2021 ජුලි 17 වන සෙනසුරාදා

ෆෝන් එක විසිකරලා හිතේ හැටියට නකල්ස් ගමන වින්දා

 2021 ජුලි 17 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 88

අනුෂා මොනවාද මේ දවස්වල අලුත් තොරතුරු?

රටේ පවතින කොවිඩ් ප්‍රශ්නත් එක්ක ලොකුවට රංගන කටයුතුවල නම් නිරත වෙලා නෑ. නමුත් නාට්‍ය කිහිපයක අලුතින් වැඩ පටන් අරගෙන තියෙනවා. චිත්‍රපට තුනක විතර රෑගත කිරීම් පටන් ගන්න තිබ්බා. නමුත් මේ ප්‍රශ්න නිසා ඒ සියලු දේ නතර වුණා.

• අනුෂා ඔබ Travel කරන්න ආසා කරන කෙනෙක්ද?

මම සොබාදහමට හරිම ආදරය කරන කෙනෙක්. කොටින්ම කියනවා නම් උදේ හවස වන්දනීය තැනක් තමයි සොබාදහම කියන්නේ. මම පුංචි කාලයේ ඉඳන්ම ඇවිදින්න ආස කරන කෙනෙක්. ඒ නිසා මට පොඩි කාලයේ ඉඳන්ම ඇවිදින්න යන්න පුළුවන් වුණා. ලංකාවේ මම නොගියපු තැනක් නැති තරම්. ඒ තරමටම මම Travel කරපු කෙනෙක්.

• ඔබ විනෝදාංශයක් විදිහටද Travel කරන්නේ?

අනිවාර්යයෙන්ම මට විවේකයක් ලැබුණ සෑම වේලාවකම මම කරන්නේ ඇවිදින එක තමයි.

• ඔබ ඇවිදින එක විනෝදාංශයක් වශයෙන් කරන කෙනෙක්. ඔබ ඒ ඇවිදපු තැන් අතරින් ඔබේ හිතට දැනිච්චම Travel එක මොකද්ද?

මම ගොඩක් තැන්වල ගිහිල්ලා තියෙනවා. ඒ හැම තැනකම සුන්දර මතක තියෙනවා. ඒත් ඒ ගිය තැන්වලින් මම ආසම කරන තැනක් තමයි අපි ගියපු නකල්ස් ගමන.

• ඇයි ඔබ නකල්ස් ගමනට එච්චරම ආසා කරන්නේ?

මට ඒ ගමන දැනුණේ හරියට වෙනම ලෝකයක ඉඳන් තවත් ලෝකයකට යනවා වාගේ. හරියට කොන්ක්‍රීට් ගොඩක ඉඳන් මහා කැලෑවකට යනවා වාගේ. ඒ නකල්ස් පරිසරයේ ඇති සිසිල, ලස්සන සහ අවට පරිසරයේ සිටින කුරුල්ලන්ගේ ශබ්ද වගේ දේවල් නිසා වෙන්න ඇති මම ඒ ගමනට එච්චරම ආසා කරන්නේ. ඒ වගේම තව දෙයක් තමයි ඒ පරිසරයට ඇතුළු වෙද්දී අපේ දුරකථන ඇමතුම් සියල්ල අවහිර වුණා. මම එහෙම කියන්නේ අපි Travel එකක් කරනවා නම් අපි බාහිර දේවල් අමතක කරලා තමයි ඒ ඇවිදීම කරන්න ඕනේ. නැත්නම් ඒ ගමන අපේ එදිනෙදා ජීවිතයට සමානකමක් දෙනවා. නමුත් අපි ගියමු නකල්ස් ගමනේදී මගේ ළඟ තිබුණ බාහිර ලෝකය සහමුලින්ම නැති වුණා. ඒ කියන්නේ දුරකතන ඇමතුම් එහෙම ගන්න අමාරු වූ නිසා. ඒ නිසා දුරකතනය කියන එක පැත්තකට දාන්න වුණා. ඒ නිසා ඒ ගමන මට හොඳට විඳින්න පුළුවන් වුණා. ඔය වගේ හේතු නිසා තමයි මම නකල්ස් ගමනට ආසා කරන්නේ.

• අනුෂා මේ ගමනේදී ඔබට සිදුවුණු අමතක නොවන සිදුවීම් එහෙම ඇති නේද?

අමතක නොවන සිදුවීම් නම් ගොඩාක් තියෙනවා. කෙටියෙන්ම ඒ ගැන කියනවා නම් මේ අපි ගෙවන කාර්යබහුල ජීවිතයෙන් මිදීම සහ මගේ දුරකතනය විසන්ධි වීම තුළින් අපි එහේ හිටපු දවස් දෙක තුනේ මානසිකව ලොකු නිදහසක් ජීවිතයට දැනීමයි. හරියට අපි අපිත් එක්ක ජීවත් වෙනවා වගේ හැඟීමක් දැනීමයි. ඒ ගමනේදී අපි එක දවසක් රූ ගිනි මැල ගහගෙන කැලේ ජීවත් වෙනවා වගේම ආහාර පාන හදාගෙන කෑවා. ඒ අත්දැකීමත් කවදාවත් අමතක නොවන සිදුවීමක්. ඔය වගේ ලස්සන මතක ගොඩක් මේ ගමනේදී සිදුවුණා.

• ඔබ මේ වගේ Travel එකක් කරන කොට මොන වගේ පිරිස් සමඟද ඒ ගමන යන්න කැමැති?

අනිවාර්යයෙන්ම මට Travel එකක් කරනවා නම් ගොඩක් කට්ටිය ඉන්න ඕනේ. අපි ගොඩක් වෙලාවට යන්නේ අපේ ඥාති පවුල් දෙක තුනක් එකතුවෙලා.

• මේ වගේ ගමනක් යෑමට පෙර කොහොමද සැලසුම් කරන්නේ?

ගොඩක් වෙලාවට මම තමයි සැලසුම් කරන්නේ. කට්ටියටම නිවාඩු දවස් බලලා තමයි දිනයක් එහෙම යොදා ගන්නේ. මගේ ඥාති අයියා කෙනෙක් ඉන්නවා සොබාදහමට වගේම ඇවිදින්න ආදරය කරන කෙනෙක්. එයා සමහර දවස්වලට කියනවා මෙහෙම ලස්සන තැනක් තියෙනවා කියලා. එතකොට මම කියනවා මටත් යන්න ඕනේ කියලා. ඊට පස්සේ කොහොම හරි ඒ තැන්වලට අපි යනවා. දැන්නම් Google එකේ හොයපු ගමන් ලස්සන තැන් හොයාගන්න පුළුවන්. ඔය විදිහට තමයි ගමන යෑමට පෙර ඒ ගමන ගැන සැලසුම් කරන්නේ. මට තව දෙයක් කියන්නම ඕනේ. මම කැමති නෑ බිත්ති හතරකට කොටුවෙලා කෑම මේසයේ ඉඳගෙන කෑම කාලා එන ගමන්වලට. මම කැමැති පරිසරයත් එක්කම තියෙන හොටෙල්වල ඉන්න. අමුතුම අත්දැකීමක් ලබන්න පුළුවන් තැන්වලට යන්න තමයි මම ආස කරන්නේ.

• අනුෂා ඔබ විදෙස් සංචාරත් ගොඩක් කරපු කෙනෙක්. ඒ අතරින් ඔබ වඩාත් කැමැති සංචාරයක් එහෙම තියෙනවාද?

විදෙස් සංචාර හැම එකකටම මම ගොඩක් ආසා කරනවා. ඒ හැම රටකම එකකට එකක් වෙනස් අත්දැකීම් තියෙන්නේ. ඒ නිසා මට එකක් ගැන කතා කරන්න අපහසුයි.

• අනුෂා ඔබ කවදාවත් නොගියපු ඒත් කවදා හරි යනවාමයි කියලා හීන දකින තැනක් තියෙනවාද?

මට දැනට ලොකු ආසාවක් තියෙනවා ඇමෙරිකාවේ (ලාස්වේගාස්) බලන්න යන්න. ඒ මොකද්ද කියලා බලන්න. ලෝකයේ ගොඩක් කට්ටිය යන තැනක්. එහේ යන්න තමයි ලොකුම ආසාව තියෙන්නේ.

• Travel කරනවා කියන දේ ඔබ දකින්නේ කොහොමද?

මම හිතන්නේ මනුස්සයෙක් වුණොත් Travel කරන එක කරන්න ඕනේ. මොකද මේ ජීවිත ගමන හරි කෙටියි. හරියට අපිත් මේ ඇවිල්ලා තියෙන්නේ චාරිකාවක් වගේ ගමනක්. ඉතින් මම හිතන්නේ ජීවිතේ අපි අත් විඳින්න ඕනේ සහ දකින්න ඕනේ. ඒ වගේම ජීවිතේ හොඳ රස විඳින්නෙක් වෙන්න ඕනේ. ඒ රස විඳින්න නම් Travel කියන දේ කරන්නම ඕනේ කියලයි මම කියන්නේ.