2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා

හැර ගියත් හැර නොයන ආදරය සුන්දරයි!

 2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 161

ඒ පුංචි උන් දෙන්නා පීසා එකක රහ බලන්න වින්ඳ දුකක්! බඩගින්නට උත්තරයක් නැති වෙද්දී කපුටු කූඩුවක බිත්තර අරන් අමුවෙන් බොන්න තරම් අසරණ වෙච්ච ඒ අයියාගෙත් මල්ලිගෙත් කතාව මම කියෙව්වේ M. Manikandan කියන සිනමාවේදියාගේ කාක මුටෙයි කියන දමිළ චිත්‍රපටයෙන්. 

දුප්පත්කම දෝර ගලන ජීවිත ඇතුළේ ඒ අයියාටත් මල්ලිටත් තිබුණේ එකම හීනයක්! ඒ පීසා එකක රහ කොයි වගේද බලන හීනයක්! ඒත් ඒ සියල්ල අවසානයේ අයියා මල්ලිට කියනවා... අපේ ආත්තම්මා හදන රොටී පීසාවලට වඩා රහයි නේද මල්ලි කියලා.. 

ඒ වචන ඇතුළේ හරි සියුම් ගැඹුරක් තියෙනවා.. මේ විසල් ලෝකය ඇතුළේ මොන තරම් දේවල් හොයාගෙන හොයාගෙන හොයාගෙන අපි ගියත් අපේ අක්මුල්වලට හදේ කොතැනක හෝ තැනක වෙන්වෙච්ච ඉඩක් තියෙනවා අපි හැමෝටම.. මට එහෙම හිතෙනවා.. ජීවිතය හා ජීවත්වීම කියන්නෙ දෙකක්.. ජීවිතය දැනෙන්න ජීවිතය වෙනුවෙන් හුස්මක් ගන්න බව හැඟෙන්න ජීවිතය හොයාගෙන යාම තමයි ජීවත්වීම කියන්නේ.. ඒ හොයන හුස්ම හමුවෙන තැනක නවතින අවකාශය හරිම සුන්දර අත්දැකීමක්.
එහෙත් කොහේ කොතැනක භෞතිකව රුඳුණත් කොයි විදිහට අපි අන්සතුකරණය වුණත්.. මගේ කියලා නැත්නම් මගේම කියලා හදවතින් අල්ලා ගත්තු දේවල්වලට අපි හැමදාම නිහඬවම ආදරය කරනවා.. මම හිතන්නේ එහෙමයි...

පහුගිය දවසක මගේ ඇස ගැටුණු පින්තූර සම්මුචයක් ළඟදිත් මගේ හිතට දැනුණේ ඒ හිතුවිල්ල.. ඒ අය ශ්‍රී ලාංකිකයන්. ඒත් ජීවත් වෙන්නෙ බටහිර ඔස්ට්‍රේලියාවේ.. බටහිර ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය මඟින් සංවිධානය කර තිබූ ආහාර ප්‍රදර්ශනයකදි තමයි ඒ පින්තූර ටික අරගෙන තිබුණේ. ශ්‍රී ලාංකිකයන් එකතුවෙලා රසට හදපු ඒ කෑම අතරේ කොත්තු, බිරියානි, ආප්ප, ෆ්‍රයිඩ් රයිස්, ලම්ප් රයිස්, කට්ලට්, තෝසේ, වඩේ විතරක් නොවෙයි ශ්‍රී ලාංකික උරුමය රුගත් බත් සහ ව්‍යංජනත් රසකැවිලි වර්ගත් තිබුණා.. ඒ ඔක්කොමත් හරි කියමුකෝ.. උණු උණු පොල් රොටී එක්ක ලුණුමිරිසක් තිබුණා නේන්නම් ඌරු මසුත් එක්ක... 
ඇයි මේ හදිස්සියේ මේ අයට මෙහෙම ආහාර ප්‍රදර්ශනයක් තියන්න හිතුණේ..
ඒ ප්‍රශ්නයට ඒ අය දෙන උත්තරය හරි ලස්සනයි.

ශ්‍රී ලංකාවේ කොවිඩ් අරමුදලට මුදල් ලබාදෙන්නයි අපි එහෙම කළේ...
කොහේ කොතැනක පැලවුණත් මුල් ඇද්ද මහපොළොව ගැන ළය ලෙය උපන් ආදරය හදවතකින් ඈතට ඈතට ඈතටම යනවනම් ඒ හරි කලාතුරකින්.. ඒ තමා ආදරයේ හැටි... ජන්මලාභය ලද බිමට, මුදුන් මුලේ අයිතිය පැලවෙච්ච තැනට මුල් විහිදා යළි කවදා නොතැනක පැලවුණත් කෙනෙක් ආදරෙයි කියලා මට හිතෙන්නේ..

බටහිර ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් රොෂ් ජලග්ගේ කොන්සල්වරයා ඒ ගැන කීවේ මෙහෙම කතාවක්.
බටහිර ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට අද හරිම සතුටු දිනයක්. මෙහේ ඉන්න ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා කිසිම භේදයකින් තොරව මේ කටයුත්තට දායක වුණා. කිසිදු පක්ෂ, ආගමික භේදයකින් තොරව බාල, තරුණ, වැඩිහිටි හැමෝම සමිති සමාගම් සියල්ලම එකතුවෙලා අපේ මාතෘ භූමිය වෙනුවෙන් මෙම සද්කාර්යයට දායක වුණා. ඒ හැමෝටම මගේ ස්තූතිය පුද කරනවා. ඒ වගේම රට විරුවන් විසින් කරන ලද මේ කාර්යය හොඳ ආදර්ශයක්, පණිවුඩයක් ලබා දෙනවා. අභියෝග ජය ගන්න අපිට හැකියි, ඒ සඳහා අපි එකමුතුව වැඩ කළ යුතුයි...
ඔව් ඇත්තටම...

හැර ගියත් හැර නොයන ආදරය සුන්දරයි!

 සංජු