2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා

ගී ලියන්න ඉස්සර පුංචිම කාලෙත් මම කවිකාරියක් - දේවි බාලිකා විදුහල්පතිනි - ප්‍රදීපා සමරසිංහ

 2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 230

ප්‍රේමය මනරම් කුසුමකි.. දැයේ දරුවන් සියක් දහසකට මෝරන තල මල සේම සාර සුබාවෙන් සපිරි ජීවන දැක්මක් උදෙසා මඟ කියන්නට ළය ලෙය විනිවිද ගිය අප්‍රමාණ ස්නේහයකින් අත්වැල් ඇල්ලූ ඇය ලියූ ගීතයක පදයකි; ඒ..

ඔබ ඔබේ ගැන
මම මගේ ගැන
හිතන්න අරගෙන
කාලයක් ගෙවිලා

ඔබ මගේ ගැන
මම ඔබේ ගැන
හිතූ කාලය ඉගිලිලා
සුළඟ සේ ඉගිලිලා

ඒ ගී පද සමුච්චයේ ඊළඟ පදය වූයේ මා මුලින් කී ගී පදයයි. ප්‍රේමය ප්‍රේමණීය ලෙස ගී පබැදුමකට මුසු කළ ඒ මනරම් ගී සිත් ඇත්තිය කවුද? එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ ළාබාලතම විදුහල්පතිනිය ලෙස වයස අවුරුදු 26 දී මහා වගකීමක් දෙවුර දරා නොබිඳි සටහනක් තබමින් ජීවන කටු අත්තේ සොඳුරු සුගන්ධවත් මල් පුබුදුවන්නට දිරිගත් ඒ දිරිය මාතාව කොළඹ දේවි බාලිකා විදුහලේ විදුහල්පතිනිය ප්‍රදීපා සමරසිංහ ගුරු මාතාවය.

නිලට නිලේ දිදුලන ගහ කොළ, කඳු මිටියාවත් පිරුණු සුන්දර ගම්මානයක ඇය බාල වියේදී හැදී වැඩුණාය. කෑගල්ල දැදිගම ගම්මානයේ බාල සන්ධියේ කල් යල් ගෙවූ ඇගේ මවටත් පියාටත් දූ දරුවෝ සය දෙනෙක් වූහ. කලාවේ (අ) යනු අක්ෂරය කියවන්නට ඒ ගමගෙදරදීම ඈ සිතට රැකුල් දුන්නේ ඇගේ ආදරණීය පියාණන් වග අදටත් ඈ සිහිපත් කරන්නේ අප්‍රමාණ කෘතවේදීත්වයකිනි.

“මගේ පියාණන් හරිම සුන්දර විවෘත හිතක් තිබුණු මනුස්සයෙක්. කවදාවත් අපේ මනසට කුල මල පන්ති භේද වැනි අසුන්දර හැඟීම් ඔහු එකතු කළේ නෑ. ගමේ කුලහීන දරුවන් සමඟ පවා අපිට එකට සෙල්ලම් කරන්න, යාළු මිත්‍රකම් පවත්වන්න ඉඩ දුන්නා... මට මතකයි මගේ පියාණන් ගමේ ළමයි එකතු කරගෙන පොඩි වේදිකාවක් එහෙම හදලා ඒ කාලේ නාට්‍ය රඟදක්වන්න ඉඩ හදලා දෙනවා... ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදරණීයයි... පියාගේ වගේම මවගේ සහෝදර සහෝදරියන්ගේ ආදරය අඩුවක් නැතිව දැනුණු තැනකයි මම හැදුණේ.. උසස් පෙළ කරන කාලයේ අපේ තාත්තා මෙලොවින් සමුගත්තා.” ඇය අතීතය එලෙස සිහිපත් කරන්නීය.

දැදිගම ප්‍රාථමික විද්‍යාලයෙන් ජනප්‍රිය පාසලකට ඇතුළුවීමේ විභාගය සමත්ව කෑගල්ල බාලිකාවට ඇතුළු වූ ඇය ඉනික්බිති කොළඹ සරසවියේ උපාධිය ලබා නික්ම ගිය ගමනේ අනගි සන්ධිස්ථානයක් වූයේ 1990 වර්ෂයේදී ජීවන පුස්තකයේ 26 වැනි පරිච්ඡේදය කියවන තරුණ වියේදී අම්පාර දෙහිඅත්තකණ්ඩිය විදුහලේ විදුහල්පතිනිය ලෙස වගකීම දෙවුර දරමින් ලංකාවේ ළාබාලතම විදුහල්පතිනිය ලෙස ඇරඹි ගමනයි.

එංගලන්තයේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙක්, විශේෂඥ වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් මේ ආදී වශයෙන් වියතුන් දෙහිඅත්තකණ්ඩිය දුෂ්කර පාසලේ එදා ඒ දරුවන් අතරින් බිහි කරන්නට තරම් ඇගේ මෙහෙයවීම කැපවීම ශක්තිමත් විය. වරෙක එදා ඒ පාසල් දරුවන් ඇය නර්තන තරගවලට යෙදෙව්වේ ගුරුවරුන්ගේ සාරි කඩා මැසූ ඇඳුම් ආයිත්තම්වලින් සරසමිනි.

ගුරු ජීවිතයේදී කළ ඒ සා විසල් මෙහෙවරෙහි ආනිසංස සසර කුසල්වලට එක්වීදෝ ඇගේ දියණිය හා පුතු විදේශ සරසවිවල ශිෂ්‍යත්ව සහ ඇගයීම් ලබමින් අධ්‍යාපනයේ උසස්ම තැනකට යොමුවන්නට වරම් ලදහ. එමෙන්ම වියත් ස්වාමියකුගේ ආදරණීය රැකවරණයද ඇයට හිමිවිය. ඒ අරුත්බර දිවි මඟ ඒකාලෝක කළ තවත් එක් පහන් ටැඹක් වූයේ කලාවෙහි සෞන්දර්යාත්මක ඉසව් කෙරේ ඈ දැක්වූ නැඹුරුවයි.

සරසවි දිවියේදී නිසදැස් කවි ලියූ ඇය... රෑ නින්දට යද්දිත් සිතට හුදෙකලාවක් කාන්සියක් දැනෙන මොහොතක ගී අසන්නට, ගී රසවිඳින්න පුරුදු වූ ඇය... අද අමරසිරි පීරිස් වැනි අපේ කලා ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණතම අසහාය ගායන ශිල්පියකුට, සංගීතඥයකුට ගයන්නට ගී පද ලියූ ගී පද රචකයෙකි.

උදම් රළ අවුදින් ගීතය අමරසිරි පීරිස් ගායකයා වෙනුවෙන් ලියූ ඇය ආදරණීය දියණිවරුන්ගේ හදවතට සොඳුරු ලෙස ආමන්ත්‍රණය කරමින් පිනි විසුල මල් යායක, හිරු පාට වපුරන යාමෙක, දහස් ගණනින් බඹරු ඇවිදින්, සැරිසරති ගෘංගාර හීනේ ගීතය ලියුවේ සූර්යා දයාරුවන්ට ගයන්නටය. අරුණ ගුණවර්ධන සංගීතවේදියා විසින් සංගීතවත් කළ එම ගීතයේ රූප රචනය ද ඇගේම සංකල්පනාවකි.

අමරසිරි පීරිස් ප්‍රවීණ ගායකයාගේ පුතු මාධව පීරිස් ඉතාලියේ පදිංචිව සිටියත් පියා ගිය මඟ යමින් ඔහුත් මේ වනවිට ගායන ක්ෂේත්‍රයට අවතීර්ණ වී සිටියි. ඔබ ඔබේ ගැන ගීතය ගැයුවේ මාධව පීරිස්ය. එහි සංගීතය ද අරුණ ගුණවර්ධන සංගීතවේදියාගෙනි.
දේවි බාලිකා විද්‍යාලයේ සංගීත ගුරුතුමියක වන ගායිකා ජනනි ඉන්දිරා පීරිස් ගැයූ අහස පීරන කඳු මුදුන් අතරේ, ගලා බසිනා චණ්ඩ දිය දහරේ, නිවා මා ගත සිනා දී වත, ස්නේහයේ... ඒ ප්‍රදීපා සමරසිංහ විදුහල්පතිනිය ලියූ තවත් ගීතයකි. තවද ජනනි සහ කලාෙව්දී සුබුද්ධි ලක්මාලි ගැයූ අහසේ තරු ගෑවි ගෑවී, සිටිනා සඳ පේවි පේවී, නොපෙන්නද රුයේ නුඹට, රූ සඳසාවී ගීයත්, නිමාලි කුරුප්පු ගැයූ හිරු මල පිපී, පරවීලා යන සැඳෑවේ ගීතයත් ඇගේ ගී මිණි යදමෙහි ඇමිනුණු ගී මිණි වෙයි. ඒ ගී ත්‍රිත්වයේම සංගීතය නිමැවූයේ සංගීතවේදී දර්ශන වික්‍රමතුංගය.

ගී සේම ඉඩ ලද විරාමයක ඇය කෙටිකතාද ලියන්නීය.

“පුංචි කාලයේ ඉඳන්ම සාහිත්‍ය කෙරෙහි මට ලොකු නැඹුරුවක් තිබුණා. පොත් කියවන්න මම හරි ආසයි. සරසවියේ ඉන්න කාලේ කවි නිසඳැස් ලියලා මම ඒවා එකතු කළා.. ගීත ගැන කතා කරන්න, ගීත විචාරය කරන්නත් මම හරි ආසයි... මට පාසල් යන කාලයේ සිංහල විෂය ඉගැන්වූ ගුරුතුමියක් සිටියා මාලනී එදිරිමාන්න කියලා. ඇය මාව හුඟක් සාහිත්‍ය කෙරේ, ලේඛනය කෙරේ, ගීත විචාරය කෙරේ යොමු කළා... අද මට ගීතයක් ලියන්න ගත්තම බොහෝ විට එකවරම ඒ ගීතය ලියවෙනවා. ඒ වගේම කලාව කියන්නේ සීමා මායිම් නැති නිදහස් අවකාශයක විඳින දෙයක්. මම ගීත ලියද්දි ආදරය ප්‍රේමය වගේ ප්‍රස්තුත කරණ කොට ගන්නවා. මම විශ්වාස කරනවා යොවුන් දියණියන් සමඟ අප ආදරය ප්‍රේමය ගැන විවෘතව කතා කළ යුතුයි. ආදරය ප්‍රේමය කියන්නේ සුන්දර මනුෂ්‍යභාවයන්. මම ඇත්තටම තරුණ දරුවන් එක්ක ඒ දේවල් විවෘතව කතා කරනවා.” ඒ් අැෙග් හඬයි.

ජීවන කෙම්බිම අස්වද්දනු පිණිස වදනකින් හෝ දිරිදුන් කෙනෙක් වෙත්ද ඒ සැමදෙනා අද ඇය සිහිපත් කරන්නේ අපමණ භක්ත්‍යාදරයෙනි.

ගී ලියන, ගී විඳින, පත පොතට පෙම් කරන දේවි විදුහල්පතිනියනි... ඔබට හදසර සුබ පැතුම්.

I සංජු