2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා

වැලන්ටයින්! අමුතු තාෙල් ’පොලිස්’ මෙහෙයුම්

 2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 182

මතක මඟ දිගේ ඇවිදගෙන යන්න අපූරුම තැන මොකක්ද? උදේ හතට විතර ඇති වෙලාව. ලාවට සීතලයි. මේ දවස්වල රෑ තිස්සේ අමුතු වේලිච්ව සීතලක් තියෙන්නේ. ඒත් හොඳට හිතුවොත් විතරයි උදේ සීතල ඇඟට දැනෙන්නෙ. ම්ම්ම් මම හිතන්නේ මට පේන්නෙ ඉන්න කිසිම කෙනෙකුට මේ සීතල නම් දැනිලා නැද්ද කොහෙද? පරිසරය හරිම කලබලයි. මම ටිකට් ගත්තා. ආ.. කියන්න අමතක වුණා. මම ඉන්නේ බස් එකේ. උදේ වැඩට යන ගමන්. මනෝපාරකට කදිම නිවහන උදේ බස් එක. ඒත් හිටපු ගමන් හිතට ආපු සිතුවිල්ලක් නිසා ඔක්කොම වෙනස් වුණා. මම සතියේ බෙදාගන්න හිටපු මතකය එකපාරටම වෙනස් වුණානේ මේ දැන්.

බස් එකට නැඟලා, අද මම ඉඳගත්තේ පිටිපස්සේ අයිනෙම ආසනේ. ඒ කියන්නේ පෙම් මුල්ලේ. සාමාන්‍යයෙන් නම් වෙනදට අපේ බස් නැවතුමට බස් එක එනකොට, මේ ආසන්නේ වෙන කවුරු හරි අයිති කරගෙන. ම්ම්.. බස් නැවතුම් හතරක් පහක් පහුවෙන්න ඇති. පිටිපස්සේ ආසනයේ මට එහා පැත්තේ ඉතුරු ආසන දෙක අයිති කර ගත්තා පෙම්වතුන් යුවලක්. තුනේ ආසන තියෙන නිසා ඒ දෙන්නටත් %කවර්^ එකක් ඕනෑවෙලා. කමක් නෑ. තනියෙන් ඉස්පාසුවේ සිතුවිලි ගඟේ ගිලිලා හිටපු මට පොඩි බාධාවක් දැනුණා දැන් මොහොතකට කලින්. හේතුව පැහැදිලියි නේද?

දැන් පෙම්වතුන්ගේ කිචිබිචිය පටන් අරන්. තාම බස් එකේ එච්චර සෙනඟ නෑ. මේ වැඩේ නිසා මට එකපාරටම මතක් වුණා මේ වැලන්ටයින් මාසේ නේද කියලා. කල් ඇතුවම මේ සතියේ කියන්න හිතාගෙන හිටපු කතා පහුකරලා වැලන්ටයින් ගැන මොනවා හරි ලියන්න ඕනෑ කියලා ඔන්න එකපාරටම හිතුණා. හිමින් සැරේ සාක්කුවට අත දාලා ජංගම දුරකථනය එළියට අරගෙන මම දැන් අකුරු කොටනවා. එයාලා එයාලගේ ලෝකයේ. මම මගේ ලෝකයට ඇදිලා යනවා හිමිහිට. මුවින් නොකිව්වත් මම සමාව ගන්න ඕනෑ. මේ පෙම් මුල්ල අයිති මට නෙවෙයි.. මේ පෙම්වතුන්ට. 

වැලන්ටයින් ගැන කියද්දී මතක් වුණේ. මේක ප්‍රේමය ගැන කතාවක් නම් නෙවෙයි. ඉස්කෝලේ කාලේ කතාවක්. අපේ ඉස්කෝලේ ටීචර් කෙනෙක් හිටියා.. ම්ම් නම කියන්න ඕනෑ. ඉස්කෝලේ වැලන්ටයින් එකට ඉස්සෙල්ලා ටීචර් අපූරු වැඩක් කරනවා කාලෙක ඉඳන්. අපි පස්සේ ඒ ගැන දැනගත්තේ. ආ ඒ කාලේ මම ශිෂ්‍ය නායකයෙක්. ඒ නිසා ටීචර් මේ වැඩේට අපි කිහිප දෙනෙක් හවුල් කර ගත්තා. වැඩේ ගැන නොකියා ඉන්නම් මුලින්ම. ඒත් අනේ මන්දා, මේ කතාව ගැලපෙයිද මන්දා.. මේ  හැමෝම ආදරේ ගැන කවි කතා ලියන වැලන්ටයින් දවස්නේ. ම්ම්ම් කමක් නෑ. මම මතක මඟ දිගේ ඈතට ඇවිදගෙන යනවා.

එතකොට අපි උසස් පෙළ පළවෙනි අවුරුද්දේ විතර. මේ කියන ටීචර් හිටියේ ඉස්කෝලේ විනය කමිටුවේ. පුංචි කාලේ ඉඳන් අපි එක්ක ගොඩක් හිතවත්. දවසක් හවසක අපේ උසස් පෙළ පන්තියේ ශිෂ්‍ය නායක නායිකාවෝ කිහිප දෙනෙකුට ආවා පණිවිඩයක්. මේ ටීචර්ව හම්බවෙන්න එන්න කියලා. ඔන්න ඉතින් අපි ගියා. ටීචර් කරපු විෂය නිසා වෙනම කාමරක් තිබුණා ටීචර්ට. අපිට එන්න කියලා ඔන්න ටීචර් කියනවා. "හෙට උදේම ඉස්කෝලේ එන්න. පොඩි වැඩක් තියෙනවා කරන්න." ම්ම් ශිෂ්‍ය නායකයෝ කොහොමත් උදේම එන්න ඕන. ඒත් අපි ඒ වැඩේට හොරයි. ටීචර් දන්නවා ඒක. ඔන්න අපේ එකෙක් ඇහුවා මොකක්ද ටීචර් වැඩේ කියලා. "වාසියක් තියෙන වැඩක් උදේම එනවලකෝ" 

අපි වදෙන් පොරෙන් ඇහුවත් ටීචර් නම් නෑ කීවේ හේතුව. ඊට පහුවැනිදා පොඩ්ඩක් වේලාසනින් අපි ඉස්කෝලෙට ආවා. ඒත් එකෙක් දෙන්නෙක් පොල්ල තියලා. උදෑසන රුස්වීම පටන් ගන්න කලින් ටීචර්ව හම්බවෙන්න කියලා කියපු නිසා අපි ගියා ටීචර්ව හම්බවෙන්න. අපිට රැස්වීමට යන්න එපා කියලා ටීචර් කිව්වා ඔන්න. මොකක්ද මේ වෙන්නෙ. කට්ටියට මුලින්ම වැඩේ තේරුණේම නෑ. රැස්වීමට ළමයි ගියා විතරයි... ටීචර් අපිව එක්කගෙන ගියා දහය වසර පන්තිවලට. ටීචර් දහය වසර අංශ ප්‍රධානිද මන්දා. හරියට මතක නෑ. කොහොම හරි අපේ ඉස්කෝලේ ඒ කාලේ ගෑනු ළමයි වැඩිපුර හිටියේ දහය වසරේ. අපේ පන්තිවල ගෑනු ළමයි හරිම අඩුයි. 

ඔන්න අපි එක පන්තියකට යනවා. ටීචර් අපිට බෑග් වගයක් පෙන්නවා. පරීක්ෂා කරන්න කියනවා. ටීචර් බලාගෙන ඉන්නේ.  ඔන්න වැඩේ තේරුණා. වැලන්ටයින් මහා අත්අඩංගුවට ගැනීමට තමා අපි සහභාගිවෙලා තියෙන්නේ. ටිකක් වෙලා යනකොට ඔන්න එක එක ජාතියේ තෑගි කට්ටියට හම්බවෙන්න ගත්තා. වැඩේ කියන්නේ ටීචර් හරියට බෑග් පෙන්නුවා. අපි ඔක්කොම පරීක්ෂා කළේ නෑ. ඒවායේ තමා බඩු තිබුණේ. ඒ තෑගි බෑග් පිටින්ම ටීචර්ට දීලා තිබුණු කාමරයට අපි අරගෙන ගියා. කොහොම හරි මුළු අංශයෙන්ම බෑග් දහයක දොළහක තමා බඩු හම්බවුණේ. 

ම්ම්ම්.. එක පිම්මේ කතාව කියාගෙන කියාගෙන ගියානේ. දැන් නම් බස් එක පිරිලා. අර පෙම්වතුන් දෙන්නත් ආයේ ගොළුවෙලා. ඕනෑවට වඩා ඒ පැත්ත බලන්න බෑ. ම්ම් ඒක හරි නෑ වගේ හැඟීමක් එනවා. කතාව පොඩි වුණාට දැන් බස් එක බේරුවල ඉඳන් පානදුරේ හරියට ඇවිල්ලා. අද උදේ තිබුණු සෞම්‍ය ගතිය නම් දැන් නෑ. මම ජනේලේ ලාවට ඇරලා තිබුණේ අර අමුතු සීතල නිසා. දැන් ජනේලේ ටිකක් වැඩිපුර අරින්න ඕනෑ. වැලන්ටයින් මේ සඳුදා, මේක පළවෙන්නේ ඉරිදා. ම්ම් අද බදාදා... ම්ම් ඔන්න අයේ හිත වෙන වෙන පාරවල්වල යනවා. කතාව තමා ඉවර නෑ. 

ම්ම්ම්.. කොහොම හරි රැස්වීම ඉවර වෙනකොට අපි වැඩේ කරලා ඉවරයි. ටීචර් අපිට පන්තිවලට යන්න කිව්වා. පොඩි ආතල් එකක් තිබුණා එදා නම් අපිට. කොහොම හරි අපිත් එක්ක වැඩේ කරපු සමහර ශිෂ්‍ය නායකයන්ගේ වගේම නායිකාවන්ගේ බෑග්වලත් ඔය වැලන්ටයින් සමරු තිබුණා. ඒක අපි දන්නවා ඉතින්. හැබැයි ඉස්කෝලෙන්ම මාට්ටු වුණේ දහය වසරේ පොඩ්ඩෝ විතරයි. 

පස්සේ දවල් වෙනකොට අපි පොඩ්ඩක් වෙලා තියෙන දේ හොයලා බැලුවා. අර පොඩි උන් ටිකව ටීචර් ගෙන්නලා හොඳට අවවාද කරලා නිදහස් කරලා. පන්ති භාර ගුරුවරුන්ටත් කියලා. ඒත් දෙමාපිය කැඳවීම් නෑ. විදුහල්පති සර් ළඟට ගෙනිහිල්ලාත් නෑ. සමහරවිට විදුහල්පති සර් නම් වැඩේ දන්නවා ඇති. අපිට වැඩේ පොඩ්ඩක් අවුල්. මේක හොඳට පත්තු වුණා නම් තමා අපේ උන් සතුටු වෙන්නේ. ඒක ඒ කාලේ හැටි ඉතින්. ම්ම් දැන් නම් එහෙම නෑ.

කොහොම හරි ඔන්න විවේක කාලයෙන් පස්සේ උසස් පෙළ ශිෂ්‍ය නායකයන්ට ආයේ අර ටීචර්ගෙන් පණිවිඩක් ආවා.. අන්තිම කාල පරිච්ඡේදයේ ටීචර්ව හම්බවෙන්න එන්න කියලා. ඔන්න අපි ඒ පාර අන්තිම කාල පරිච්ඡේදයේ ගියා ටීචර්ව හම්බවෙන්න. කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලොම. කට්ටියට වාඩිවෙන්න කියලා ටීචර් අපිට දුන්නේ නැතැයි චොක්ලට් හතරක්. උදේ හම්බවුණු බඩු. අරන් යන්න තහනම්. මෙතනම කන්න ඕනෑ. ඒකත් මරු. ටීචර් එක්ක පොඩි කයියක් ගහගෙන අපි චොක්ලට් කෑවා. කාල පරිච්ඡේදයත් මඟහැරියා. ටීචර්ත් චොක්ලට් කෑවා. අපිට හොඳ පාඩමකුත් කියලා දුන්නා ආදරේ ගැන. ඔන්න අපි ඉතින් එදා අපි හැමෝටම වැලන්ටයින්.

ආදරේ ගැන සුන්දර මතකයක් කියන්න ඕනෑ දවසක මේක තමා එකපාරට හිතට ආපු මතකය. කොහොම හරි එදා ඒ වැඩේ හරිද වැරදිද කියලා නම් අපි දැනගෙන හිටියේ නෑ. අදත් දන්නේ නෑ. ඒත් ටීචර් අර ළමයින්ව ඉහළ උසාවියට අරගෙන නොගිය එක.. අපේ උන්ගේ බෑග්වලත් බඩු තිබුණු එක... දහය වසර විතරක්ම තෝරාගත්ත එක... ටීචර් පරීක්ෂා කරන්න ඕනෑ බෑග් දැනගෙන හිටපු එක.. වගේ දේවල් ගැන අද වෙනකොට අපිට ටිකක් වෙනම විදිහකට හිතන්න පුළුවන්. 
පසුව ලියමි. අර පෙම්වතුන් දෙන්නා බම්බලපිටියෙන් බැස්සා. මම කොල්ලුපිටියෙන් බැස්සා. වැලන්ටයින් සමරන, සමරන්නේ නැති හැමෝටම ආදරණීය සතියක් වේවා. එදා අර චොක්ලට්වල හිමිකරුවන්ට මගේ බලවත් කනගාටුව. 

Happy Valentine! 

I නිසල්