2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා

හැමදාම රෑට කවුරු හරි ඇඳ රෙද්දෙන් අදිනවා

 2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා, පෙ.ව. 10:01 1682

මහ රෑට පොරවගෙන ඉන්න ඇඳ ඇතිරිල්ලෙන් අදිනවා

අපේ ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි නංගියි මමයි. නංගි තවම ඉස්කෝලෙ යන පොඩි ළමයෙක්. මට වයස අවුරුදු 20යි. මම තනියම මගෙ කාමරේ රෑට නිදාගන්නෙ. දැන් ටික කාලයක ඉඳලා මම හීනෙන් බයවෙනවා. ඒක මට හරිම හිසරදයක්. රෑට නිදාගත්තාම කවුරුහරි මම පොරවගෙන ඉන්න ඇඳ ඇතිරිල්ලෙන් අදිනවා වගේ දැනෙනවා. එහෙම දැනෙනකොටම මම ඇහැරෙනවා. ඒත් කොච්චර ඇඳෙන් නැගිටින්න උත්සාහ කළත් මට නැගිටගන්නත් බෑ. කෑගැහුවට සද්දෙ පිටවෙන්නෙත් නෑ. ඒක හීනයක්ද නැද්ද කියන්න මම දන්නෙ නෑ. හැබැයි පහුවදා නැගිටිද්දිත් මට ඒ සිද්ධිය හොඳට මතකයි. මේ නිසා මම ගොඩක් බයවෙනවා. ඒ වෙලාවට අම්මලටවත් කතා කළාට මගෙන් සද්දෙ පිටවෙන්නෙ නැහැ. ඔය සිද්ධිය මට දැන් තුන්හතර වතාවක් වුණා. මේ නිසා මම නිදාගන්න යන්නත් දැන් බයයි. කාරුණිකව මට පිළිතුරක් දෙන්න.

හසිනි -  හලාවත

පිළිතුර
ඔබ කියන රෝග ලක්ෂණ අනුව ඔබට තියෙන්නේ ස්ලීප් පැරෑලිසිස් කියන රෝගයයි. බොහෝ අයට මෙය අත්විඳින්න සිදුවෙන දෙයක්. සමහරුන්ට ආතතිය වැඩි වුණාම මෙය ටිකක් වැඩිපුර තියෙනවා. මෙය දිගින් දිගටම වෙනවා කියලා දැනුණාට තත්පර කිහිපයක් වෙන්නේ. මෙය ලොකු ප්‍රශ්නයක් ඇතිකරගන්න ඕනෑ දෙයක් නෙවෙයි. මෙය සාමාන්‍යයෙන් ඉබේම හරියනවා. ප්‍රතිකර්ම කිරීම අවශ්‍ය නැහැ.

බබාලාගෙ සද්ද ඇහෙද්දී තරහ යනවා

මගේ සැමියා මේ වෙද්දී ජීවතුන් අතර නෑ. ඔහුගේ ණය ප්‍රශ්නයකට මාව උසාවි දාලා මට ගොඩක් ප්‍රශ්න ආවා. ඒ හැමදේටම මුහුණ දුන්නා. ඒත් එන ප්‍රශ්න ඉවරයක් නෑ. මගේ කොන්දේ ප්‍රශ්නයක් නිසා මම රස්සාවක් කරන්නේ නෑ. ලේ කැටියක් නිසා මට බර වැඩ කළොත් ඇවිදින්න බැරුව යනවා කියා වෛද්‍යවරුන් කියා තිබෙනවා. බෙහෙත්වලින් යම්තාක් දුරට සනීප කරගෙන සිටි කාලයේ සැමියාගේ පහරදීමක් නිසා නැවත ඒ ආබාධය පටන් ගත්තා.

දරුවා ලැබෙන්න ඉද්දි එයා හැමදාම බීලා ගෙදර එන්න ගත්තා. ගෙදර අයත් පුදුම වුණා. කෙනෙක්ට අනතුරක් වුණා කියලා මගේ මඟුල් මුද්ද උකසට තිබ්බා. මගේ අම්මා මගේ කාඩ් එකේ දාලා තිබ්බ අම්මගෙ සල්ලිත් එයා හොරෙන් අරගෙන තිබ්බා. ඔහොම මගේ හැමදේම ඔහු නැති කළා. කාලයක් යද්දි ගෙදර සමගිය දියවෙලාම ගියා. මට අවුරුදු 4ක දුවෙක් ඉන්නවා. අඩුමාසෙන් දරුවා ලැබුණා. ඒ අතරේ එයාට වෙන සම්බන්ධ කීපයක්ම තියෙනවා කියල දැනගත්තා. මම හිත හදාගෙන දරුපැටියා වෙනුවෙන් කැපවුණා. ආයතනයේ මුදල් වංචාවකට ඔහු සේවයෙන් ඉවත්කළා. ඊටපස්සේ තමයි මට ගැහුවේ. දරුණු විදියට ඔහු මට ගොඩක් වධ දුන්නා. මා ඔහුගෙන් අයින් වෙන්න හිතලා මගේ ගෙදර ආවා. ඒ අතරතුරේ ඔහු බෝට්ටුවකින් රට ගිහින් තිබ්බා. ඒ ගමනේදී ඔහු මුහුදේ ගිලිලා මියගියා කියලා ඔහුගේ මල්ලි ඇවිත් කිව්වා. කාගෙත් ඉල්ලීම උඩ මම මරණයටත් සහභාගී වුණා.

ඊට අවුරුද්දකට පස්සේ මාව බලාගත්ත මගේ තාත්තා ගිය සැප්තැම්බරයේ  හෘදයාබාධයකින් නැතිවුණා. මැරෙන්න හිතුණු හැම වෙලාවකම දරුපැටියා ගැන හිතලා හිත හදාගත්තා. ඒත් මට බබා කෑගහන සද්දයක් පවා ඇහෙද්දි තරහයි. මගේ තරහා පාලනය කරගන්න අමාරුයි. මට උදවු කරන්න.

තනූ - මාතර

පිළිතුර 

ඔබ අපට මෙහිදී පැහැදිලි කර ඇති කරුණු අනුව රෝග ලක්ෂණ විදිහට හඳුනාගන්න පුළුවන් කේන්තිය යාම පමණයි.

මෙය විෂාදය සහ මානසික ආතතිය කියන රෝග දෙකේම ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඔබට ප්‍රශ්න රාශියක් ඇති බව පෙනෙනවා. එහෙත් ඔබට මානසික වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගන්න අවශ්‍ය නම් මෙයට වඩා රෝග ලක්ෂණ කියන්න අවශ්‍ය වෙනවා. 

පිට අය බලාගෙන ඉඳිද්දි අත වෙව්ලනවා

මට සියුම් වැඩ මුකුත් කරන්න අමාරුයි. කවුරුන් හෝ බලාගෙන ඉඳිද්දී ලියන්න වැඩ කරන්න බෑ. අත් වෙව්ලනවා. බැංකුවට ගිහින් ‍කොළයක් පුරවන්න ගියත් කට්ටිය බලාගෙන ඉඳිද්දි ඒ වැඩේ කරන්න අමාරුයි අත වෙව්ලනවා. ඉස්කෝලෙ යන කාලේ සාමාන්‍ය විදිහට අකුරු ලිව්වා. පෑන තද කරගෙන තමයි ලියන්නේ. එතකොට අත රිදෙනවා. ඒත් දැන් එහෙමවත් බෑ. ඒක මතක් වෙනකොට පපුව ගැහෙන්න ගන්නවා. දැන් අවුරුදු 10ක විතර ඉඳන් තියෙන දේ දැන් වැඩි වෙනවා වගේ දැනෙනවා. මට මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න.

කුමාර - නුවර

පිළිතුර 

ඔබ පවසන පරිදි ඔබට ඇත්තේ සමාජ  භීතිකාව කියන රෝගයයි. මෙයට ප්‍රතිකර්ම වර්ග දෙකක් තියෙනවා. උපදේශන ප්‍රතිකාර සහ ඖෂධ ප්‍රතිකාර. මෙයට හොඳම ප්‍රතිකාරය තමයි මෙම ප්‍රතිකර්ම දෙකම එකට කිරීම. ඖෂධ ප්‍රතිකර්මය ගන්නවා නම් අවම මාස හයක් හෝ අවුරුද්දක් බෙහෙත් කරන්න ඕනෑ. ප්‍රතිඵල දකින්න මාසයක් හෝ දෙකක් ගතවෙනවා. උපදේශන ප්‍රතිකාර කළත් දවසෙන් දෙකෙන් හොඳ වෙන්නේ නැහැ. මාසයක් දෙකක් වගේ උපදේශන කරන්නත් ඕනෑ. සතියකට එක්දිනක් බැගින් හය හත් වතාවක් කළ යුතුයි. එය තමයි මෙම රෝගයට විසඳුම.

(මෙහි එන පෞද්ගලික අත්දැකීම්වල නම් ගම් මනඃකල්පිත බව සලකන්න)  
ලබන සතියේ ඔබේ ප්‍රශ්නයෙන්  හමුවෙමු.

ආදරය , විවාහය , ජීවිතය ගැන තරුණ ඔබ විඳවන ප්‍රශ්නය ඔබ කැමැති නමකින් කෙටියෙන් අපට කියන්න. ඔබේ නම, රුකියාව කුමක් වුවත් හිතේ විඳවන ප්‍රශ්නයට හොඳම උත්තරය හදසරෙන්. 
‍ෆේස්බුක් ෆෑන් පේජ් මැසේජ්
ජීවිතේ  රිදෙන තැන් (Jeewithe ridena then)
ෆේස්බුක් නැත්නම් මෙහෙම ලියන්න.
Email - Jeewitheridenathen@gmail.com

සංස්කාරක, 
“ජීවිතේ රිදෙන තැන්”
හදසර අතිරේකය, දේශය පුවත්පත
නො 08, හුණුපිටිය හරස් පාර, කොළඹ 02.

I සසංක චලන ගිම්හාන