2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා

මටත් දුක් වේදනා නොදැනෙනවා නෙවෙයි - අශෝක හඳගම

 2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 762

දිවා රෑ වෙහෙසෙමින්, යුතුකම් සහ වගකීම් සමඟ ගැටෙමින් ජීවිතය නම් පොතෙහි පිටු පෙරළන අපට විවේකයක්, ඉසිඹුවක් යනු සැබෑම ප්‍රිය වදනකි. ශ්‍රම බලකායට එක්ව දහඩිය මුගුරු හෙලමින් හෝ බුද්ධිය මෙහෙයවමින් හෝ ගත සිත වෙහෙසන අප කවුරුත් විශ්‍රාම දිවිය පිළිබඳ සිටින්නේ බොහෝ සැලසුම් සහිතවය. එනිසාමදෝ විවිධ ජීවිත රක්ෂණ ආයතන පවා වැඩිහිටියන්, විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඉලක්ක කරගෙන විවිධ රක්ෂණ සැලසුම්, විශ්‍රාම සැලසුම් හඳුන්වා දෙන්නේ ඉතා ආකර්ෂණීය තේමාවන් ඔස්සේය. මේ ඇරඹුම මහ බැංකුවෙන් විශ්‍රාම ගත් එවන් සහකාර අධිපතිවරයෙකු සමඟ සංවාදයකටය. 

ඔබට පුදුම වීමට යමක් ඇතිවාට කිසිදු සැකයක් නැත. සාමාන්‍යයෙන් කලා ලොවේ සොඳුරු සිතැත්තන්ගේ කතා My Story තුළින් කියවන ඔබට අද කතා නායකයා ගැන යම් පුදුමයක් ඇතිවනු නොඅනුමානය. එහෙත් මේ නම ඇසූ සැණින් එය එසේ නොවනු ඇත. මන්ද අද අප හමුවන්නේ වේදිකා නාට්‍යවේදියෙකි, පිටපත් රචකයෙකි, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකි, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි, ගීත රචකයෙකි. ඒ නම ඇසූ සැණින් කවුරුත් හඳුනන මෙරට සම්මානනීය සිනමාවේදී අශෝක හඳගමය.
ඕනෑම සමාජයක, රටක වෙනස් අයුරින් සිතන වෙනස් අයුරින් නිර්මාණ කරන කෙනෙකු කතාබහට ලක්වීම නිරන්තරව සිදුවන්නකි. හඳගම තම නිර්මාණ ඔස්සේ වෙනස් ගමනක් එන නිර්මාණවේදියෙකි. ඔහු මුලින්ම බැඳුණේ චිත්‍ර කලාවටය. එයට යම් හේතුවක් වී නම් ඔහුගේ ආදරණීය පියාණන්ය. ඔහුගේ පියා සේවය කළේ ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේය. ඔහු විවිධ කටුසටහන් අඳින අයුරු, චිත්‍ර නිර්මාණය කරන අයුරු කුඩා අශෝක බලා සිටියේය. මේ චිත්‍ර ඇඳීම කෙරෙහි ඔහුගේ සිත ඇදී ගියේ එලෙසය. ඊට අමතරව ඔහුගේ පියාගේ පියා එවක ගමේ විවිධ නාට්‍ය නිර්මාණයන්ට දායක වූවකු වග ඔහුගේ මතකයේ ඇත. සිංහබාහු වැනි නාට්‍ය නිර්මාණයන් වෙනුවෙන් ඔහු සැකසූ පිටපත් පවා කුඩා වියේදී අත්තා ළඟ තිබුණු වග ඔහු අසා ඇත. ගොවියෙකු වූ අත්තා ගමේ කමතේදී මෙම නාට්‍ය රඟදැක්වූ වග ඔහු අසා තිබුණද හඳගම කුඩා වියේදී අත්තා මිය ගියේය. 

තාත්තාගේ සහ අත්තාගේ තිබූ මෙම යම් යම් කලා හැකියාවන් හැරුණුවිට ඔහුට තම පවුලෙන් කලාවට ලැබුණු සුවිශේෂී ආභාෂයක් නොවීය. තාත්තාගේ රැකියාවේ ස්ථාන මාරුවීම් නිසා ඔවුන්ටද අනුරාධපුරයට යන්නට සිදුවිය. ඒ ඔහුට වයස අවුරුදු නවයේදී පමණය. ඒ කාලයේදී ඔහු වසර 04ක් අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය. ඔහුගේ මව මැහුම් ගුරුවරියක වූ අතර ඇය මැහුම් පාසලක විශාල පිරිසකට එම දැනුම ලබා දුන් අයුරු ඔහුට මතකය. එහෙත් පියාගේ ස්ථාන මාරුවීම් නිසා මවට එම කටයුතු නවතා දමන්නට සිදුවිය. ඔහුට බාල එක් සොයුරෙකි. ශාන්ත මරියා විදුහලේ අධ්‍යාපනය ලැබූ හඳගම පාසලේ සියලු විෂය බාහිර ක්‍රියාකාරකම්හි නිරත වූවෙකි.

ක්‍රීඩා කුසලතා සේම කලා කුසලතා ද ඔස්සේ ඔහු පාසල තුළ සහභාගි නොවූ ක්‍රියාකාරකමක් නොවූ තරම්ය. ශිෂ්‍ය භට බලකාය සේම නාට්‍ය හා සාහිත්‍ය බලකායේ ද ඔහු රැඳී සිටි වග ඔහු සිහි කරන්නේ සතුටිනි. ඒ සියල්ල සමඟ තම අධ්‍යාපන ඉලක්ක ද ජයගන්නා ඔහු තම උසස් අධ්‍යාපනය ඇරඹූයේ කැලණිය විශ්ව විද්‍යාලයෙනි. පාසල් සමයේ පටන්ම විවිධ හැකියාවන් ඔස්සේ ඔහු සතුව තිබූ බහුකාර්ය හැකියාව වෘත්තීය ජීවිතය හා කලාව තුළද මනාව විදහා දැක්වූ වග හඳගම කලා භූමිකාව හා වෘත්තීය ජීවිතය තුළ ඔහු ළඟා වූ තනතුරු නාමයන් විමසා බැලූ විට පැහැදිලි වේ.

ඔහු නාට්‍යකරුවෙකු බවට පත්වන්නේ නව යොවුන් වියේදීමය. 1979 වසරේදී පාසලේ උසස් පෙළ හදාරන සමයේ නිර්මාණය කළ (තවද එක් නිදසුනක්) ඔහුගේ පළමු නාට්‍යයයි. ඔහුගේ බොහෝ නිර්මාණයන්හිදී හමුවන පාසල් වියේ සිටම සුමිතුරු (මැල්කම් මචාඩෝ) මෙහි ප්‍රධාන චරිතය නිරෑපණය කළේය. එම නාට්‍ය ප්‍රාදේශීය මට්ටමේ ජයග්‍රහණයන් ලබා යම් සාර්ථකත්වයක් ලබා තිබුණද කලාපීය මට්ටමේ තරගකාරීත්වයේදී ජය හිමිවූයේ කේ.බී. හේරත්ගේ නාට්‍ය නිර්මාණයක් වූ (සුදු කරල්) වලටය. මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ පැවැති රාජ්‍ය නාට්‍ය උළෙලේ කලාපීය තරගයට මුහුණදෙන විට ඔවුන්ගේ ලොකුම බලාපොරොත්තුව වූයේ ජයග්‍රහණය ලබා කොළඹ ඒමය. එහෙත් කේ.බී. හේරත්ගේ (සුදු කරල්) බැලූ පසු එම බලාපොරොත්තුව බිඳී ගිය වග ඔහු කියයි. ''ඒ නාට්‍ය බලලා කෑගල්ලට එන්න අපි ළඟ සල්ලි නෑ. ඉතින් ඊට පස්සේ මහනුවර ඉඳන් කෑගල්ලට පයින්ම ආවා.''

ජීවිතයේ කොතැනකවත් දරාගත නොහැකි වූ දුකක් වේදනාවක් නැද්දැයි මා ඔහුගෙන් විමසූයේ ඔහුගේ මෙම ජයග්‍රාහී ගමන තුළ කිසිවිටෙකත් නිර්මාණ කාර්යයකදී හැරුණුවිට ඔහු තම ජීවිතය තුළින් එවැන්නක් ගැන කතා නොකරන බැවිනි. ''හැම දෙයක්ම හරි සාපේක්ෂයි. විවිධ කාලවලට විවිධාකාර දේවල් ජීවිතයට එනවා. ඒවට මුහුණදීම කළ යුතුයි. උදාහරණයක් ගත්තොත් අම්මා සහ තාත්තාගේ අහිමිවීම ජීවිතයේ දරාගන්න අපහසුම දෙයක්නෙ. හැබැයි ඒ මොහොත මගේ ජීවිතයට අදාළ වනවිට මම මගේ මනසින් එය බාරගන්න සූදානම් වෙලා. මටත් දුක් වේදනා නොදැනෙනවා නෙවෙයි. හැබැයි මම වහාම එයින් ඊළඟ මොහොතට යනවා. දුක තුළ රැඳී ඉන්නේ නැහැ. ඒ හැරුණුම නිර්මාණකරණය පැත්තෙන් ගත්තමත් යම් යම් දේ නැතුවාම නොවේ. මම දිගින් දිගටම කතා කරන දෙයක් ඒක. අපේ සිනමාව වෙනස් විය යුතුයි. මේ යන ක්‍රමවේදය සිනමාවේ යහපැවැත්මට කිසිසේත් ධනාත්මක ලෙස බලපාන්නේ නැහැ. මෙම අකාර්යක්ෂම ක්‍රමවේද, මේ සියල්ල වෙනස් විය යුතුයි කියා කාලෙක සිට අපි කතා කරනවා. ඒත් ඒ සියල්ල තවමත් එහෙමයි. එතැනදි යම් වේදනාවක් කලකිරීමක් නොදැනෙනවා නෙවෙයි.''

පාසල් කාලයේදී කළ (තවද එක් නිදසුනක්) නාට්‍යයෙන් පසු ඔහු 1980 දී (පරසතු) නමින් නාට්‍යයක් කළේය. එය යෞවන සම්මාන උළෙලේ අවසන් වටයට එක් විය. 1989 වසරේ ඔහු කළ (මාඝාත) රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මාන දිනූ නාට්‍යයක් විය.
වේදිකාව ජයගත් ඔහු ඊළඟට අවතීර්ණ වූයේ ටෙලිනාට්‍ය කලාවටය. නිකම්ම නිකම් ටෙලිනාට්‍යයක් නොව එය යම් දේශපාලන කියවීමක් විය යුතු වග එවක තරුණ හඳගමට දැනෙමින් තිබුණු කරුණකි. ඒ අනුව ඔහු ජයතිලක කම්මැල්ලවීර ලියූ (අට අවුරුද්ද) නවකතාව ඇසුරින් (ප්‍රභාතය) නමින් ටෙලිනාට්‍යයක් නිර්මාණයක් කළේය. ඉන් පසු මෙරට ටෙලිනාට්‍ය කලාව තුළ වඩාත් කතාබහට ලක්වූ (දුන්හිඳ අද්දර) ඔහු අතින් නිර්මාණය විය. 1994 වසරේදී OCIC සම්මාන උළෙලේදී හොඳම පිටපත හා අධ්‍යක්ෂණය ඇතුළු ප්‍රධාන සම්මාන නවයක් දිනාගැනීමට (දුන්හිඳ අද්දර) ඉවහල් විය. (දියකැට පහන) ඔහුගේ තවත් අතිශයින් ජනාදරයට පත්වූ ටෙලිනාට්‍යයකි. (සින්තටික් සිහින) ටෙලිනාට්‍ය ඔස්සේ ද ඔහු ටෙලි තිරය මත අපූර්වත්වයක් මවන්නට සමත් විය. මෙරට ටෙලිනාට්‍ය කලාව තුළ ප්‍රේක්ෂකයා වැළඳගත් නිර්මාණ අතර හඳගම නාමය සමඟ සම්මානනීය වූ ටෙලිනාට්‍ය ගණනාවක් එලෙස සිහියට නැගෙන අතර වර්තමානයේ ඔහු ටෙලිනාට්‍ය කලාව පිළිබඳව කෙසේ වෙතත් ඒවා විකාශය කිරීමේ ප්‍රමිතීන් පිළිබඳ සාධාරණ විවේචනයක සිටියි. වෙළෙඳ ප්‍රචාරණ මෙවලමක් ලෙස කෙරෙන ටෙලිනාට්‍ය කලාව තුළ කලාත්මක අගයට ලැබෙන ඉඩ පිළිබඳව තමන්ගේ කිසිදු පැහැදීමක් නැති වග අශෝක හඳගම මහතා පවසයි.

(චන්ද කින්නරී( සිනමා ආකාශය තුළ හඳගම අතින් සිතුවම් වූ පළමු තාරකාවයි. එවක සිනමාවේ මෙන්ම සිංහල සිනමාව තුළ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම රංගවේදිනියක වන ස්වර්ණා මල්ලවාරච්චි එහි ප්‍රධාන භූමිකාවට පණ පෙවූ අතර වසර 2000 දී පැවැත්වූ ජනාධිපති සම්මාන උළෙලේදී දක්ෂතම නිළිය ලෙස ස්වර්ණා මල්ලවාරච්චි සම්මානයට ද පාත්‍ර වූවාය. එමෙන්ම 1995 වසරේදී දෙවැනි වරට පැවැත්වූ විචාරක සම්මාන උළෙලේදී මතු ප්‍රාර්ථනා සපිරි අධ්‍යක්ෂවරයා ලෙස ඇගයීමට ලක්වූ අශෝක හඳගම කලාවේ වෙනස් ඉසව් සොයා තම සිනමා යාත්‍රාව දියත් කරමින් ජාතික මෙන්ම අන්තර්ජාතික සම්මාන උළෙල රැසකදීම සම්මාන රැසක් දිනා ගත්තේය. 

බොහෝ විට බොහෝ නිර්මාණවේදීන් විෂය කර නොගන්නා විෂයන් එසේ කිසිවෙකු ග්‍රහණය කර නොගන්නා කාලරාමු තුළ තම නිර්මාණ සඳහා යොදාගැනීම තුළ ඔහු විවේචනයට ලක්වූ අවස්ථා ප්‍රමාණාත්මකව ඉතා වැඩිය. ''තනි තටුවෙන් පියාඹන්න) එවන් නිර්මාණයකි. 2002 වසරේදී ටෝකියෝ අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ හොඳම ආසියානු සිනමා කෘතිය ලෙස සම්මානයට පාත්‍ර වූ එම සිනමා නිර්මාණය තවත් අන්තර්ජාතික සිනමා උළෙල රුසකදීම ඇගයීමට ලක්විය. එමෙන්ම 2003 වසරේ 16 වැනි වරට පැවැති සිංගප්පූරු සිනමා උළෙලේදී අනෝමා ජනාදරී හොඳම නිළිය ලෙස සම්මාන දිනා ගත්තාය. එමෙන්ම කොරියාවේ ජොන්ජු අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය වූ (මේ මගේ සඳයි) තවත් අන්තර්ජාතික සිනමා උළෙල රැසකදීම ඇගයීමට ලක්විය. යුද්ධය හා බැඳුණු දුෂ්කර ජීවිතය පිළිබඳ සංවාදයක් ගොඩනැගූ මෙම සිනමා කෘතියට අමතරව ඔහු අතින් නිර්මාණය වූ අසන්ධිමිත්තා, ඇගේ ඇස අග, විදූ ආදී සිනමා නිර්මාණද ජාතික හා ජාත්‍යන්තර ඇගයීමට ලක්වූ අතර (ඉනිඅවන්(, (සඳ දඩයම) සහ මෙරට ප්‍රේක්ෂකයාට දකින්නට ඉඩක් නොවූ (අක්ෂරය) ඔස්සේ ද ඔහු මෙරට නිරන්තර සංවාදයට, විවේචනයට ලක්වූ සිනමාවේදියෙක් විය.

ඔහුගේ ටෙලි නිර්මාණ මෙන්ම සිනමා නිර්මාණ වෙනුවෙන්ද ගීත ලියූ අශෝක හඳගම පසුකාලීනව විවිධ ගීත නිර්මාණ ඔස්සේ ද අපට හමුවන අතර මේ දිනවල නවරත්න ගමගේ සහ රූකාන්ත ගුණතිලක සමඟ (අළු පාට හැන්දෑවක සුදු පාට මල් යායක කළු ලිලී මල් කැකුළක් පිපෙන හැඩ) අපට පෙන්වන්නට සූදානමින් සිටියි. එමෙන්ම ඔහු මේ දිනවලදී දශක තුනකට පසුව වේදිකාවේදී අප හමුවන්නේ (අැන්ටික් කඩයක මරණයක්) සමඟය.

එළඹෙන 17 වැනිදා සිට හඳගම නවතම සිනමා කවිය ඔබට කියවන්නට ලැබෙනු ඇත. ගාබ්‍රියෙල් ගාෂියා මාකේෂ් විසින් විසිවැනි සියවසේ විශිෂ්ටතම කවියා ලෙස හැඳින්වූ පැබ්ලෝ නෙරුදා 1929 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණියේ මෙරට චිලීයානු තානාපතිවරයා ලෙසය. ඔහුගේ මතක සටහන් ගලපමින් ඔහු ලියූ මෙමස් (Memoirs) මතක සටහන් කෘතියෙහි (Luminous Solitude) (දිදුලන හුදෙකලාව) නම් කොටසේ මේ මතකයන් දිගහැර තිබේ. පසු කලෙක බොහෝ සේ විවේචනයන්ට බඳුන් වූ මේ පරිච්ඡේදයේ සඳහන් බොහෝ සිදුවීම්ද නෙරුදාගේ ජීවිතය පිළිබඳව නිර්මාණ පිළිබඳව කළ පර්  යේෂණ ඔස්සේ ද යමින් තමාගේම ප්‍රබන්ධයක් ලෙස හඳගම ඇල්බොරාදා The Poem Neruda Never Wrote'' ලෙසින් තම සිනමා රසිකයන් වෙත තිළිණ කළේය. එමෙන්ම එළඹෙන 14 වැනිදා ද තවත් එවන් සොඳුරු එළිදැක්වීමක් සිදුවන්නට නියමිතය. එහිදී නෙරුදාගේ (Memoirs) සමන් වික්‍රමාරච්චි නැවත සිංහල පාඨකයා වෙත තිළිණ කරනුයේ (මට මතක මම) නමිනි.

සැහැල්ලුවෙන් ජීවිතය දෙස බලමින් නිදහසේ ජීවිතය විඳීමත්, නිර්මාණකරණයේ යෙදීමත් අරමුණු කරගෙන ඔහු මහ බැංකුවෙන් විශ්‍රාම යාමට සැලසුම් කළේ මහ බැංකු සේවයේ වසර 15ක් ගතවන විටය. විශ්‍රාම යද්දි ඔහුට පසුකරන්නට ඉතිරිව තිබුණේ මහ බැංකුවේ තනතුරු නාමාවලියේ ඉහළින්ම ඇති අධිපති තනතුර තෙක් තවත් තනතුරු දෙකක් පමණි. ''මම හැමදෙයක්ම නියමිත සැලසුමකට කරන්නෙ. මොන යම් නිර්මාණයක් වුණත් යම් සීමිත දින ගණනකදී රෑගත කිරීම් සැලසුම් කරගෙන නිමාවට පත් කරනවා. දැන් මගේ දියණියන් දෙදෙනාත් ලොකුයි. සඳලි සහ තරුණි, ඔවුන් දෙදෙනාම රුකියා කරනවා. ලොකු දුව සඳලි ජනමාධ්‍ය උපාධිධාරිනියක් විදිහයට ඇගේ ගමන යමින් සිටිනවා. පොඩි දුව තරණි පෞද්ගලික සමාගමක කළමනාකාරිනියක්. දැන් මම ජීවිතයේ ඉතිරි කාලය නිදහසේ ලෝකය රටතොට දකිමින් ගත කරන්න තමා බලාපොරොත්තු වෙන්නේ. ඒ අතරේ මගේ ප්‍රියතම ප්‍රකාශන විධි ලෙස සිනමාව සහ වේදිකාව ඔස්සේ නිර්මාණ ලෝකයට මුදාහරින්නත් උත්සාහ දරනවා.'' ඒ ඔහුගේ හඬයි. 

හෙට දවසේ ඔහුගේ බලාපොරොත්තු යථාර්ථයක් කර ගන්නට ඔහුට හැකිවේවායි හදසර අපි සුබ පැතුම් එක් කරන්නෙමු.

 මොනිකා සේරසිංහ

සේයාරූ අන්තර්ජාලයෙන්