2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා

කවුරු හරි තරහ වුණොත් මට හරි අවුල්

 2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 101

කැපකිරීම

මගේ ජීවිතේ බොහෝ දේවල් සාර්ථක වෙන්න ප්‍රධානම හේතුව වුණේ කැපකිරීමම තමයි. කලාවේදී වුණත් නිර්මාණයක් සාර්ථක වෙන්න කාලය, ශ්‍රමය, බොහෝ කැපකිරීම් කරන්න අපිට සිදුවෙනවා. ඒ කැපකිරීමෙන් පසුව ලැබෙන ප්‍රතිඵලය සාර්ථකනම්, ඒ වෙනුවෙන් කරපු කැපකිරීම ගැන තෘප්තිමත් වෙන්න මට පුළුවන්. පාසල් ජීවිතෙත් එහෙමයි. නියමිත වෙලාවෙදි මහන්සිවෙලා කැපකිරීම් කරලා ඉගෙන ගත්ත නිසා මට විභාගවලින් ජයග්‍රහණය කරන්න පුළුවන් වෙලා තියෙනවා.

ඉරිසියාව

ජීවිතේ ළමා කාලයේදි බොහොම චූටි දේවල්වලට මට හිතෙන විදිහට ඉරිසියාව දැනිලා තියෙනවා. &අයියෝ.. අපරාදේ මට ඒක නැහැනෙ* කියලා මට නැති, තව කෙනෙකුට තියෙන පොඩි පොඩි සෙල්ලම් බඩු දකිද්දි මට ඒ ළමා කාලයෙදි දැනිලා තියෙනවා. මට හිතෙන විදිහට ඕනෑම ළමයෙක්ට ඒ ළමා කාලයෙදි නොතේරුම්කමට ඉරිසියාව ඇතිවීම සාමාන්‍ය දෙයක්. කවුරුහරි කියනවනම් එහෙම ළමා කාලයෙදිවත් එක මොහොතකට හෝ ඉරිසියාව ඇතිවුණේ නැහැ කියලා ඒක බොරුවක්. ඉතින් මටත් ඇතිවෙලා තියෙනවා. හැබැයි අද මට පුළුවන්තරම් උත්සාහ කරන්නෙ මේ ඉරිසියාව, තණ්හාව නැති කරගෙන පුළුවන් තරම් ඉස්සරහට යන්නයි.

පසුතැවීම

මගේ ජීවිතේ පසුතැවීම් දැනිලා තියෙන ජීවිතේ එහෙම තැන් දෙක තුනක් දැනිලා තියෙනවා. හැබැයි එයින් ජීවිතේ දැඩිව දැනුණු පසුතැවීම්නම් මේ මොහොතේ මට කියන්න බැහැ. ඒ අතරේ සමහර තැන්වලදි &මෙහෙම නොවුණානම් මම වෙන තැනක ඉන්න තිබුණා* කියලා සිදුවුණු දේවල් නිසාත් පසුතැවිලා තියෙනවා. හැබැයි දැන් ඉන්න තැන ගැන අසතුටක් නැහැ. මම දැන් හිතන්නෙ මේ මම ඉන්නෙ මට ඉන්න හොඳම තැන කියලයි. ජීවිතේ පසුතැවීමක් වුණාම මම මගේ ළඟම ඉන්න යාළුවන්ට ‍හෙමිහිට ඒ ගැන කියනවා. එහෙම කියලා මම මගේ හිත නිදහස් කර ගන්නවා.

කඩාවැටීම

මට හිතෙන විදිහට මගේ ජීවිතේ තවම එහෙම කඩාවැටීමක් වෙලා නැහැ. මට දැනෙන විදිහට මම ජීවිතේ සුබවාදීව දකින්න උත්සාහ කරන කෙනෙක්.

ප්‍රථම ප්‍රේමය

මට දැනෙන විදිහට මගේ ප්‍රථම ප්‍රේමය හොඳයි. පාසලේ අවසන් කාලයෙදි මගේ හිතේ ඇතිවුණු ප්‍රේමයක්. මම ඒ කාලයෙදි හිතාගෙන හිටියෙ ඒක තමයි ආදරය කියලා. නමුත් ඒක නෙවෙයි ආදරය කියලා පහුකාලීනව මට තේරුණා. ඒ ප්‍රථම ප්‍රේමය මගේ හිතේ තිබුණු දෙයක් විතරයි. මම ඒ ගෑනු ළමයාව දකින්න ආසා කළා. කතා කරන්න ආසා කළා. ඒක මට දැනෙන විදිහට ඒකපාර්ශ්වික ආදරයක්.

ආදරය

තේරුම් ගැනීමයි, අවංක වීමයි එක්ක දැනෙන ආදරය දැන් හොඳට තේරෙනවා. බොළඳ වෙන්නෙ නැතිව, තීරණයක් ගන්න පුළුවන් කාලයක් මේ ගෙවන්නේ. ඒ ආදරය මට දැන් දැනෙනවා.

අභියෝග

මගේ ජීවිතේ දරාගන්න බැරි මහ ලොකු අභියෝග මට ඇවිත් නැහැ. අභියෝගයක් ආවම ඒකෙන් පැනලා යන්නෙ නැතිව ඒකට මුහුණ දෙන්න මම කැමතියි. කාත් එක්ක හරි මොකක් හෝ දෙයකට තරහ වුණොත් ඒ කෙනා එක්ක ආයේ මිත්‍රවීමත් මගේ අභියෝගයක්. එහෙම තරහ වුණොත් ගෙදර ගිහිල්ලත් මම ඒ ගැන කල්පනා කරනවා. ඇත්තටම එහෙම වුණාම ඒක මට අවුල්. මගේ වැරැද්දක් හෝ ඒ කෙනාගේ වැරැද්දක් හෝ වුණත් මම ඒ කෙනා එක්ක කොහොම හරි ආයෙත් මිත්‍ර වෙන්න උත්සාහ ගන්නවා. කාත් එක්කවත් තරහවෙලා ඉන්න මම කැමති නැහැ.

ජයග්‍රහණ

හැම වැඩක්ම අපි සාර්ථකව කළොත් ඒකෙ දැනෙන සතුට මම විශ්වාස කරන්නෙ ජයග්‍රහණයක් කියලයි. කලා ජීවිතේ මම ලබපු ලොකුම ජයග්‍රහණය වෙන්නෙ තාමත් මේ ක්ෂේත්‍රයේ වැඩ කරන්න පුළුවන්කම ලැබීමයි. තාමත් වැඩවලට ආරාධනා ලැබෙනවා. ඒකත් එක්තරා ජයග්‍රහණයක්.

මම කවුද?

වැඩිය කලබල නොවන, කාටවත් ඉරිසියා නොකරන, හැම මොහොතකම සතුටින් මගේ පාඩුවේ ජීවත් වෙන්න කැමති කෙනෙක්.