2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා

ගෙජ්ජි සිලම්බු දෙපයට දාපු මාව හැමෝම කොන් කළා

 2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 367

තම කුඩා දියණියගේ හෝ පුත්‍රයාගේ දක්ෂතාවන් පවුලේ අය, මිතුරු මිතුරියන් ඉදිරියේ ඉදිරිපත් කරන්න දෙමව්පියන් ඉතා කැමතිය. කවියක්, ගීතයක්, නැටුමක්, කතාවක් පවුලේ අය ඉදිරියේ, මිතුරු මිතුරියන් ඉදිරියේ ඉදිරිපත් කරවන්නේ මහත් අභිමානයෙනි. එහෙත් තමන්ගේ පුතෙකු දෝතියක් ඇඳගෙන, පා සලඹ පැළඳගෙන සැබෑ නර්තනයක යෙදෙනවා දකින්න නම් බොහෝ දෙමව්පියන්ගෙ කැමැත්තක් නොමැත. විශේෂයෙන්ම කුඩා පිරිමි ළමයෙකුගේ අංගචලනයන් නර්තන ශිල්පිනියක සේ හැඩ වැඩ වීම පුදුමයක් මිස සතුටට හේතුවක් නම් නොවේ. කුඩා චන්දන පවුලේ වැඩිමහල් පිරිමි දරුවා ලෙස හැඩට වැඩට ඇඳ පැළඳගෙන නර්තනයේ යෙදීම පවුලේ ඥාතීන්ගේ නොරිස්සුමට හේතු විය.

මගෙ කුඩා කාලයේ මතක හරි අමිහිරියි. මගේ අම්මගෙ පවුලේ සමහර ඥාතින් මා දිහා බැලුවේ කුණු කාණුවකින් ඇහිඳන් ආ කෙනෙකු දිහා බලන විදියට. ගමනක් යද්දි මම එයාලගෙ වාහනේකට නගිනවටවත් එයාලා කැමති වුණේ නැහැ. මේ දේවල් එක්ක මගෙ තාත්තා ටිකක් බය වුණා. ඒ වගේම මටත් මේ වෙද්දි දැනෙන්න ගත්තා මම සාමාන්‍ය පිරිමි ළමයෙකුට වඩා වෙනස් බව. කෙසේ හෝ මගේ ලොකු මාමා ජී.එම්.එච්. විජේදාස සහ ලොකු අම්මා කෙනෙකු වූ අමරා වික්‍රමසිංහ වැනි පවුලේ ඥාතින් මට උදව් කළා. සමහර කලකිරීම් මඟහැරගන්න මට ඒ පිළිගැනීම, ආදරය හේතුවක් වුණා.

එහෙම හදසරට අද මගේ කතාව කියන්න එක්වන්නේ අපේ පුංචි රටේ නම ජාත්‍යන්තරයටද රුගෙන ගිය ප්‍රවීණ නර්තනාචාර්ය චන්දන වික්‍රමසිංහය. චන්දනගෙ අම්මා ලඝු ලේඛිකාවක මෙන්ම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සහාය නිවේදිකාවක ලෙසද කටයුතු කළ ලලිතා වික්‍රමසිංහය. තාත්තා විදුලිබල මණ්ඩලයේ සේවය කළ උපාලි වික්‍රමසිංහය. තම වැඩිමහල් පුතුගේ චලනයන්ගේ වෙනස, හැඩය පිළිබඳ අවබෝධ කරගන්නා මේ දෙමව්පියෝ තම දරුවාගේ අනාගතය පිළිබඳ යහපත් තීරණයක් ගනු ලැබූහ. වයස අවුරුදු 05ක් පමණ වූ තම කුඩා පිරිමි දරුවා‍ ඔවුහු චිත්‍රසේන ප්‍රවීණ නර්තනාචාර්යවරයාගේ කොල්ලුපිටියේ පිහිටි කලායතනයට බාර දුන්හ. පසුව කෙටි කලකදි ඔහු තවත් ප්‍රවීණ නර්තනාචාර්යවරයෙකු වූ කුලසිරි බුදවත්ත වෙත ගියේය.
බුදවත්ත සර්ගෙ පළමු වෙස් බැඳි ශිල්පියා මමයි. මම තමයි එතුමාගේ ප්‍රථම ආඩම්බරකාර ගෝලයා. චන්දන එහෙම කියන්නේ සැබෑම අභිමානයෙනි.

ඇත්තටම නර්තන ශිල්පියෙකු වන එක ඔබට පහසු දෙයක් වුණාද? මොකද කුඩා කාලයේ ඉඳන්ම ඔබට නර්තන හැකියාව තිබුණනේ... මා එසේ ඇ‍සුවේ සහජ හැකියාව නිසා යමෙකුට තමන්ගේ ඉදිරි ගමන කොතරම් ශක්තිමත්ව ඉදිරියට යා හැකිද යන්න සිහියේ තබාගෙනය. එහෙත් චන්දනගෙ මුහුණෙ ඇතිවුයේ අදහාගත නොහැකි හැඟීමකි. ඔහුගේ පිළිතුර මගේ විමතියට හේතු විය.

පුංචි කාලේ නැට්ටුවෙක් වෙන එක මගෙ හැකියාව නිසාම මට සතුටක් වුණා. ඒත් ඒ නිසාම කුඩා දරුවෙකුට දරාගත නොහැකි මානසික පීඩාවන්ට මුහුණ දෙන්න මට සිදු වුණා. ගෙජ්ජි සිලම්බු දෙපයට දාන නිසා, තාලය දෙකකුල්වල තිබූ නිසා මම පවුලෙන් ගොඩක් කොන් වුණා කියලා මම කිව්වනේ. ඒ විතරක් නෙවෙයි, පාසලෙනුත් මට ප්‍රශ්න ආවා. නැටුම් නටන කොල්ලෙක් විදිහට මගෙ දිහා බැලුවේ අප්‍රසාදයෙන්. මගෙ පාසල වුණේ මහානාම විද්‍යාලය. ඒත් මම ඒ හැමදේම දරාගෙන පාඩුවේ මගෙ ගමන ආවා. හදවතින් ඔහු ඒ කුඩා කාලයේ කොතරම් හඬා වැටෙන්න ඇත්දැයි මට සිතුණේ ඒ වදන් පෙළ ප්‍රකාශ කරද්දී ඔහුගේ මුහුණේ සටහන් වූ හැඟීම් කියවන්න උත්සාහ ගනිද්දීය.

ජීවිතයක හැටි හරි පුදුමය. කලායතනයට ඇතුළුවූවා කියාද ඔහුට මුහුණ දෙන්නට වූ ගැටලු නිමක් නොවීය. ඔහුගේ මුහුණ, ඇස්වල හැඩය මෙන්ම සමේ වර්ණය නිසාද ඔහුට කලායතනයේ සමහර සිසුහු උසුළු විසුළු කළහ. මෙහෙම කළුවට ඉඳන් උඹට ලස්සන නැට්ටුවෙක් වෙන්නට බැරි යැයි ඔවුහු කීහ. එහෙත් ඒ කිසිවකින් තම ගමන නොනවත්වා ඔහු ඉදිරියටම ආවේය. ඔහුගේ ජීවිතයේ කඩඉමක් වූ අපූර්ව නර්තන නිර්මාණයක් වූ මොණරා නර්තනය රුගෙන ඔහු රටවල් 46ක සංචාරය කළේය. මේ වනවිට ඔහු මුද්‍රා නාට්‍ය ප්‍රසංග, සම්ප්‍රදායික නර්තන ප්‍රසංග වශයෙන් රටවල් 76ක ප්‍රසංග පවත්වා ඇත. 2019 වසරේ ඉන්දියාවේ වේදිකාගත කළ Story of Seetha මුද්‍රා නාටකය වේදිකා ගතවීම තම දිවියේ වඩාත් අමරණීය අවස්ථාවක් බව ඔහු සිහි කරන්නේ සැබෑ ආඩම්බරයකිනි. ඉන්දියාවේ ආයෝධ්‍යා, ලක්නව්, දිල්ලි වැනි නගරවල විශාල ජන ප්‍රසාදයක් මැද පැවැත්වූ මෙම මුද්‍රා නාට්‍ය ප්‍රසංගය ශ්‍රී ලංකාවේද 12 වතාවක් පවත්වා ඇත. නැවත එළඹෙන වසරේ එම ප්‍රසංගය පැවැත්වීමට ඔහු අපේක්ෂා කරයි.

එහිදී සමාජයේ නොයෙක් විවේචනයන්ට මුහුණ දෙන්නට ඔහුට සිදු විය. තාණ්ඩව සහ ලාස්‍ය ලක්ෂණ සහිතව පිරිමියෙකු මොණරකු බවට පත් කිරීම සැබෑ අභියෝගයක් විය. එහෙත් ලොව පුරා මෙම නර්තන නිර්මාණය ජනප්‍රිය විය. බොල් ෂෝයි රඟහලද ඇතුළුව රටවල් 46ක මෙම නිර්මාණය වේදිකාගත වූ අතර අද පවා මෙම නර්තනාංගයට ඇත්තේ ඉහළ ඉල්ලුමකි. එහෙත් මෙම නිර්මාණය තුළ පවා නිර්මාණය අභිබවා නිර්මාණ ශිල්පියා විවේචනයට ලක්වීම චන්දන වික්‍රමසිංහයන් සිහිපත් කරනුයේ වේදනාවෙනි. ගැහැනු හෝ පිරිමි නොවන නැට්ටුවෙක් ලෙස හඳුන්වමින් එම නර්තන ශිල්පියාව හද කම්පා වන අයුරෙන් විවේචනය කළ වග ඔහු පවසයි. එහෙත් අදටත් නර්තන ප්‍රසංගයකදී නැතිවම බැරි නර්තනාංගයක් ලෙස මොණරා නර්තනයට ඇති ඉහළ ඉල්ලුම පිළිබඳව නම් ඇත්තේ සැබෑ සතුටක් බව ඔහු පවසයි.

නර්තන අධ්‍යක්ෂවරයෙකු ලෙස සිනමාවටද තම හැකියාව මුසු කළ චන්දන මේ වනවිට නර්තන අධ්‍යක්ෂණය සිදුකර ඇති චිත්‍රපට ගණන 24කි. කුස පබා, පත්තිනි, අලි කතාව සහ යශෝධරා චිත්‍රපට වෙනුවෙන් හොඳම නර්තන අධ්‍යක්ෂවරයා ලෙස සම්මානයට පාත්‍ර වූ ඔහු පත්තිනි චිත්‍රපටය වෙනුවෙන් ජනාධිපති සම්මානයෙන්ද පිදුම් ලැබීය. විටෙක ඔහු මෙරට ජනප්‍රියම නර්තන අධ්‍යක්ෂවරයාය. එමෙන්ම අඛණ්ඩව වසර 11ක් නර්තන තරග විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන්නේ වාර්තාවක් තබමිනි. ළමා සිත් නොතැලෙන සේ දැනමුතුකම් ලබාදෙමින් විශාල දරු පිරිසකට තම දැනුම බෙදා දෙන චන්දන වික්‍රමසිංහ අනුරාධපුර ප්‍රදේශයේ තම නවතම කලායතනය ද ආරම්භ කළේ දහස් ගණන් දරු දැරියන්ට අත්වැලක් වීමටය. එමෙන්ම ඔහු වත්මන් පරපුරෙන් ඉල්ලීමක්ද සිදු කරයි. 

මම මේක කිව යුතුමයි. මුලින්ම තමන්ට ඇති හැකියාව හඳුනාගන්න. නර්තනයට තිබෙන සුවිශේෂ හැකියාව හඳුනා ගත්තට පස්සේ මේ අධ්‍යාපයට යොමුවෙන්න. නැතිනම් තමන්ට හැකියාව ඇති වෙනත් අධ්‍යාපනයක් නිවැරදිව ලබාගන්න. කලාවෙන් යැපීමට පමණක් සීමා නොවී වෙනත් වෘත්තිය එළඹුමක් ඔස්සේ කලාවේ නියැලීම අනාගතයේ වඩාත් සුදුසු වනු ඇති බව ඔහුගේ පෞද්ගලික අදහසයි.

මම ජීවිතේ සියල්ල දිනාගත්තේ නැටුමෙන්. කොතරම් අභියෝග ආවත් නොසැලී ඉදිරියට යන්නට මට පාර කිව්වේ නර්තනයයි. අද කාලේ වගේ නොවෙයි. ඉස්සර නැට්ටුවෙකුට දියණියක් විවාහ කර දෙන්නවත් සමාජයේ කැමැත්තක් තිබුණේ නෑ. ඒත් මාධ්‍යවේදිනියක් වූ දිල්හානි ජීවිතය ඉතා හොඳින් තේරුම් ගෙන තිබුණා. එමෙන්ම පත්‍ර කලාවේදියෙකු වූ ඇගේ පියාත් අපිට ආශිර්වාද කළා. ඒ හින්දම අද අප දියණියකගේ සහ පුතුන් දෙදෙනෙකුගේ දෙමව්පියන්. චන්දන වික්‍රමසිංහ තම ජීවිතය ගැන ආදරයෙන් පවසයි.

ලෝක ප්‍රකට කෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ දියණියගේ විවාහයේ නර්තන අධ්‍යක්ෂවරයා වූයේද චන්දන වික්‍රමසිංහය. ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ මෙන්ම විදේශිකයන්ගේද ආරාධනයෙන් ප්‍රසංග පවත්වමින් ඒ ඔස්සේ රටට විදේශ විනිමයත්, අපේ නර්තන කලාව ප්‍රචලිත කරමින් විශාල කීර්තියක්ද අත්කර දෙමින් ඔහු යන ගමන සැබැවින්ම අගය කළ යුත්තකි.

ගෙඋයනක සුන්දරත්වය මැවෙන්නේ එකම මල් ගොන්නකින් නොව විවිධත්වයකින් යුත් මල් රැසකිනි. කලාවද එලෙසය. ගායනය, වාදනය, නර්තනය, රංගනය මේ ආදී විවිධ කුසලතා ඔප්නංවාගෙන, ඒ ඔස්සේ එහි නියැලෙමින් සිත් පිනවමින් ඔවුන් මේ ඉටු කරන්නේද සැබෑ ජනතා මෙහෙවරකි. මෙලෙස හදසර සමඟ තම කතාව කියන්නට එක්වූ චන්දන වික්‍රමසිංහට නර්තනයේ අති සුවිශේෂ ඉම් සොයා තවත් ඉදිරියට යන්නට හැකිවේවායි අපි ප්‍රාර්ථනා කරමු.

 මොනිකා සේරසිංහ