටැටූ නිර්මාණය කරගෙන තියෙනවා. මේ ලිපියෙන් කියන්නේ අන්න ඒ වගේ ටැටූ නිර්මාණය කරගත් බොලිවුඩ් තරු ගැනයි.

01. අර්ජුන් කපූර්

අර්ජුන් කපූර් මෑතකදී තම සහෝදරිය වන අන්ෂුලාගේ නම තමන්ගේ සිරුරේ ටැටූ එකක් විදියට කරගත් අතර ඒ ගැන බොහෝ කතාබහට ලක්වුණා. අර්ජුන් තම ටැටූ එක සමාජ මාධ්‍යවල පල කළා. අර්ජුන් මේ ටැටූ එක සංකේත දෙකක් නිර්මාණය කරගෙන තියෙනවා. ඒ ගැන ඔහු මෙන්න මෙහෙම කියනවා. මගේ සහෝදරිය මට ඉතාම බලවත්. ඒ නිසා තමයි මේ ටැටූ එක මම කර ගත්තේ.^ මීට කලිනුත් අර්ජුන් ඔහුගේ මැණික් කටුව ළඟ මා කියලා ටැටූ එකක් කරගෙන තියෙනවා.

02. ආක්ෂය කුමාර්

ආක්ෂය කුමාර් කියන්නේ තමන්ගේ පවුලේ සාමාජිකයින් එක්ක බොහොම සමීපව කටයුතු කරන කෙනෙක් වගේම වෘත්තීමය නළුවෙක්. ආක්ෂය කුමාර් තම සිරුරේ නිර්මාණය කරගෙන සිටින ටැටූ එකෙන් පවා ඔහුට ඔහුගේ පවුල ගැන තියෙන ආදරය සහ ළැදියාව පැහැදිලිව පෙන්නුම් කරනවා. ආක්ෂය ඔහුගේ බිරිඳ ටීනා හෙවත් ට්වින්කල්ගේ නම වම් අතෙහි ටැටූ එකක් ලෙස නිර්මාණය කරගෙන තියෙන අතර දකුණු අතෙහි දියණිය නිතාරාගේත් පිටෙහි පුතා ආර්ව්ගේ නමත් ටැටූ කරගෙන තියෙනවා. ආක්ෂය තම පවුලේ අයගේ නම් ඒ විදියට තම සිරුරේ සටහන් කරගෙන ඉන්නවා.

03. ප‍්‍රියංකා චොප්රා

ගෝලීය තාරකාවක් වන ප‍්‍රියංකා චොප්රා ඇයගේ පියාණන්ගේ ජීවිතයේ සොඳුරු යුවතිය වූ අතර ඇය තමන්ගේ පියාණන් සමඟ ඇති බැඳීම පෙන්නුම් කිරීම ඇයගේ සිරුරේ ඇති ටැටූ එකෙන්ම වටහා ගත හැකියි. ප‍්‍රියංකා ඇයගේ දකුණු අතෙහි ඩැඩීස් ලිට්ල් ගර්ල් යනුවෙන් ටැටූ එකක් කරගෙන තියෙනවා. මේ ටැටූ එක ඇය ඇයගේ පියා අශෝක් චොප්රාගේ අත් අකුරින් සටහන් කරගෙන තියෙන එක තවත් විශේෂ සිදුවීමක් වෙනවා.

04. අර්ජුන් රාම්පාල්

අර්ජුන් රාම්පාල් සිය බිරිඳ වූ මෙහෙර්ගෙන් දික්කසාද වෙලා හිටියත්, අර්ජුන් තමන්ගේ දියණියන් දෙදෙනාට බෙහෙවින් ආදරය කරනවා. අර්ජුන් රාම්පාල් තම දියණියන් දෙදෙනාගේ නම් දෙක තමන්ගේ අත්දෙකෙහි ටැටූ එකක් විදියට නිර්මාණය කරගෙන ඉන්නවා. එක් අතක මහීකා යනුවෙන්ද අනෙක් අතෙහි මෛරා යනුවෙන්ද ඔහු ටැටූ දෙකක් කරවගෙන ඉන්නවා.

05. සායිෆ් අලී ඛාන්

සායිෆ් අලී ඛාන් තමන්ගේ බිරිඳ කරීනා කපූර් ඛාන්ට කොච්චර ආදරය කරනවද කියන එක නොදන්නා කෙනෙක් බොලිවුඩයේ නැහැ. සායිෆ් අලී ඛාන් සහ කරීනා ටෂාන් සිනමාපටය රෑගත කිරීම් සිදුවෙන අතර ප්‍රේම සම්බන්ධයක් පටන් ගෙන තියෙන අතර දින කිහිපයකට පස්සේ සායිෆ් කරීනා කියලා හින්දි බසින් තම සිරුරේ ටැටූ එකක් කරවා ගෙන තියෙනවා.

05. රිතික් රෝෂන්

රිතික් රෝෂන් සහ සුසෑන් ඛාන් විවාහවෙලා බොහොම සතුටින් හිටිය යුවළක්. සුසෑන් රිතික්ගේ නමත් රිතික් සුසෑන්ගේ නමත් ටැටූ විදියට නිර්මාණය කරගෙන තියෙනවා. අද වනවිට මේ දෙන්නා දික්කසාද වෙලා හිටියත් අදටත් රිතික්ගේ අතෙහි මැණික් කටුව අසල සුසෑන් යනුවෙන් කරගෙන තියෙන ටැටූ එක නම් තියෙනවා.

06. හර්ෂ්වර්ධන් කපූර්

අනිල් කපූර්ගේ පුතා සහ ජනප‍්‍රිය සිනමා තාරකාවියක් වන සෝනම් කපූර්ගේ කඩවසම් සහෝදරයා වන හර්ෂ්වර්ධන් කපූර්ද ඔහුගේ පවුලට ගොඩාක් සමීපව ජීවත්වෙන තරුණ හාදයෙක්. හර්ෂ්වර්ධන් තමන්ගේ සහෝදරියන් දෙදෙනා වන සෝනම් කපූර්ට සහ රියා කපූර්ට ගොඩාක් ආදරය කරනවා. ඒ නිසාම හර්ෂ්වර්ධන් ඔහුගේ පිටෙහි සෝනම්ගේ සහ රියාගේ නම ටැටූ විදියට කරගෙන තියෙනවා.

07. කුනාල් ඛේමූ

කුනාල් ඛේමූ තම දියණිය ඉනායාට කොච්චර ආදරය කරනවද කියලා නොදන්න කෙනෙක් බොලිවුඩයේ නැහැ. ඉනායා කුනාල්ගේ හදවතෙහි හදගැස්ම ලෙසින් ඔහුම කියනවා. බොහෝවිට කුනාල් තම දියණිය ඉනායාත් එක්ක ඉන්න ඡායාරෑප සහ වීඩියෝ සමාජ මාධ්‍යවල පළ කරනවා. පසුගිය වසරේදී කුනාල් තම දියණිය ඉනායාගේ නමින් සිරුරේ ඉතාම සුන්දර ටැටූ එකක් කරගෙන තියෙනවා.

08. ඉම්රාන් ඛාන්

ඉම්රාන් ඛාන් ඔහුගේ බිරිඳ අවන්තිකාගෙන් ගොඩාක් කාලයක පටන් වෙන්වෙලා හිටියත් ඔහුට තම හුරුබුහුටි දියණිය ඉමාරාගෙන් නම් ඈත්වෙලා ඉන්න බැහැ. මොකද ඉම්රාන් කියන්නේ තමන්ගේ දියණිය තමන්ගේ පණට සමානයි කියලා. ඉමාරාට තමන්ගේ හිතේ තියෙන ආදරය කියා දෙන්න වගේ ඉම්රාන් තමන්ගේ පපුවෙහි ඇයගේ නමේ ටැටූ එකක් කරවගෙන තියෙනවා.