2022 මාර්තු 06 වන ඉරිදා

මතක ලස්සන පරණ තරමට!

 2022 මාර්තු 06 වන ඉරිදා, පෙ.ව. 10:00 115

ඔන්න විදුලිය කපලා. ජංගමයව බල ගන්වලා තිබුණ නිසා ඉස්තෝප්පුවේ ඉස්පාසුවේ හාන්සි පුටුවට බරවුණා. ගේ ඇතුළේ ඉටිපන්දම් පහන් පත්තු වුණත් ඉස්තෝප්පුව වගේම මිදුලටත් හොඳ කරුවලයි. වෙලාව නම් හතේ කනිසම පැනලා. අහස අරක්ගත්ත කළු වලාකුළු තමා මේ කරුවලට වගකින්න ඕනෑ. විදුලිය නැති අස්සේ උඩහා පන්සලේ පීකරේ සද්දේ ඇහෙන්නේ කොහොමද? මේ ප්‍රශ්නයට පිළිතුරක් ඕනෑම වුණ නිසා මම අඳුරේ බැඳි නිහඬ පවුර බින්දා. උත්තරේ ලැබුණා ගේ ඇතුළෙන්.
''ගොඩැල්ලේ පන්සලට ජෙනරේටරයක් ගෙනැල්ලා. දැන් ටිකල් කල්...''

ම්..ම්... ඒකත් එහෙමයි. මම නිහඬ වුණා. ගොඩැල්ලේ පන්සලේ පීකරේ සද්දේ පස්සේ මගේ හිත දුවනවා. ඒ කියන්නේ මතක මඟ දිගේ ඇවිදින්න වෙලාව ඇවිල්ලා. මම ජංගමයගේ අකුරු පොත පෙරළා ගත්තා. පුංචි කාලේ අවුරුදු හතක් විතර දහම් පාසල් ගියේ ඔය පන්සලට. තාත්තලාගේ මහ ගෙවල් තිබුණේ ඔය ගොඩැල්ලේ කන්ද උඩ. ඒ කාලේ මතක මංජුසාව ඇරලා බැලුවොත් කතා නම් තියේ සිය ගණනක්. ඒ මතක අවුස්සා ගන්නවාද? නැද්ද ? මොහොතකට හිත නතර වුණා.

ජංගමයාගේ සුදු ආලෝකය නිසා මගේ ඇඟට පොඩි මෙරු වගයක් වැටෙනවා. මේ කළුවරේ ජංගමයාගේ තිරේට උන් රැවටිලා. මම තත්ත්පර කිහිපයක් තිරේ නිවලා තිබ්බේ ඒ නිසා. මේ නිහඬ රාත්‍රියේ ඈතින් ඇහෙන පීකර් සද්දේ හිත ඇලෙන එක නතර කරන්න ලේසි නෑ. මම හිත හදාගෙන ආයේ ජංගමයා නැවත කැඳෙව්වා. මෙරුන්ට ඕනෑ දෙයක් කරගන්න කියලා මම මේ ඇසිල්ලේ සජීවී වුණා.

ඉස්සර ගොඩැල්ලේ පන්සලේ පීකරේ හවසට පිරිත් දානවා. අපේ නැන්දා මාත් එක්කගෙන තව කිහිපදෙනෙක් එක්ක යනවා ඔය පන්සලේ උඩහා පඩිපෙළට. අද වගේ මතකයි. ඇස් මානේ ඇදෙන දසුන් මනසේ ඇඳගන්න මම පුරුදු වුණේ එතැනදී වෙන්න ඕනෑ. පන්සලේ උඩට ලස්සනට මුහුද පේනවා. කට්ටිය බරට කතා සාද දාගෙන ඉන්න කොට මම ඒ දිහා බලාගෙන ඉන්නවා.

කාලය හරහා යන්න තියෙනවා නම් ඒ මොහොතකට. කන්ද උඩට ඈතින් පේන මුහුදේ සුදුපාට තැන තැන පේන බිඳෙන රුලිවල පෙණ තීරු. සුදු වැලි මළුව. එතකොට ටිකක් පහළට වෙන්න තිබුණ බෝධි මළුව. බෝධි මළුවට ගියාම පහළින් පේන ධර්ම ශාලාව. ආ අන්න එතන තමා දහම් පාසල තිබ්බේ.

ඇත්තමයි ඕනෑම මනුෂ්‍යයකුට පුළුවන් කාලතරණය කරන්න. ඒකට ඕනෑ වෙන්නේ මේ වගේ නිහඬ අඳුරු රාත්‍රියක් සහ කාලය හරහා යන්න හොඳ නිමිත්තක් විතරයි. සමහර වෙලාවට මිනිස්සු මේ කාලතරණය නොදැනුවත්ව කරනවා. තවත් වෙලාවට කිහිපදෙනෙක් එක්ක නොස්ටැජියාවක් ගහගෙන කතා සාගරයක් මැද අතීතයට කිමිදෙනවා. ඒත් එහෙමත් කෙනෙක් තමා මේ විදිහට තනියම අතීතයට කාල යානයකින් තනියම යන්නේ.

ආ... මම හිටියේ ගොඩැල්ලේ දහම් පාසලේනේ. අතරමඟ පොඩ්ඩක් විරාමයක් ගත්තා. දහම් පාසල් ගියපු ඕනෑම කෙනෙක්ට ඒ හා සම්බන්ධ අපූරු මතක කන්දරාවක් තියෙනවා. ඔයාට මොනවද මතක? ම්..ම්... මම නම් දහම් පාසල් දෙකකට ගියා. පළවෙනි එක ඔය ඈතින් පීකරේ දාලා තියෙන පන්සලේ තිබුණු දහම් පාසල. ඒක අපේ තාත්තලාගේ පන්සල. තාත්තා ඉගෙනගත්තු උගන්වපු දහම් පාසල. ඊටපස්සේ මම දහම් පාසල් ගියේ අම්මලාගේ පන්සලට. ඒක වෙනම ලොකු කතාවක්. ඒ මතක මාවතට යන්න අද දවස නෙවෙයි.

ආහා... ජාති ආගම් කුලගෝත්‍ර සලකන්න එපා කිව්ව බුදු හාමුදුරුවන්ගේ දර්ශනය තියෙන පන්සලුත් අපි බෙදාගෙන. ඔන්න හිත අඳුරේ අයාලේ යනවා. ඒ කතා වැඩක් නෑ. විදුලිය එක එන්න අටහමාරවත් වෙයි. ළාවට සුළඟක් තියෙනවා. ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ ඇලවෙලා. කකුල් දෙකත් පුටුවක් තියාගෙන ඉන්න මගේ හරහා ඒ හුළඟ සනීපෙට ඇදිලා යනවා. මේ දවස්වල තියෙන්නේ ගොඩ සුළං. ඊයේ පෙරේදා ධීවර කර්මාන්තයට සම්බන්ධ යාළුවෙක් කිව්වා මතකයි. කොහොම හරි අර පීකරේ සද්දේ සුළඟේ දිශාව අනුව වෙනස් වෙනවා. ඒකනම් අපි පොඩි කාලේ ඉඳන්ම දන්න දෙයක්.

මතක මඟ දිගේ ගොඩැල්ලට ගියපු නිසා නොකියාම බැරි කතාවක් මතක් වුණා. ගොඩැල්ල පන්සලේ නාට්‍ය කලාව. ඒක ගමේ සෑහෙන කාලෙක ඉඳලා අපූරු නාට්‍ය සම්ප්‍රදායක ශේෂයක්. පොඩි කාලේ ඒ නාට්‍ය වකට මම සම්බන්ධ වුණානේ. ආ අපූරු කතාවක් තියෙනවා. එතකොට ඉස්කෝලේ එකේ හරි දෙකේ හරි. නාට්‍ය කළා දයානන්ද කළුපෙරුම කියලා මාමා කෙනෙක්. ඒකේ නම ''පෝරිසාද''. සුතසෝම ජාතක කතාව ඇසුරින් තමා ඔය නාට්‍යය කළේ.

ඔන්න නාට්‍ය දවස ආවා. සුතසෝම කුමාරයාගේ ළමා කාලේ පොඩි කොටසකට තමා මම හිටියේ. විස්තරේ ඉතින් හරියට මතක නෑ. කොහොම හරි පන්සිල් කියන්න තිබ්බා එක ජවනිකාව. බ්‍රහ්මදත්ත කුමාරයාට වඩා සුතසෝම කුමාරයා හොඳයි කියලා පෙන්නන්න තමා එම කොටසක් දාලා තියෙන්නේ. වැඩේ කියන්නේ එදා මම එක සිල් පදයක් වරද්දලා හරි මාරු කරලා හරි කියලා. කොහොම හරි පස්සේ කාලෙක තමා වැඩේ මම දන්නේ මම එදා එහෙම වරදක් කරලා කියලා. හැබැයි වරද්දපු සිල් පදේ නම් අහන්න එපා.

ගොඩැල්ලේ පන්සලේ නාට්‍ය කියන්නේ වෙන දවසක කාල යාත්‍රා කරන්න ඕනෑ නිමිත්තක්. ඒක වෙන දවසකට දාගන්න ඕනෑ. තව පොඩි වෙලාවයි විදුලිය එන්න තියෙන්නේ. ගොඩැල්ලේ පන්සලේ බෝධි පූජාව ඉවරවෙලා දන්නේම නෑ. දැන් නිහඬ බව විතරයි හැමතැනම. ආ අමතක වුණා... ඉස්සර වගේ නෙවෙයි දැන් ඒ පන්සල අලුතින් ගොඩක් වෙනස්කම් කරලා. අර පඩිපෙළ... එතකොට බෝධි මළුව දැන් නෑ. ළඟදී ගියපු දවසක හිතට මහා පාළුවක් දැනුණා.

කමක් නෑ ලෝකය දියුණු වෙන්න එපැයි. එතකොට තමා මිනිස්සු කියන විදිහට ලෝකය ලස්සන. ඇත්ත වෙන්න ඇති. මට නම් හිතන්නේ ඒ කොහොම වුණත් ''මතක ලස්සන පරණ වෙන තරමට.''

විදුලිය ආවා...!

I නිසල්