අගහිඟකම් නිසා හැමෝටම සුබ නත්තලක් නෑ
මුලින්ම සුබම සුබ නත්තලක් කියා මම ප්‍රාර්ථනා කරනවා. නමුත් ලෙඩරෝගවලින් පිරුණු, අඟහිඟකම්වලින් පිරුණු කාලයක් නිසා මේක සුබම සුබ නත්තලක් කියන්න බැහැ. ඒ වුණත් මේ හැමදේම අතරින් පොඩ්ඩක් හිනාවෙන්න උත්සාහ ගන්න. ජේසුතුමා ඉපදුණු දවස අපි හැමෝම ආසාවෙන් සමරන්න ඕනෙ. ඒ නිසා නැති බැරි අයට හැකි පමණින් උදව් කරමින් අපි හැමෝම එකට හිනාවෙලා මේ නත්තල සමරමු. ඒ හිනාවට ඒ සැමරුමට දෙවියන් වහන්සේ කොයි මොහොතේ හෝ ඔබට ලොකු උදව්වක් කරාවි.
ඉන්ද්‍රානි පෙරේරා
ප්‍රවීණ ගායන ශිල්පිනී
බෙදා හදාගෙන නත්තල් සමරන්න
සාමයේ කුමාරයා මේ ලෝකයට ගෙන ආ පණිවිඩය අපි නත්තල ලෙසින් සමරනවා. සැනසීම තියෙන්නෙ මුදල්වල නෙමෙයි. අපි සතු දේ, අපිට ලැබෙන දේ අපි අන් අය සමඟ බෙදාගැනීමෙන් මනසට සැනසීමක් ලැබෙනවා. අද මුළු ලෝකයම කොවිඩ් වසංගතයට ගොදුරුවෙලා. එවැනි කාලයක සාමයේ කුමාරයා ගෙන ආ පණිවිඩය සමරන්න අපිට මෙහෙම පුළුවන් වීමත් අපේ වාසනාවක්. ඒ වෙනුවෙන් මේ විශ්වයට මම ස්තූති කරනවා. දෙවියන්ගේ ආශිර්වාදය මේ විශ්වයේ පවතිනවා. එම නිසා නැති බැරි අය ගැන විශේෂයෙන් සලකා ඔවුන්ට තමන්ට හැකි පමණින් උදව් කිරීම මේ නත්තලේ අරුතයි.
නීටා ප්‍රනාන්දු
ප්‍රවීණ රංගන ශිල්පිනී
නිරෝගිමත් සැනසිලිදායක නත්තලක් වේවා!
කොවිඩ් වසංගතය නිසා මුළු ලෝකය වගේම අපේ රටත් වසර දෙකක්ම නත්තල වෙනදා මෙන් සැමරුවේ නැහැ. නමුත් මේ වසරේදී යම් විදිහකින් පොඩි සැනසීමක් එක්ක නත්තල සමරන්න අපිට පුළුවන් වුණා. ඒ කොහොම වුණත් නත්තල කියන්නෙ ජේසුතුමාගේ උපත සැමරීමයි. ගවලෙනක ඉපදුණු ජේසු බබා සාමය ගෙනාවා. ඒ නිසා මේ නත්තලේදි අන් අයට උදව් උපකාර කරමින්, ගොඩක් පරිස්සමින්, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලව අපි නත්තල සමරමු. උදා වූ නත්තල නිරෝගිමත් හිතේ සැනසීමෙන් ජීවිතයට මුහුණ දෙන්න හැකි සුබම සුබ නත්තලක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා.
නෙහාරා පීරිස්
ජනප්‍රිය රංගන ශිල්පිනී
හැමෝම හැමෝටම ආදරය කරන්න
ජේසු ප්‍රේමයේ සංකේතයයි. ප්‍රේමයට ආගම් ජාති භේද අදාළ වෙන්නෙ නැහැ. ඕනෑම කෙනෙක්ට ආදරය ඕනෙ. ඒ ආදරේ අඩුකම නිසාමයි රටේ ලෝකේ මේ තරම් ප්‍රශ්න වෙලා තියෙන්නෙ. ඒ නිසා අද බොහෝ දෙනා තමන්ටම ආදරේ නැති නිසාම ඔවුන් ලෝකයට ආදරය කරන්නෙත් නැහැ. බයිබලයේ ප්‍රේමය සම්බන්ධයෙන් හොඳම අවබෝධය ලබා දෙන්නෙ කොරින්ති 13 පරිච්ඡේදයෙන්. ඒ අනුව ප්‍රේමයේ පාරමිතාවේ ප්‍රේමය ඉවසිලිවන්තය, කරුණාවන්තය, වහා නොකිපේ, පාරට්ටු කර නොගනී, ඉරිසියා නොකරයි. අන් අය අගෞරවයට පත් නොකරයි, වරද ගැන සතුටු නොවේ, හරි දේ ගැන ප්‍රීති වේ* යනුවෙන් සඳහන් වෙනවා. ඒ තමයි ඇත්ත ආදරේ. මේ ආදරේ හැමදෙනාටම පොදුයි. බහුතර අපි හැමෝම ජීවත් වන්නේ ප්‍රශ්නත් එක්කයි. නමුත් ඒ හැම එකකට හොඳම පිළිතුර වන හරියට ආදරේ කරන්න පුළුවන් නම් මේ ප්‍රශ්න විසඳේවි යැයි මම විශ්වාස කරනවා. ඒ නිසා අපි හැමෝටම අඩුවක් නැතිව, අපි හැමෝටම කිසි විනිශ්චයක් නැතිව ආදරය කරන්න පුළුවන් වෙන්න කියලා මේ නත්තල් දා මම ප්‍රාර්ථනා කරනවා.
මාධවී වත්සලා
ජනප්‍රිය රංගන හා ගායන ශිල්පිනී
මගේ නත්තල් පැතුම දරුවන්ට රටක් ඉතිරි වේවා!
මේ අවුරුද්දේ පොඩියට හෝ සමරන්න අපිට නත්තලක් තියෙනවා. පාස්කු ප්‍රහාරයත්, කොවිඩ් වසංගතයත් නිසා වසර කිහිපයක්ම කිසිම ආගමික උත්සවයක් සමරන්න අපිට අවස්ථාව ලැබුණේ නැහැ. ඒ නිසා ආරක්ෂක විධිවිධානයන් සමඟ සුළුවට හෝ මෙලෙස නත්තල සැමරීමට ලැබීමත් ලොකු වාසනාවක් විදිහට මම හිතනවා. වෙනදාට දේවස්ථානවල නත්තලට රාත්‍රී පූජාව සහ උදේ පූජාව තිබුණත් මෙවර දේවස්ථානවල දේව මෙහෙයන් පහක් දහයක් පමණ දේවස්ථානයට පැමිණෙන කිතුනු බැතිමතුන්ගේ ප්‍රමාණය අනුව නත්තල් පූජාව පවත්වන්න තීරණය කරලා තියෙනවා. මෙච්චර කාලයක් දේවස්ථානයට පැමිණ ආගම අදහන්නට බැරිවුණු කිතුනු බැතිමතුන්ට ඒක හොඳ අවස්ථාවක්. මේ නත්තල වෙනුවෙන් මම ඉල්ලන පැතුම වන්නේ මේ රටේ අනාගත දරුවන් වෙනුවෙන් රටක් ඉතිරිවෙන්න ඕනෙ. ඒ වෙනුවෙන් පුළුවන් අයුරින් අපි අන් අයට උදව් උපකාර කරමින් පරිස්සමින් මේ නත්තල සමරමු.
ක්ලීටස් මෙන්ඩිස්
ප්‍රවීණ රංගන ශිල්පී
පරිස්සමින් ලස්සනට නත්තල සමරන්න ලැබේවා!
ජාති, ආගම්, කුල භේදවලින් තොරව මේ මහා විශ්වයම ආදරය, පරිත්‍යාගය, මනුෂ්‍යත්වය බෙදා හදා ගන්නවානම් මේ ලෝකයම හරි සුන්දර තැනක්. කිතුනු දහම තුළත් ඒ ආදරය, පරිත්‍යාගය, මනුෂ්‍යත්වය ගැන හරි අපූරුවට කතා කරනවා. කොවිඩ් වසංගතය මුළු ලෝකයේම මිනිසුන්ගේ ජීවිතය සහ හදගැස්ම වෙනස් කර ඇති පසුබිමක වෙනදා දකින අසිරිමත් නත්තල පසුගිය වසරේදි වගේම මේ වසරෙත් දකින්න ලැබෙන එකක් නෑ. ඒත් නත්තලේ අරුත හැමදාම එක වගේ. පරිස්සමින් ලස්සනට හැකි විදිහට නත්තල සමරන්න අවකාශ ලැබේවා කියලා මම ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා.
ජනනි ඉන්දිරා පීරිස්
ප්‍රවීණ ගායන ශිල්පිනී
► දිශානි ජයමාලි