2021 ජුලි 24 වන සෙනසුරාදා

මම ගියේ එයාගේ කරේ නැගලා

 2021 ජුලි 24 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 67

නෙහාරා.. මොනවද මේ දවස්වල අලුත් තොරතුරු?

මේ දවස්වල කොරෝනා ප්‍රශ්න නිසා රංගන කටයුතුවලට වගේම කිසිම වැඩසටහනකට සහභාගි වුණේ නෑ. මොකද බබා නිසා. ඉදිරියේදී අලුත් වැඩක් පටන් ගන්න තියෙනවා. ඒ වගේම මගේ නෙහාරා ඩාන්සින් ස්ටුඩියෝ එකේ වැඩ කරන ගමන් බබාත් එක්ක සතුටින් ගෙදරට වෙලා ඉන්නවා.

නෙහාරා.. ඔබ Travel කරන්න ආසා කරන කෙනෙක්ද?

මම ඇවිදින්න යන්න ආසයි. නමුත් මම වැඩිපුර කැමති විදෙස් සංචාරවල නිරත වෙන්න.

ඔබ එය විනෝදාංශයක් විදිහටද කරන්නෙ?

මේ දවස්වලනම් කොරෝනා ප්‍රශ්න නිසා කිසිම විදෙස් සංචාරයකට තියා ලංකාව ඇතුළෙවත් කොහෙවත් ගියේ නෑ. නමුත් අපි අමෙරිකාවට යන්න කලින් මට වාසනාව තිබුණා රංගන ශිල්පිනියක් හැටියට ගොඩක් විදෙස් සංචාරවල නිරත වෙන්න. ඉතින් ඒ සංචාරත් එක්ක මට ලොකු ආශාවක් ආවා විදෙස් සංචාරවල නිරතවීම මගේ විනෝදාංශයක් කර ගන්න.

ඔබ විදෙස් සංචාර ගොඩක් කරපු කෙනෙක්. ඒ අතරින් ඔබේ හිතට දැනිච්ච සංචාරය කුමක්ද?

1999 දී මගේ පළවෙනි විදෙස් සංචාරය වුණේ ඕස්ට්‍රේලියාව. ඒ ගමන මට කවදාවත් අමතක වෙන්නෙ නැති සංචාරයක්. ඒ තරමට මම ඒ සංචාරයට ආදරය කරනවා.

ඇයි ඔබ ඒ තරමටම ඒ සංචාරයට ආදරය කරන්නෙ?

ඒ සංචාරය අතරතුර අපි ගියා සිඩ්නිවල තියෙන Fox කියලා ස්ටූඩියෝ එකකට. ස්ටූඩියෝ එකක් කිව්වාට ඒක නිකම් ලොකු උද්‍යානයක් වගේ එකක්. ඒ ස්ටූඩියෝ එකට ගිය වෙලාවේ අපිට ටයිටැනික් නැව ගිලෙන විදිහ හැබැහින් වගේ දැකගන්න පුළුවන් වුණා. ඒ නැව ගිලෙනකොට මිනිසුන් මරණ බයේ කෑගහන විදිහ, නැව ගිලෙන්න යනකොට කුඩා බෝට්ටුවලින් ඇවිත් මිනිසුන් බේරාගන්න විදිහ වගේම ඒ නැව මුහුදු පතුලට යටවෙන විදිහ අපිට එතැන ඉන්නවා වගේ දැකගන්න පුළුවන් වුණා. අන්න ඒ අත්දැකීම නිසා මට ඒ ගමන කවදාවත් අමතක වෙන්නෙ නෑ. මම අමෙරිකා යන්න කලින් නැවත පාරක් ඕස්ට්‍රේලියා ගියා. ඒ අවස්ථාවේ මම ගියා Fox ස්ටුඩියෝ එක බලන්න. හැබැයි ඒ අවස්ථාවේ ඒ ස්ටූඩියෝ එක සම්පූර්ණයෙන් වෙනස් වෙලා. මට හරියට දුක හිතුණා. මොකද මම නැවත ඒ ස්ටුඩියෝ එකට ගියේ ඒ අවස්ථාව නැවත බලාගන්න. ඒත් මට ඒ ආසාව ඉෂ්ඨ කර ගන්න ලැබුණේ නෑ. ඒ වගේම තව හේතුවක් තියෙනවා. 1999 අපි ගිය ඒ ඕස්ට්‍රේලියා ගමන අතරතුර අපි ගිය තව තැනක් තමයි වොන්ඩර්ලෑන්ඩ් කියන උද්‍යානය. මම පළවෙනි වතාවට රෝලර් කෝස්ට් එකක අත්දැකීම ලැබුවෙත් ඒ උද්‍යානයේදිම තමයි. කොහොම හරි නැවත පාරක් 2015 ඒ උද්‍යානයට යන්න හැදුවත් අපිට යන්න වුණේ නෑ. මොකද ඒ උද්‍යානය 2015 වෙද්දි වහලා. නමුත් මම ආසම කරන විදෙස් සංචාරයක් තමයි ඕස්ට්‍රේලියා සංචාරය.

ඕස්ට්‍රේලියා ගමනට අමතරව ඔබ ගිය විදෙස් සංචාරවල සිදුවූ අමතක නොවන සිදුවීම් එහෙම ඇති නේද?

ඔව්. ඇත්තටම කියනවානම් අමතක නොවන සිදුවීම් ගොඩක් තියෙනවා. ඒ අතරින් එකක් ගැන කතා කළොත් මම ලෙබනන් ගියා සංගීත ප්‍රසංගයකට. ඒ අවස්ථාවේදී මට සින්දු කියලා වේදිකාවෙන් බැහැලා යන්න ගොඩක් අමාරු වුණා. පිරිමි කට්ටිය ගැහැනු කට්ටිය පොරකනවා. ඒ සංගීත ප්‍රසංගයේ සංවිධායක පිරිස අපේ ආරක්ෂාවට ලෙබනන් රටේ ආරක්ෂකයෝ කිහිප දෙනෙක් දීලා තිබුණා. ඒ ආරක්ෂකයෝ ශරීරයෙන් පවා හුඟක් විශාල කට්ටිය. කොහොම හරි මට වේදිකාවෙන් බැහැලා යන්න බැරි නිසා එක ආරක්ෂකයෙක් ඇවිල්ලා එයාගේ කර උඩ මාව තියාගත්තා. හරියට මම නිකම් පොඩි මාළු කෑල්ලක් වගේ එයාගේ ශරීරයේ ප්‍රමාණයත් එක්ක බලපුවාම. ඒ ආරක්ෂකයා මාව කර උඩ තියාගෙන යනකොට මට පුදුම ලජ්ජාවක් ඇතිවුණා. මොකද ඒ ප්‍රසංගයට ගොඩක් සහභාගිවෙලා හිටියෙ ලංකාවේ මිනිසුන් නිසා. අන්න ඒ සිදුවීමත් මට කවදාවත් අමතක නොවන සිදුවීමක්.

නෙහාරා.. ඔබ වැඩිපුර Travel කරන්න කැමති කා සමඟද? 

මම වැඩිපුරම ආසා කරන්නෙ මේනක එක්ක Travel කරන්න.

Travel එකකදි ඔබගේ ස්වාමිපුරුෂයා.. ඒ කියන්නෙ මේනකගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

අපි දෙන්නම එක විදිහයි. මම එහෙම කිව්වෙ මේනකත් Travel වලට ආසයි. හැබැයි එයා ආසා නැහැ ඇවිදින්න. එයාට ඕනෙ අපි කොහේ හරි ගියොත් හොටෙල් එකට වෙලා ඉන්න. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි යාල ගියා කියමුකො. හැබැයි අපි දෙන්නම කැමති නෑ සෆාරි යන්න. අන්න ඒ නිසා අපි දෙන්නම ලංකාව ඇතුළත වැඩිපුරම යන්න කැමති පහතරට ප්‍රදේශවලට.

පහතරට ප්‍රදේශවල Travel කරන්න ආසා කරන්න විශේෂ හේතුවක් තියෙනවද?

මට හිතෙන්නේ ඒ පරිසරයට වෙන්න ඇති මම ආසා කරන්නෙ. හැබැයි කොළඹ දේශගුණයයි පහතරට ප්‍රදේශවල දේශගුණයයි ලොකු වෙනසකුත් නෑ. ඒත් මට මාරම ආසාවක් තියෙන්නෙ පහතරට ප්‍රදේශවල යන්න.

නෙහාරා.. ඔබ කවදාවත් නොගිය කවදා හෝ යනවාමයි කියලා හීන දකින තැනක් තියෙනවද?

මම ආසා කරන රටක් තමයි හොංකොං කියන්නෙ. අපි එක සැරයක් හොංකොං යන්න ඔක්කොම ලෑස්ති කරගෙන හිටියේ. නමුත් කොරෝනා ප්‍රශ්න නිසා ඒ ගමන නතර වුණා. නමුත් මේ තියෙන ප්‍රශ්න ඉවර වුණු දාට කොහොම හරි යනවා.

අවසාන වශයෙන් නෙහාරා.. ඔබ Travel කියන දේ දකින්නෙ කොහොමද?

මම හිතන්නෙ මගේ ජීවිතය ගත්තොත් නිවාඩුවත් Travel එකත් විනෝදයත් අවශ්‍යමයි. ඒ නිදහස නැතිවුණාම ජීවිතය හරි ඒකාකාරීයි. හැබැයි අපි Travel එකක් කරලා ආවාම ජීවිතය අලුතින් පටන් ගන්නවා වගේ හැඟීමක් මටනම් දැනෙනවා.