ජීවිතය කියන්නේ තනියෙන් යන ගමනක්. කාට කවුරු හිටියත් ජීවිතය කියන්නේ තනියෙන් යන ගමනක්. ඒ යථාර්ථය ජීවත්වීම තුළ තේරුම් ගන්න ලැබෙන තැන් හුඟාක් අයට ජීවිතයේදි හමුවෙනවා... ජීවිතයේ කෙනකුට හුදෙකලාව විඳින්න ලැබෙන හැම මොහොතක්ම ජීවත්වීම වෙනුවෙන් ධෛර්ය උපදවන මොහොතක් කියලයි මට හිතෙන්නේ.
Alone බලද්දි තමයි මට ජෙසිකාව හමුවුණේ. ජෙසිකා කියන්නෙ තමන්ගේ ආදරණීය සැමියාගේ මිය යාමෙන් හුදෙකලා වූ ගැහැනියක්. දිනක් තමන්ගේ මව සමඟ සිදුවූ ගැටුමක් නිසා සිත රිදවාගත් ජෙසිකා තමන් සන්තක සියලු බඩු මුට්ටුත් රුගෙන තමන්ගේ ජීප් රථයෙන් නිවස හැර දමා යන්න යනවා. වනාන්තරයක් මැදින් වැටුණු පාරක් දිගේ මෙහෙම තනියෙන් යද්දි ඇය දකිනවා ඒ මාර්ගයේම ගමන් කරන තවත් කළු ජීප් රථයක්. එක් තැනකදි ඇය වාහනයට තෙල් ගහන්න ජීප් රථය නවත්වාගෙන සිගරට්ටුවක් දල්වා ගන්නවා. ඒ මොහොතේ ඇයට ඇගේ තාත්තාගෙන් දුරකථන ඇමතුමක් එනවා. අම්මාගේ ඇමතුම් මඟහැර සිටියත් ඇය තාත්තාට කතා කරනවා. එම ඇමතුමේ සිටින මොහොතෙත් ඇය දකින්නේ අර කළු ජීප් රථය එතැනට පැමිණෙන අයුරු. එදා රූ ඇය පුංචි හෝටලයක නවාතැන් ගන්නවා.
පසුවදා උදේ නැගිටිද්දි ආයෙත් අර කළු ජීප් රථය එතැනට ඇවිත්. ඇය ඇගේ වාහනයේ ඉද්දි ඒ ජීප් රියේ අයිතිකරු ඇවිත් ඇයට කතා කරනවා. මේ විදිහට මෙම සිනමා රෑපකාරකය තුළ අපට ඒත්තු ගන්වනවා නොයෙක් තැන්වලදි මෙම කළු ජීප් රියේ අයිතිකරු ජෙසිකා පසුපස ලුහුබඳින බව.
එම ලුහුබැඳීමේ තීරණාත්මකම මොහොතක් වෙන්නේ එම අසාමාන්‍ය මිනිසා විසින් ජෙසිකා පැහැර ගැනීම. ඇය ඔහු සමඟ පොර බදින්නේ ගැලවීම වෙනුවෙන්. ඒත් ඇය ඇස් ඇර බලන විට ඇය ඉන්නේ යතුරුලෑ පුංචි කාමරයක. එම කාමරයට හිරු රුස් පතිත වන කුඩා කවුළුවක් තියෙනවා. ඇය කිසිවක් සිතාගත නොහැකිව අන්ද මන්ද වී ඒ කුඩා කවුළුවෙන් එළිය බලද්දි කළු ජීප් රියේ අයිතිකරු දකිනවා.
ඒ අසාමාන්‍ය ගුප්ත මිනිසා ජෙසිකා තමන්ගේ භාරයට අරන්! ඇය - ඇය වෙනුවෙන් සටන පටන් ගන්නේ එතැන ඉඳන්.. එක් දවසක් ඇය දකිනවා කාමරයේ යතුර ඔහුට අමතක වී ගොස් ඇති බව. ඇය එම යතුර රුගෙන පැන යන්න හදද්දි ඔහුට දුරකථන ඇමතුමක් එනවා. ඇය සැඟවී එම ඇමතුමට සවන් දෙනවා. ඒ කතා කරන්නේ ඔහුගේ බිරිය සහ දරුවන්. ඔහු පවසන්නේ තමන් ව්‍යාපාරික කටයුත්තක් සඳහා සංචාරයකට පැමිණ සිටින බව.
ඇය ඔහුගේ දෙබිඩි ජීවිතය ගැන යම් හෝඩුවාවක් එම ඇමතුමෙන් තේරුම් ගන්නවා. ඇය එතැනින් පැන යන්නේ මහා වනාන්තරයක් දිගේ. ජෙසිකා පැන ගොස් ඇති බව දැනගත් ඔහු ඇයව ලුහුබැඳ වනාන්තරයට යනවා. වනය දිගේ දුවද්දි ඇගේ යටි පතුලේ උල් කටුවක් ඇනී වේදනාවෙන් කෑගසද්දි ඔහු ඇය සිටින ඉසව්ව දැනගන්නවා. ඇය වේදනාව සහ බිය සියල්ල දරාගෙන වනයෙන් එපිට පාරක් අසාගෙන දුව යද්දි ඇයට තුවක්කුවක් අතේ තියාගත් දඩයක්කරුවෙක් මුණගැහෙනවා. බඩගින්නෙන් හාමත්ව සිටින ඇයට සැන්ඩ්විච් පෙත්තක් සහ වතුර බෝතලයක් පිරිනමන්න තරම් ඔහු කාරුණික වෙනවා. ඔහුගේ මෝටර් රථයේ නැගී ඇය ගැලවුම උදෙසා පැන යද්දි වනය මැද්දේ විශාල ගසක් කපා දමා තියෙනවා. ඇයට යා යුතු මඟ හරස්වෙලා. මේ මොහොතේ කළු ජීප් රිය පැමිණෙනවා. ඔහු දඩයක්කරුට කියනවා ඇය ඔහුගේ සොයුරිය බවත් ඇය තම සැමියා මියගිය ශෝකයෙන් කම්පිතව මෙසේ පැන යන බවත්. දඩයක්කරුට කිසිවක් තේරුම් ගත නොහැකිව වික්ෂිප්ත වෙද්දි ජෙසිකා කෑගසා කියනවා ඔහු මරා දමන්න... ඔහු තමන් පැහැරගත් බව. ඒත් ක්ෂණයකින් ක්‍රියාත්මක වෙන ඔහු ජෙසිකා වෙත කඩා පනිනවා. අවසානයෙදි දඩයක්කරුගෙන් තුවක්කුව උදුරා ගන්නවා. ඔහු දඩයක්කරු මරා දමනවා. මෙහිදී ඇය කළු ජීප් රියට නැගී එම වාහනය රුගෙන යන්න උත්සාහ කළත් එහි යතුරු නෑ රිය පණගන්වන්න. ඇය දකිනවා ඔහුගේ ජංගම දුරකථනය. ඒ මොහොතේ ඔහු ජීප් රියට ගොඩවෙනවා. ඇය ජංගම දුරකථනයද ගෙන පිටුපස සැඟවී රහසින් පොලීසියට ඇමතුමක් ගෙන තමන් පැහැරගෙන ඇති බව පොලීසියට දන්වනවා. තමන්ගේ ජංගම දුරකථනය නැති බව දැනගත් ඔහු එය සොයද්දි ඇය දකිනවා. ඇය හා ඔහු අතර ගැටුමක් ඇතිවෙද්දි යළි දුරකථනයට ඇමතුමක් එනවා. ඒ කතා කරන්නේ ඔහුගේ බිරිය. ඇය කියනවා ඔබේ සැමියා අසහනකාරී පැහැරගන්නෙක්. ඔහු ඔබ මුලා කර තියෙන්නේ කියලා. මේ මොහොතේ ඇය දකිනවා ඇය සිටින තැනට ඉහළින් පොලිස් හෙළිකොප්ටරයක් යන හැටි. අවසානයේ ඇය අතින් එම අසාමාන්‍ය මිනිසා, පැහැරගන්නා මිය යනවා. පොලීසිය පැමිණ ජෙසිකා මුදාගන්නවා.
ජීවිතය අබියස කම්පනයෙන් විරහිතව සටන් කරන මිනිස්සු අපිට මුණගැසෙනවා. ජීවිතය ප්‍රශ්න අභියෝග පසු කරගෙන ගිය දවසක ඒ සියල්ල අතීත මතක ලෙස සිහිපත් වෙන මොහොතක ඇත්තටම කෙනෙකුට ඒ සියල්ල සුන්දර මතක ලෙස දැනෙන්න පුළුවන්. ජීවිතය කියන්නෙම එක්තරා විදිහක සටනක්. ජීවිතය කියන හිස් කඩදාසියේ නියත මුද්‍රාවක් තබාගෙන තමයි අපි මේ ලෝකයට එන්නේ. ඒ මරණීය මුද්‍රාව. එහෙත් එතෙක් ඒ හිස් කඩදාසිය වචන, වාක්‍ය, අලංකෘත, සුන්දරතාවයන්ගෙන් පුරවන්න, ලියන කියවන කටුගාන හැර දමන සොයා යන වෑයමකට තමයි ජීවත්වීම කියන්නේ. හිස් කඩදාසිය හිස් කඩදාසිය ලෙස තබා නියත මුද්‍රාව සජීවීකරණය වන මොහොත තෙක් බලා හිඳීමට නෙවෙයි ජීවත්වීම කියන්නේ.
තනියෙන් යන විප්ලවීය ගමනකටයි ජීවිතය කියන්නේ!