ජීවිතේ කියන්නේ චාරිකාවක්. අපි හැමෝම මං සරන්නෝ. මේ චාරිකාවේ අපිට එක එක තැන්වල, එක එක කාලවල ගමන් සඟයෝ හම්බවෙනවා. ඒත් මේ ගමනෙදි සර්වකාලීන ගමන් සඟයෙක් වෙන්න කාටවත් බෑ.
ම්ම්.. මට මෙහෙම හිතුණේ මොහොතකට කලින්. ඒ නිසාම ජංගමය මත්තේ අකුරු සිතුවම් කරන්න හිතුණා. අපි ඉන්නේ අධිවේගී මාර්ගයේ මාතර පහුවෙලා දැන්. වෙලාව රෑ එකොළහ හමාරට විතර ඇති. වේගය එකසිය දහය පැනලා. මම ඉස්සරහ ආසනේ ඉන්න නිසා පොඩ්ඩක් අනික් පැත්තට ඔළුව දාලා බැලුවාම ඒක පේනවා. අපි ගමනක් යනවා ගමන් සඟයෝ හයක් එක්ක. ගමනාන්තයක් තියෙන ගමනක් මේ. නැවතුම බණ්ඩාරවෙල.
මාතර පැන්නම සෑහෙන්න වාහන අඩුයි අධිවේගී මාර්ගයේ. අඳුර නිසා වටපිටාව හරියට පේන්නේ නැතිවුණාට පාර එළිය කරන්න දාලා තියෙන විදුලි එළි වෙනම හැඩයක් මේ රාත්‍රියට එක් කරනවා. පිටිපස්සේ ආසනවල මිත්‍රයෝ එක එක කතාවල. ගමන ආරම්භ වුණු කනිසමේම කිහිප දෙනෙක් විතරක් මදු පෙරා ගෙනල්ලා සුරන් රවටන්නයි ලෑස්තිය. මතක මඟ දිගේ වෙනදා වගේ නිදහසේ හුදකලාවේ ඇවිදගෙන යන්න නම් අද ඉස්පාසුවක් නෑ. ඒත් මිතුරු සාමීචිය අතර හොරෙන් හොරෙන් මම ජංගමයගේ අකුරු කරනවා.
අවසානයක් නැතිව එක පෙළට පේන විදුලි එළිය නිසා පාර ලස්සනට පේනවා. ඒත් එක්කම මිත්‍ර සමාගම කතා සාගරයක් වේගෙන එනවා. මේක ජීවිතය කියන ගමන ඇතුළේ තවත් ගමනක් නේද? ඔන්න ගමන් ගැන හිතන්න පටන් අරගෙන. ඔය මම ජීවිතේ කොච්චර ගමන් ගිහින් ඇද්ද? නගරයට හන්දියට යන එක, එතකොට රස්සාවට යන එක වගේ පොඩි පොඩි ගමන් එක්ක මළගෙවල්, මඟුල් ගෙවල්, පොඩි කාලේ අධ්‍යාපන චාරිකා, එතකොට විනෝද චාරිකා. නිකමට හිතලා බලන්නකෝ. අපි කොච්චර ගමන් ගිහින් ඇතිද?
හැමෝගේම ජීවිතවල ලස්සන ගමන් තියෙනවා. ඒ ගමන් ඇතුළේ සතුටත් තියෙනවා. මම නම් හිතන්නේ මට ජීවිතේ වැඩිපුරම සතුට දැනෙන්නේ ගමන් ඇතුළේ. සමහරවිට ගිය ගමන් ගැන මතක මඟ දිගේ ඇදිලා යන ඕනම කෙනකුට එහෙම හිතෙයි. ම්ම්.. අනේ මන්දා මට නම් හිතෙන්නේ එහෙම. ආ.. ඔන්න හිත හිනා වෙනවා. මේ කතාවක් කියන්න ඕනෑ... අපි ඉතින් ගිය ගමන්වලට වඩා කටින් ගිය ගමන් වැඩියි.
අපි අධිවේගයෙන් එළියට දාන්නේ මත්තලින්. ම්ම්.. කියන්න අමතක වුණානේ. අපි මේ යන්නේ අතිජාත මිත්‍රයකුගේ විවාහ මංගලෝත්සවයකට. ගමනේ දුර ගැන හිතුවම මේක විනෝද චාරිකාවක්ම තමා ඉතින්. මේ වාහනේ ඉන්න ඔක්කොම එකම ගමක මිත්‍රයෝ. ගමනට රූ තෝරාගත්තේ පහසුව සලකලා. මංගලෝත්සවයකටත් ගිහිල්ලා එදා රෑ බණ්ඩාරවෙල නතරවෙලා කාලා බීලා, විනෝද වෙලා එන එක තමා අපේ බලාපොරොත්තුව. දැන් අපි මත්තලින් එළියට දාන්න ළඟයි. දැන් කට්ටියගේ බලාපොරොත්තුව අධිවේගයෙන් එළියට ආපු ගමන් කඩයක් ළඟ නවත්තලා කහට එකක් බොන්න. අලුත් දවසකුත් උදාවෙලා. දන්නෙ නැතුව වෙලාව දොළහ පැනලා.
කාලය කියන්නේ හරි පුදුම දෙයක්. කාලය සතුටට සාපේක්ෂව ගලාගෙන යන්නේ කියලා හිතිලා නැද්ද? අපි සතුටින් ඉන්නකොට කාලය ගලාගෙන යන්නේ හරි වේගයෙන්. අපි දුකින් ඉන්නකොට, බලාපොරොත්තුවක ඉන්නකොට කාලය ගලාගෙන යන්නේ පුදුම තරම් හෙමින්. අපි ගියපු ලස්සන ගමන් ගැන මතක් කරන්නකෝ. ඒ දවස් පුදුම වේගයෙන් ගෙවිලා ගියා නේද? ඔන්න කාලය ගැන විද්‍යාත්මකව හිතලා ඒක එහෙම නෙවෙයි කියලා කියන්න එපා. ඒකට මනෝ විද්‍යාත්මක පැහැදිලි කිරීම් කරන්නත් එපා. ඒක එහෙම තමා ලස්සන. කාලය සතුටට සාපේක්ෂයි.
දැන් ඔන්න අධිවේගයෙන් එළියට දැම්මා. ලොකු වෙනසක් නෑ. පාර ඒ වගේමයි. ඉස්සරහ තියෙන කඩයක් ගැන දැන් තතු දන්නෝ පවසනවා. අමතක වුණා කියන්න අපේ තවත් මිත්‍රයෝ වගයක් අපිට මිනිත්තු තිහක විතර ඉස්සරහින් තව වාහනයක ආවා. එතැන තුන් දෙනෙක් ඉන්නවා. එයාලා අපි එනකම් අර කඩයක් ළඟ නතර වෙනවා කියලා කිව්වා. වාහනේ ඇතුළේ සන්නිවේදන සම්බන්ධතා පටන් අරගෙන. ඒ අස්සේ අපි පොඩ්ඩක් අයිනකට කරලා නැවැත්වුවා. මෙහෙම නැවත්වුවාම කරන්න වැඩ තියෙනවනේ. එහෙනම් ඒවා කරගෙන එන්නම්. පොඩ්ඩක් ඉන්නකෝ.
අපි මගින් පොඩ්ඩක් පරක්කු වුණා කිව්වනෙ. දැන් තවත් පරක්කුයි. අර මිත්‍රයෝ කඩේට වෙලා බලාගෙන ඉන්නවා. ම්ම්.. කමක් නෑ. පරක්කුව කියන්නේ ගමනේ කොටසක්. ජීවිතය කියන චාරිකාව ඇතුළෙත් අපි සමහර දේවලට කොච්චර පරක්කුවෙලා ඇතිද? පරක්කුව නිසා පසුතැවීම් ඇතිවෙනවා සමහර වෙලාවට. තවත් සමහර වෙලාවට පරක්කුව නිසා වාසනාව උදා වෙනවා. මේ ගැන හිතනකොට මෙහෙම දෙයක් හිතෙනවා. අපි පරක්කු වෙන්නේ ඇයි කියලා දන්නවද? ම්ම්ම්.. අපි පරක්කු වෙන්නේ අපි ගමනක් යන නිසා. ඒක අදට විතරක් නෙවෙයි. ජීවිතයටම අදාළයි.
අන්න අර කඩේ. එතැන තියෙනවා මිත්‍රයන්ගේ වාහනේ.. අපි නවත්වනවා.
ටික වෙලාවක් ගියා. කහට එකක් ගැහුවා. ඒක පොඩි පොඩියට අටවපු රෑ කඩයක්. පාරේ යන එන අය දන්නවා. මත්තල (එක්සිට්) එක පහු කරලා ඒ හැටි දුරක් එන්න ඕනේ නෑ. කඩේ තියෙනවා බැදපු රටකජු. ගමේ බඩු. ඒක මාර රසයි. අපි කිහිප දෙනෙක් ඒකට රස වැටුණා. කොහොම හරි අපිට කන්න රොටී ලැබුණේ නෑ. අපේ වාසනාවන්ත මිත්‍රයෝ කල් ඇතිවම කඩේ රොටිවලට වග කියලා. මොනවා කරන්නද? ඒවා මතක. අර මම කිව්වේ. ජීවිතයේ ඉතුරුවෙන දවසක අපිට නොදැනීම මඟහැරෙන මතක.
ඔන්න අපි මේ පාර ඉවර කරලා බණ්ඩාරවෙල පැත්තට යන්න හැරෙව්වා. මේ අකුරු කෙරුවාව නිසා මට සමහර තැන් මඟහැරෙනවා. ආ අමතක වුණා මේ පාර මම වාහනේ පිටිපස්සේ ආසනයකට ආවා.. මිත්‍රයෙක් ඉස්සරහට ගියා. ගමනේ මුල සැර මධුවිත තොලගාන්න හිතක් නෑ. ඒ නිසා මම සුළුවෙන්ම ගමන යනවා. පස්සට ආවේ ඒකට. පුංචි වෙලාවක් දෙන්නකෝ මට.
ආ... අන්න ගින්නක්. ඈත කන්දක ලැව් ගින්නක්ද කොහෙද? අපි ඇල්ලට ළඟයි. මේ පැත්තේ ඔහොම ගිනි තියෙනවලු. ඔය හිටපු ගමන් මාධ්‍යවලත් යන්නේ. අපිට මේ කඳු අතර රූ විටින් විට ගින්න පේනවා. සත්තු දඩයම් කරන්න තමා ඔහොම ගිනි තියන්නේ කියලා අපේ අය කියනවා. මමත් අහලා තියනවා ඒ කතාව නම්. ඔන්න අපේ මිත්‍රයෙක් 119 ඇමතුමක් අරගෙන කියනවා ගින්න ගැන. අපිට හරියටම තැන කියන්න බෑ.. කන්ද ඈතින් පේන්නේ. ඒ නිසා ගින්න මෙන්න මෙතැනට පේනවා කියලා විතරයි කියන්න වුණේ. ඒත් ඔන්න අපි අපේ යුතුකම ඉටු කළා.
සීතල ඇඟට දැනෙන්න පටන් අරගෙන. ඇල්ලේ පොඩ්ඩක් නැවතිලා යමු. යෝජනාව පංකාදුයි. මේ පාන්දර ඇල්ලේ සීතල තමා ප්‍රශ්නේ. මොනවා කරන්නද.. කමක් නෑ. ඉතින් මම අදට නවතිනවා. මේ ගමනේ විරාමයක් ලැබුණොත් හම්බවෙමු.
I නිසල්