2019 ජූලි මාසේ දවසක් වේදිකා නාට්‍ය එක සිදුවීමක්, නැත්නම් එක දවසක පැය ගණනක් ඇතුළත සිදුවන සිදුවීම් මාලාවක එකතුවක්. මෙවැනි වේදිකා නාට්‍යයක් නිර්මාණය කරන්න සිතුණු කාරණාව මොකක්ද?
මේක 2019 අප්‍රේල් 21 පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුව රට තුළ ඇතිවුණු තත්ත්වයත් එක්ක ලියවුණු කතාවක්. මේ බෝම්බ ප්‍රහාරය අපිව විශාල කම්පනයකට ලක් කළා. ඉන් පසුව ගතවුණු දවස් සහ මාස කිහිපය විසින් ඒ ඔස්සේ අපේ රටේ සිදුවුණු තත්ත්වයත් එක්ක මට මේ නාට්‍ය ලියන්න පෙළඹවීමක් ඇති කළා. මම මේ නාට්‍ය ලියන්න පටන් ගත්තේ මැයි මාසේ අගදි වගේ. මූලික කතාව ලියවුණාට පසුව නැවත නැවතත් ලියලා මේ කතාව සම්පූර්ණ කළා.
මෙය ජයනි සේනානායක, සම්පත් ජයවීර ඇතුළු චරිත අටක් වටා ගෙතුණු කතාවක්. මේ චරිතවලට නළු නිළියන්ව තෝරාගැනීම සිදුවුණේ කොහොමද?
නාට්‍ය යම් දුරක් ලියාගෙන යද්දි මුල් අවස්ථාවේදීම මගේ හිතට ඔය චරිතයට ජයනිව හිතෙන්න ගත්තා. තවත් දිගට කතාව ලියාගෙන යද්දි සම්පත් සහ තවත් චරිතයක් මගේ හිතේ අනෙක් චරිතයට හිතුණා. ඒ දෙන්නා අතරින් සම්පත් තමයි ඒ චරිතයට වඩාත්ම සාධාරණයක් කරන කෙනා කියලා මට හිතුණා. ඔවුන් මගේ ආරාධනාව ඉතා සතුටින් බාරගත්තා. ඔය විදිහට තමයි මේ නාට්‍යයේ ප්‍රධාන චරිත අට මගේ හිතේ ගොඩනැගුණේ. වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිත අටක් රංගනයේ යෙදෙනවා. ඒ ජයනි සේනානායක, නලින් ලුසේනා, අනුරාධ මල්ලවආරච්චි, සම්පත් ජයවීර, ප්‍රසාදිනී අතපත්තු, සුලෝචනා වීරසිංහ, ගිහාන් ද චිකේරා සහ අනුක් ප්‍රනාන්දුය. ඔවුන් ඉතා හොඳින් තමන්ගේ චරිතවලට සාධාරණයක් ලබා දෙනවා.
2019 වසරේදි රාජිතගේ හිතේ ඇඳුණු පිටපතක ලියැවුණු වේදිකා නාට්‍ය එළිදක්වන්න සෑහෙන කාලයක් ගතවුණා?
ඔව්.. අපි මේ නාට්‍ය වේදිකාගත කරන්න සූදානම් වුණේ 2021 අවුරුද්දෙ ජනවාරි මාසෙදි. නමුත් එය 2021 මැයි මාසය දක්වා කොවිඩ් තත්ත්වය හේතුවෙන් කල්ගත වුණා. මැයි මාසෙදි නැවතත් රංග ශාලා වසා දමා රටම %ලොක්ඩවුන්% තත්ත්වයකට පත්වුණු නිසා නැවතත් වේදිකාගත කිරීම කල් ගියා. ඊට පස්සෙ තමයි 2022 අවුරුද්දෙ ජනවාරි මාසෙදි %2019 ජූලි මාසේ දවසක්^ වේදිකා නාට්‍ය මංගල දර්ශනය වේදිකාගත කළේ. අපි සැලසුම් කරන්න හිතාගෙන හිටපු දිනට හරියට අවුරුද්දකට පස්සෙ තමයි මංගල දර්ශනය වේදිකාගත කළේ. නාට්‍ය එක්ක අපි ගත කරපු මුළු කාලය අවුරුද්දකුත් මාස පහක් විතර වුණා. ඒ කාලය අතරවාරයේදි විශාල වෙනස්වීම් සහ තත්ත්වයන් බොහොමයකට අපිට මුහුණ දෙන්න සිදු වුණා. නාට්‍ය කණ්ඩායමක් විදිහට මුණනොගැසී මාස දාහතක් වගේ කාලයක් ගත කරන්න සිදුවීම පහසු කටයුත්තක් නෙමෙයි. නිම කළාට පසුව එම නාට්‍ය එක්ක ගත කිරීමට වඩා නාට්‍යයක් නිම නොවීමට එතරම් කාලයක් ගතවීම වෙනස් අත්දැකීමක්. කොවිඩ් තත්ත්වය නිසා මංගල දර්ශනයට සති දෙකකට පමණ පෙර කණ්ඩායමට රංගනයෙන් දායක වුණු කිහිප දෙනෙක්ම අපිට අලුතින් එකතු කර ගන්න සිදු වුණා. අවසන් මොහොතේදිත් නිෂ්පාදන කණ්ඩායමේ කෙනකුට ඇතිවුණු කොවිඩ් තත්ත්වය නිසා තව කෙනෙක් කණ්ඩායමට එකතු කර ගන්න සිදු වුණා. එවැනි තත්ත්වයන් බොහොමයකට මුහුණ දෙන්න සිදුවුණත් කණ්ඩායමක් විදිහට හැමෝම දැක්වූ සහයෝගය හා කැපවීම නිසා අපි අපේක්ෂා කළ රංගනය හොඳින් නිම කරන්න අපිට හැකියාව ලැබුණා. මේ වෙද්දි ඉතා හොඳ ප්‍රතිචාර නාට්‍ය රසිකයන්ගෙන් %2019 ජූලි මාසේ දවසක්^ වේදිකා නාට්‍යයට ලැබෙමින් තියෙනවා.
පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය වැනි තත්ත්වයන් නිසා වේදිකා නාට්‍යයක් නරඹන්න පැමිණි ප්‍රේක්ෂක පිරිසේ යම් අඩුවක් තිබුණා. අද යම් සැනසිලිදායක වටපිටාවක් තියෙන කාලයක ප්‍රේක්ෂකාගාරයට පැමිණෙන ප්‍රේක්ෂකයන් ගැන නාට්‍යවේදියෙක් විදිහට රාජිතට මොකද හිතෙන්නෙ?
මේ තත්ත්වය නාට්‍ය කලාවට වගේම මිනිසුන්ගේ සංස්කෘතික ජීවිතවලටත් බරපතළ ලෙස පැමිණීම ආරම්භ වුණේ කොවිඩ්වලටත් පෙරයි. 2018 ඔක්තෝබර් 26 වැනිදා මගේ ආදර වස්තු වේදිකා නාට්‍ය ගාල්ලේ රංගගත කර නිමවුණු මොහොතේ වේදිකාව උඩ සිටියදිම එවකට ආණ්ඩුවේ හිටපු අග්‍රාමාත්‍යවරයාව ජනාධිපති විසින් ඉවත් කර වෙන කෙනෙක්ව අගමැති ලෙස පත්කර ඇති බව අපිට ආරංචි වුණා. ඊට පස්සේ රට තුළ ඇතිවුණු උද්ඝෝෂණ වැනි තත්ත්වයන් හේතුවෙන් නාට්‍ය රංගගත කිරීම නතර වුණා. ජනවාරි, පෙබරවාරි මාසේ යම් සැලසිල්ලක් ලැබෙනවාත් සමඟ අප්‍රේල් පාස්කු ප්‍රහාරය ඇතිවුණා. ඊට මාස කිහිපයකට පසුව ජනාධිපති මැතිවරණ ප්‍රචාරයක් රට තුළ ඇතිවුණා. ඕනෑම මැතිවරණයකදි නාට්‍ය ප්‍රචාරය යම් ලෙසකින් අඩපණ වුණා. ජනාධිපතිවරණයට මාස කිහිපයකට පසුව කොවිඩ් තත්ත්වය ඇතිවුණා. ඒ වගේම 2018 වසරේ සිට කඩින් කඩ ඇතිවුණු තත්ත්වයන් එක්ක නාට්‍යකරුවෝ නාට්‍ය කලාව පණ ගන්වන්න උත්සාහ කරද්දිම ඒ හැමදේම අඩාල වුණා. පෙර පැවති තත්ත්වයට තවමත් අපිට ළඟාවෙන්න බැරි වුණා. කොවිඩ් තත්ත්වය වගේම රටේ ආර්ථිකයට ඇතිවෙලා තියෙන තත්ත්වය, විදුලි බලය ඇණහිටීම, ඉන්ධන ප්‍රශ්න, පෝස්ටර්, ප්‍රවේශ පත්‍ර මුද්‍රණය කරන්න කඩදාසිවල හිඟතාවයත් එක්ක මෙතෙක් නාට්‍යවලට තිබුණු ප්‍රශ්න එහෙමම තියෙන ගමන් තව ප්‍රශ්න ගොඩකුත් මේ වෙද්දි ඇතිවෙලා තියෙනවා. මේ නිසා පොදුවේ මිනිසුන්ගේ සංස්කෘතික ජීවිතවලට විශාල අයහපතක් සිදුවෙලා තියෙනවා. ඒක හරිම කනගාටුදායක තත්ත්වයක්. ඒ සියලු තත්ත්වයන් හමුවේ කණ්ඩායමක් විදිහට රංගන කලාව අත්නොහැර රැකගන්න අපි උත්සාහ ගන්නවා.
රාජිත දිසානායක මේ වෙද්දි නාට්‍ය කොපමණ නිර්මාණය කරලා තියෙනවද?
ලයනල් වෙන්ට් රඟහලේ රංගගත කරපු ප්‍රධාන ධාරාවේ දොළොස්වැනි නාට්‍යයයි මේ. ඊට පෙරත්, පාසල් යන කාලෙදිත්, විශ්වවිද්‍යාල තුළත් නාට්‍ය කරලා තියෙනවා. නමුත් මේ ප්‍රසිද්ධ වේදිකාවේ රඟදැක්වූ දොළොස්වැනි නාට්‍යයයි.
නාට්‍යවේදියෙක් වෙන්න හිතුණේ කොයි කාලෙදිද?
සාමාන්‍ය පෙළ හදාරලා ඉද්දි මම බොහෝ නාට්‍ය බලන්න පටන් ගත්තා. මම කුඩා කාලෙදි මගේ තාත්තා නාට්‍ය බලන්න එක්කගෙන ගිහින් තියෙනවා. නාට්‍යයක් බලද්දි තිරයක චිත්‍රපටයක් බලනවාට වඩා විශාල ආකර්ෂණයක් මට ඇතිවෙන්න පටන් ගත්තා. සජීවීව මිනිසුන් රංගනය ඉදිරිපත් කරද්දි හරිම වින්දනීය චමත්කාරයක් මට දැනෙන්න ගත්තා. නාට්‍යයක් බලද්දි විශේෂ හැඟීමක් තිබුණා. නාට්‍යයක් කරද්දි ඒ වගේ අසිරිමත්, චමත්කාරයක්, හැඟීමක් විඳින්න පුළුවන් නේද කියලා මට හිතෙන්න ගත්තා. මම ඉගෙන ගත්තේ හලාවත ශාන්ත මරියා විදුහලේ. අපි යාළුවෝ එකතුවෙලා මුලින්ම පාසල් වේදිකාවේ නාට්‍ය නිර්මාණය කළා.
2019 ජූලි මාසේ දවසක් ගාල්ලට ඇවිත් තියෙනවා?
ඔව්.. මාර්තු මාසේ හය වැනිදා ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදි %2019 ජූලි මාසේ දවසක්^ සවස 3.30 සහ 6.30 වේදිකාගත වෙනවා. මේ පවතින තත්ත්වයත් එක්ක ඔබට ලැබෙන පළමු අවස්ථාවේදිම ඔබ කැමති වේදිකා නාට්‍ය නරඹන්න. මුල් කාලෙ වගේ දර්ශන වාර බොහෝ සුලභ වෙන්න තියෙන අවස්ථා අඩුයි. ඒ නිසා ලැබෙන අවස්ථාව අත්නොහැර එය නරඹන්න යැයි අපි ඉල්ලා සිටිනවා.
දිශානි ජයමාලි
සේයාරුව - සුමුදු හේවාපතිරණ