2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා

ආදරයෙන් ගැලවෙන්න මටත් බෑ

 2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 174

 කැපකිරීම

ජීවිතේ ගොඩනඟන්න පටන් ගත්ත දවසේ සිටම මට දැනෙන විදිහට මගේ ජීවිතේ කැපකිරීම් තිබුණා. අදටත් එහෙමයි. අධ්‍යාපනය වගේම කලා කටයුතුවලදිත් කැපකිරීම් බොහෝමයක් මම කළා. මට බොහෝ දේවල් මගේ වාසනාවට ඉබේ පහළ වුණේ නැහැ. මේ හැම ජයග්‍රහණයක්ම මම දිනාගත්තේ කරපු කැපකිරීම් නිසාමයි. නාට්‍ය කලාවට පිවිසෙද්දී වුණත් මම ඉබේ පහළ වුණු රංගන ශිල්පියෙක් නෙමෙයි. නාට්‍ය වැඩමුළුවලට සහභාගි වෙලා, විශ්වවිද්‍යාලයේ කරපු නාට්‍යවලින් ලබපු අත්දැකීම් එක්ක ඉතා සුළු චරිතවලින් තමයි මම මුලින්ම මේ රංගන ක්ෂේත්‍රයට පිවිසුනේ. මේ හැමදේම ලබාගන්න පුදුම කට්ටක් කෑවා. ඒ කැපකිරීමත් එක්ක මට හැමදේම ලැබුණා. ඒ කැපකිරීම් එක්ක ලබපු අත්දැකීම් ජයග්‍රහණයන් කරා ළඟාවන්නට ලොකු උදව්වක් වුණා.

 ඉරිසියාව

හැම කෙනෙක් තුළම යම් මට්ටමින් හෝ ඉරිසියාව තියෙනවා. මා ළඟත් මට හිතෙන විදිහට සියයට එකක් වැනි අඩු ප්‍රතිශතයකින් ඉරිසියාව පිහිටලා තියෙනවා. මම දැනුවත්ව ඉරිසියා කරන්නේ නැහැ. අනිත් අයත් මම වගේ වෙනවා නම් මම කැමැතියි මම වාහනයක් ගන්නවා නම් ඒ දිහා බලලා අනිත් අය හූල්ලමින් ඉන්නවාට වඩා ඒ කෙනාටත් ඒ වගේ වාහනයක් ගන්න පුළුවන් නම් ඒකට කැමැතියි. මම දන්න දෙයක් කියලා දෙනවා. නාට්‍යයකදී වුණත් අළුතින් එන අය එක්ක වුණත් කතාබහ කරල දන්න දේ කියල දීලා ඒ කරන දේ හොඳට කරන්න මම හැම මොහොතකම උත්සාහ ගන්නවා.

 පසුතැවීම

මට දැනෙන විදිහට මගේ ජීවිතේ පොඩි පොඩි දේවල්වලට පසුතැවීම් තිබුණත් මගේ හිතට වඳදුන් පසුතැවීමක් වෙලා නැහැ. මට මගේ ජීවිතේ ආපස්සට හැරිලා බැලුවොත් මම ගත්තු තීරණ ගැන කිසිම තැනක පසුතැවීමක් වෙලා නැහැ. සමහර තැන්වලදී පිට අයට ඒක ජීවිතේ පසුතැවීමක් විදිහට පෙනුණත් මගේ ජීවිතේ එහෙම පසුතැවීම් නැහැ. ආදර සම්බන්ධකම් තිබිලා ඒක නැවැත්තුවාට පස්සේ පිට අයට ඒක නරකයි කියලා හිතුණත් &අනේ මෙයා ඒක නැතිව පසුතැවෙනව ඇති* කියල හිතුවත් මම එහෙම පසුතැවෙන්නේ නැහැ. මම හැම මොහොතකම මම ගත්තු තීරණය හරි කියලයි හිතන්නේ. මට රඟපාන්න නාට්‍යයක් ලැබෙන්න තිබිලා ඒක නැතිවුණත් මම ඒ ගැන පසුතැවෙන්නේ නැහැ. හැමදේම හොඳට සිදුවෙයි කියලයි මම හිතන්නේ.

 අභියෝග

මට දැනෙන විදිහට මම අභියෝගවලට හරි ආසා කෙනෙක්. ඒ අභියෝග ජිවිතයට ආපු ගමන් මාව ටිකක් ගැස්සෙනවා. මාව මානසිකව පොඩ්ඩක් වැටෙනවා. නමුත් පොඩි කලකිරීමකින් පසුව මගේ හිත ඇතුලේ මාර ශක්තියක් ඒ අභියෝගයත් එක්ක සටන් කරන්නට පටන් ගන්නවා. ඒ නිසාම අභියෝගවලට මම හරි ආසයි.

 කඩා වැටීම

ජීවිතේ කඩා වැටුණු තැන් මහ ලොකුවට නැහැ. පොඩි පොඩි සිදුවීම් කිහිපයක් වෙලා තියෙනවා. ඒවා කඩාවැටීම්ම නෙවෙයි. ඒ නිසා මගේ ජීවිතේ ලොකුවට කඩාවැටීම් දැනිලා නැහැ.

 ජයග්‍රහණ

මට හිතෙන විදිහට මගේ ජීවිතේ ජයග්‍රහණ නිතරම මම විඳලා තියෙනවා. ඒ ජයග්‍රහණ හැමදෙයක්ම මගේ කැපකිරීම් නිසා ජීවිතයට ලැබුණු දේවල්. මේ හැම ජයග්‍රහණයක්ම මට ඉබේ, එකවර ලැබුණු දේවල් නෙමෙයි. මගේ උත්සාහයත්, කැපවීම් කරලා ලබාගත්තු ජයග්‍රහණ මට තියෙනවා. මම ජීවිතේ පැරදිලා නැහැ. විභාගයක් වුණත් මම පැරදිලා නැහැ.

 ප්‍රථම ප්‍රේමය

ප්‍රථම ප්‍රේමය ඇතිවුණේ පාසැල් යන කාලයේදීමයි. ඒක දහය වසරේදී විතර ඇතිවුණු ප්‍රේමයක්. ඊට පෙර කිහිප වතාවක්ම ප්‍රථම ප්‍රේමයක පැටළෙන්න ට්‍රයි කරලා තියෙනවා. නමුත් ඒ එකක්වත් හරි ගියේ නැහැ. මුලින්ම ගෑනු ළමයෙක්ට දහය වසරේදී ආදරය කළා. සෑහෙන කාලයක් ඒ ප්‍රේමය තිබුණා. විශ්වවිද්‍යාලයට එනතුරුම ඒ ආදරය තිබුණා. ප්‍රථම ප්‍රේමය බොහෝ වෙලාවට අවබෝධයකින් තොරව තමයි පටන් ගන්නේ. පාසැල් කාලයේදී සුන්දරත්වයත් එක්ක, යාළුවන්ට ආදර සබඳතා තියෙන නිසා පටන්ගන්න ආදර කතානේ. කල්යත්ම ඒ ආදර කතාවට තිත තියන්න සිදුවුණා.

 ආදරය

ආදරය අපිට නැතිවම බැරි, ආදරයෙන් අපිට ගැලවෙන්න බැරි දෙයක්. ආදරය අපිව විවිධ තලවලට පරිවර්තනය කරනවා. මිනීමරුවන්, තරහකරුවන්, පිස්සන්, කැත මිනිස්සු, ලස්සන මිනිස්සු, හැඟීම්බර මිනිස්සු, නපුරු මිනිස්සු වගේ විවිධ ප්‍රතිරෑපවලට ආදරය අපිව ගොඩනඟන්න පුළුවන්.

 ඉලක්ක

දැනට මගේ ජීවිතේ සියලු ඉලක්ක සපුරලා ඉවරයි. ඒ නිසා ඉදිරියට මට ප්‍රධාන ඉලක්කයක් නැහැ. මේ තියෙන තත්ත්වයත් එක්ක හෙට මැරෙයිද දන්නේ නැහැ. ඒ නිසා මේ මොහොතේ ඉන්න අයත් එක්ක සතුටින් ගතකරන එකයි මට තියෙන බලාපොරොත්තුව වන්නේ.

මම කවුද?

මම අතිශය සරල පුද්ගලයෙක්. ටී ෂර්ට් එකයි, ෂෝට් එකයි, බාටා දෙකයි දාගෙන ඕනෑම තැනක යන්න පුළුවන් ඉතා සරල කෙනෙක්.