2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා

මාව කැතයි කියලා හැමෝම කොන් කරනවා

 2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා, පෙ.ව. 10:01 2404

• හැමදාම විඳපු කිරි පාට චිත්‍රය එකපාරටම මැකිලා ගියා

මා සරසවියක තුන්වැනි වසරේ සිසුවෙක්. (කැම්පස් බැජ්) එකට වැල්ලවායෙ ඉඳන් ආපු  අනුහසි කියලා නංගි කෙනෙක් එක්ක මට එයාලාගෙ පළමු වසරේ (සෝෂල්) එක දවසෙ ටිකක් කතා කරන්න ඉඩක් ලැබුණා. එයා චිත්‍ර විෂය කළේ. ටික කාලයක් අපි කතාබහ කළාම අපි දෙන්නාටම අපි දෙන්නා දකින්නෙ නැතුව ඉන්න බැරිවුණා. හැමදාම දේශනවලට එද්දී ඇහැළ ගහ ළඟින් ආදරණීය ඒ හිනාව මට පේන්න ගත්තා. ඇහැළ ගහ ළඟ පිපුණු ඒ මල මට නොදැක ඉන්න බැරිවුණා. (බැජ්) වෙන වෙනම කැටේ යද්දී පවා මම අපේ එවුන්ට හොරෙන් එයා පස්සෙන් ගියා. කාලයත් එක්ක අපි ගොඩාක් ළංවුණා. නාන කාමරවලින් විසිරුණු වතුර බිංදු වීදුරු දොරේ වැදිලා උඩ ඉඳන් පහළට වැටෙන අස්සෙන් ඒ නංගි ලස්සනම ලස්සන චිත්‍රයක් ඇන්දා. ඒ චිත්‍රය මට මුළු ලෝකයම අමතක කළා. පෙරුම් පුරාගෙන හිටපු කිරි පාට ඒ චිත්‍රය ආදරේ වැඩිකමට මම මගේම කරගත්තා. රණ්ඩු සරුවල් මැද නැගුණු ඒ දඟකාර හිනාව මගෙ මුළු ලෝකයම වෙනස් කළා. (හොස්ටල්) එකෙන් උයාගෙන ඇවිත් බතුයි පරිප්පුයි කවලා හිත රිදුණු හැමදාම ළඟ ඉඳන් ඔළුව අතගාපු ඒ අතීතය මට අදටත් මනසේ දෝංකාර දෙනවා. අපි ගොඩාක් දවස්වලට ගොඩක්වෙලා කතා කර කර ඉන්නවා. එහෙම කතාකරන ගොඩාක් දවස්වලට එයා කියපු දෙයක් තමා “මම මැරුණාම ඔයාට හොඳයිනෙ” කියලා. ඒ ගොඩාක් දවස්වලට මම තරහ වෙලා තමා කතාව නවතින්නේ. ආයෙ එයාම මොකක්හරි කෝළමක් කරල මාව පුරුදු ලෝකෙටම ගේනවා. 

හිටි ගමන් ගිය අවුරුද්දේ අද වගේ දවසක මගේ රෝස මල හිටි ගමන් පරවෙලා ගියා. එයා අවසානයට කතාකරපු වෙලාවෙ මට කිව්වෙ මගෙ අයියෙ පරිස්සමෙන් ඉන්න කියලා විතරයි. මට එයා නැතුව ඉන්න බෑ. මගේම වෙලා තිබුණු කිරි පාට වූ වෙනම ලෝකය මාව අවුස්සනවා. සුමුදු සයනේ සිනිඳු ඇතිරිලි මට දැන් සිනිඳු නෑ. එයා නිතරම කියපු කතාව මට අදටත් ලොකු ප්‍රශ්නයක්. එයා මොනාහරි දැනගෙන හිටියාද කියාලා මට හිතාගන්න බෑ. මට වෙන කෙනෙක් එක්ක යාළු වෙන්න මනසක් නෑ. එදා ඉඳන් මට අදටත් රෑට නින්ද යන්නේ නෑ. එයා රෑට ඇවිත් මට කොඳුරනවා දැනෙනවා. මට දැන් කිසිම දෙයක් කරන්න ආසාවක් නෑ. කන්න හිතෙන්නෙත් නෑ. පොඩි දෙයක් වුණත් හිත රිදෙනවා. මම ගොඩාක් වෙලාවට වෙරළට ගිහින් මුහුද දිහා බලාගෙන කල්පනා කරනවා. එයා හීනෙන් ඇවිත් හරි මාත් එක්ක හැමදාම ඉන්නවා නම් මම ඒකට ආසයි. මේක මට තාමත් හීනයක්. මම ලොකු පීඩනයක ඉන්නේ. මට උදවු කරන්න. 

විහඟ - මාතර

පිළිතුර:

ඔබ යොමු කර ඇති ප්‍රශ්නය අනුව ඔබගේ පෙම්වතියගේ මරණය නිසා ඔබට ඇතිවී තිබෙන කම්පනය එවැනි හදිසි අවස්ථාවක ඕනෑම අයකුට ඇතිවන සාමාන්‍ය තත්ත්වයක් විනා අසාමාන්‍ය තත්ත්වයක් නොවන බව පළමුවෙන් කිව යුතුයි. සමීපතමයකුගේ හදිසි වියෝවක් ඕනෑම අයකුට දරාගැනීමට අපහසු අවස්ථාවක්. ඔබගේ පෙම්වතියගේ මරණයට හේතුව පිළිබඳ කිසිදු සඳහනක් මෙහි නොමැති නිසා ඔබට ලොකු පීඩනයක්, කම්පනයක් දනවන සිදුවීමක් වී ඇති බව සිතන්න පුළුවන්. වියෝවක් නිසා ඇතිවන කම්පනය මාස 6 වැනි කාලයක් තුළදී නම් එය සාමාන්‍ය දෙයක් ලෙස හඳුන්වන්නට පුළුවන් පොදු තත්ත්වයක්. එහෙත් ඊට වඩා කාලයක් එය අවබෝධ කරගෙන පවතින තත්ත්වයට අනුගත වන්නට අපහසු නම් එය විශාදය තත්ත්වයක් කියලා හිතන්න වෙනවා. ඔබ පවසා ඇති ඇතැම් කරුණු අනුව ඔබට ඔබේ ජීවිතය පිළිබඳ කවරාකාර අදහසක් තිබෙනවාදැයි සලකා බලන්නත් අවශ්‍යයි. ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න වෙනවා. එමනිසා විශේෂඥ මනෝ වෛද්‍යවරයකුගේ සහ විධිමත් උපදේශකවරයකුගේ සහාය ලබාගැනීම අවශ්‍යයි. සමාජ සේවා දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතනවල නොමිලයේ උපදේශනය සපයන උපදේශකවරුන් සිටිනවා. හැකි ඉක්මනට විශේෂඥ මනෝ වෛද්‍යවරයකු හමුවී උපදෙස් ලබාගන්න. 

• ලොකු දුව අපි දාලා යයිද බයයි  

මට බබාලා දෙන්නෙක් ඉන්නවා. දෙන්නම දුවලා. ලොකු දුවට දැන් වයස අවුරුදු තුනහමාරයි. පොඩි දුවට තවම මාස දෙකයි. ලොකු දුව දැන් ටික කාලෙක ඉඳලා අමුතු සිද්ධියක් ගැන තනියම කියවනවා. මමත් මගේ සැමියාත් ඉඳිද්දී එයාගෙ අම්මා, තාත්තා, අයියා කියලා තුන්දෙනෙක් ගැන එයා කියනවා. මමවත් මගේ සැමියා ගැනවත් නෙවෙයි එයා කියන්නේ. අනික එයාට අයියෙකුත් නෑ. එයාගෙ අම්මා, තාත්තා කියලා නම් දෙකක් කියනවා. තව ලොකු විස්තරයකුත් කියනවා. එයාට එයා කියන අය ළඟට යන්න ඕනෑ කියනවා. එයාව අපි හිරකරගෙන ඉන්නවා කියනවා. සමහර වෙලාවට මට එයාව පාලනය කරගන්න පවා අමාරුයි. සමහර වෙලාවට ලොකු දුව පොඩි දූටත් ගහන්න හදනවා. පොඩි දුව එක්ක ලොකු දුව ගොඩක් තරහෙන් ඉන්නේ. හැබැයි මේ දේවල් ඔක්කොම වෙන්නේ මහත්තයා ගෙදර නැති වෙලාවට විතරයි. දරුවා මාත් එක්ක තරහෙන් හිටියත් මහත්තයා ආවම කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්නවා. මේ දේවල්වලට මම එයාට ගහන්න යන්නෙවත් තරවටු කරන්න යන්නෙවත් නැහැ. පොඩි බබා හම්බවෙන්න කලින් මම රස්සාවකට ගියා. ඒ කාලෙ ලොකු දුව අවුරුද්දක් විතර දිවා සුරුකුම් මධ්‍යස්ථානයකට යැව්වා. ඒ කාලෙ කවුරුහරි කියපු සිද්ධියක් හෝ කොහෙන් හරි ඇහුණු සිද්ධියක් මෙයා දැන් කියවනවද කියලත් මට සැකයි. ඒත් දරුවා මේ දේවල් ගැන කියවද්දී ගොඩක්ම වෙනස් වෙනවා. මුරණ්ඩු වෙනවා. මේක මගේ හිතට ලොකු කරදරයක්. මට දුව ගැන බයයි. එයා කියන දේවල් නිසා මෙයා තනියම මවාගත්ත අම්මා තාත්තා හොයාගෙන යයිද කියලත් මට සැකයි. එයාට කරදරයක් වෙයි කියල මම හැමවෙලාවෙම  හිතින්  දුක් වෙනවා. මහත්තයා ගෙදර ඉන්න වෙලාවට ලොකු දුව මේ ගැන මුකුත් කියන්නේ නෑ. ඉතින් මේ ගැන මහත්තයාට කිව්වට එයා පිළිගන්නෙ නැහැ. දරුවා මේ දේවල් කරනවා කියලා. මහත්තයා  එයාව වෛද්‍යවරයෙක් ළඟට එක්කන් යන්න දෙන්නෙත් නැහැ. එයාට අසනීපයක් නැහැ කියලා මට බනිනවා. මම මේකට මොකක්ද කරන්න ඕනෑ.

චතූ - දඹුල්ල

පිළිතුර:

ඔබ යොමු කර ඇති ප්‍රශ්නයේ පුනරුත්පත්තිය පිළිබඳ සටහනක් තිබෙනවා. ඔබට ඔබගේ ආගම අනුව මෙම පුනරුත්පත්ති කොටස පිළිබඳ සුදුසු ආගමික ශාස්තෘවරයකු හරහා හෝ එම විෂය ප්‍රවීණයකු ඔස්ෙස් පැහැදිලි කරගැනීම අවශ්‍යයි. ඔබ දරුවාට මේ සම්බන්ධයෙන් තරවටු නොකිරීම අගය කරනවා. දරුවකු සිටින පවුලකට තව දරුවකු ලැබීමේදී පළමු දරුවා තුළින් අලුත උපන් දරුවා කෙරෙහි ඇති වන මානසික තත්ත්වය ස්වභාවිකයි. ඒ වගේම ඔබේ සැමියා මේ පිළිබඳ පිළිනොගන්නා බව ඔබ සඳහන් කර තිබෙනවා. 

පළමුවෙන්ම ඔබ සහ ඔබේ සැමියා අතර මතභේදවල ගැටුමක් ඇති නම් එය විසඳාගෙන හොඳ අවබෝධයක් සහ මනා සම්බන්ධතාවක් පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි. ඔබ කියන ආකාරයට දරුවාගේ හැසිරීම වෙනස් වෙනවා, මුරණ්ඩු වෙනවා නම් ඒ පිළිබඳ අවධානය යොමුකර උපදෙස් ලබාගැනීමක් කරන්න වෙනවා. මෙම සියලු ප්‍රශ්නවලට විසඳුම් සපයාගන්න පහසුවන්නේ ඔබ දෙපළගේ එකමුතුවෙන් සහ ඒකමතික තීරණයෙන්. සැමියා නොමැති විට දරුවාගේ හැසිරීම සැමියාට වෙනත් වැඩිහිටියකු හරහා හෝ පැහැදිලි කර දෙන්න. ඒ මගින් ඔබ දෙදෙනාම එකතු වී දරුවාගේ ප්‍රශ්නයට මා ඉහත පැවසූ පරිදි පුනරුත්පත්තිය සම්බන්ධ විෂය ප්‍රවීණයකු ලවා නිරාකරණය කරගන්න.

• මා මේ තැනට දැම්ම අය එක්ක ම‍ට තියෙන්නේ වෛරයක්

මම ගොඩාක් කැතයි. මට ගොඩාක් අය සැලකුවෙ මල්ලි එක්ක සසඳලා කැත කෙනෙක් විදිහට. එක එක කතා හැදුවා. මට ගොඩක් වෙනස්කම් කළා. අම්මා පවා වෙනස්කම් කළා. අම්මා හිටපු කාලෙත් අම්මා අම්මාගෙ ආයතනයෙන් විනෝද චාරිකා මාව ගෙදර තියලා මල්ලි එක්ක ගියා. සාදයකට ගියෙත් අම්මලා මල්ලි එක්ක. මාව ගොඩාක් වැටුණා ඔය වැඩවලින්. කිසිම දේකට මට ආත්ම ශක්තියක් තිබුණේ නෑ. මට අවුරුදු 23ක් දැන්. මම තවම මඟුල් ගෙදරකට සාදයකට ගිහින් නෑ. මාව මේ තත්ත්වයට දාපු අය එකක් මම ගොඩාක් තරහෙන් ඉන්නේ. මට පිරිසක් ඉන්න තැනකට යන්න ලැජ්ජයි. මට ගෑනු ළමයෙක් ළඟට යන්නත් බයයි. මාත් එක්ක කවුරුත් කතා කරන්නෙත් නෑ. මට හිත හදාගන්න උදවු කරන්න.

මදුසංඛ - බණ්ඩාරවෙල

පිළිතුර:

වර්ණය අනුව වෙනස්කම්වලට ලක් කිරීම සමාජයේ තියෙන වරදක්. දරුවන් බිහිවන්නේ අම්මාගේ තාත්තාගේ ජානවලින්. ඒ බිහිවන දරුවාගේ වර්ණය කුමක් වුවත් ඒ දරුවාට ආදරය කරන්න මවුපියන් බැඳිලා ඉන්නවා. ඔබ පවසන පරිදි ඔබේ මව ඔබේ වර්ණය හේතුවෙන් වෙනස්කමකට ලක් කරා නම් එය ලොකු වැරුද්දක්. මෙම ප්‍රශ්නය හමුවේ ඔබ සිටින පීඩනය පිටකිරීමට ඔබ යම් වරදකට යොමුවුණොත් ඔබට නීතියෙන් ගැලවීමක් නෑ. ඔබ සමාජයේ ජීවිතය හදාගැනීමට නිවැරදි මාර්ගයක් තෝරාගත යුතුයි. එනිසා ඔබේ ජීවිතයේ තවත් ප්‍රශ්න ඇතිවන ආකාරයට හැසිරීම ඔබම වළක්වා ගන්න ඕනෑ. ඔබේ දුක පීඩනය පිට කරගැනීමට ඔබට ලිපි, කවි ලිවීම, චිත්‍ර ඇඳීම වැනි දෑ කළ හැකිය. ඔබට ඔබ පිළිබඳ ආත්මාභිමානය, ආත්ම විශ්වාසය වර්ධනය කරගෙන අනාගතයට හොඳින් මුහුණදීම සඳහා නිසි මනෝ උපදේශකවරයකුගේ සහාය කඩිනමින් ලබාගන්න.

(මෙහි එන පෞද්ගලික අත්දැකීම්වල නම් ගම් මනඃකල්පිත බව සලකන්න)  
ලබන සතියේ ඔබේ ප්‍රශ්නයෙන්  හමුවෙමු.

ආදරය , විවාහය , ජීවිතය ගැන තරුණ ඔබ විඳවන ප්‍රශ්නය ඔබ කැමැති නමකින් කෙටියෙන් අපට කියන්න. ඔබේ නම, රුකියාව කුමක් වුවත් හිතේ විඳවන ප්‍රශ්නයට හොඳම උත්තරය හදසරෙන්. 
‍ෆේස්බුක් ෆෑන් පේජ් මැසේජ්
ජීවිතේ  රිදෙන තැන් (Jeewithe ridena then)
ෆේස්බුක් නැත්නම් මෙහෙම ලියන්න.
Email - Jeewitheridenathen@gmail.com

සංස්කාරක, 
“ජීවිතේ රිදෙන තැන්”
හදසර අතිරේකය, දේශය පුවත්පත
නො 08, හුණුපිටිය හරස් පාර, කොළඹ 02.

I සසංක චලන ගිම්හාන