කාලෙකින් වැස්ස නෑ. ඒ නිසාම යන එන මඟතොටේ හම්බ වෙන හැමෝම වැස්ස නම් හොඳයි නේද? කියලා අහනවා. අද උදේ ගෙදරින් පිටත් වෙද්දී අහසේ කළු වලාකුළු කිහිපයක්ම තිබ්බා. ඒ නිසාම බස් නැවතුමේදී හම්බ වුණ අසල්වැසි සහෝදරයෙක් කාලගුණය ගැන කතා කරා. අව්ව වැස්ස ගැන මාතෘකාව කතාවට නිමිත්ත ආවෙ එතැනින්. කාලගුණ කතා අවසානයේ තමා මම බස් එකට නැග්ගේ.
වැස්ස ගැන සුන්දර මතක ගැන මීට සති කිහිපයකට කලින් අකුරු කරපු නිසා අව්ව ගැන කතාවක් අකුරු කොළොත් හොඳයි කියලා අදහස ඔළුවට ආවේ බස් එකේදී. ඒත් උදේ බස් එකේදී ජංගම අකුරු කිරිල්ලට හරි හමන් අවස්ථාවක් උදා වුණේ නෑ. හිතේ වගේම බස් එකෙත් පොඩි කලබලයක් තිබ්බා.
කොහොම හරි කොළඹ ආපු මම රාජකාරි ඉවරවෙලා ගිනි ගහන මද්දහනේ වේලාසනම ගෙදර එන්න පිටත් වුණාම ආයෙත් ඒ අදහස මනසේ හොල්මන් කරගන්න ගත්තා. මොහොතකට කලින් බම්බලපිටියේ කාස්ටක අව්ව එක්ක නළලේ රැඳුණු දහදිය පිහිදාන කොට තමා මේ දසුන නෙත් මායිමේ ඇදුනේ. හිත එතන නතර වුණ නිසා පදික වේදිකාවේ කොණකට වෙලා මම ජංගමයා අතට ගත්තේ අකුරු කරන්න හිතාගෙන. මඟ තොටේ ජංගම අකුරු කිරීම මට දැන් හොඳට පත්තියම් වෙලා.
මගේ ඉස්සරහ ඉන්නවා සපත්තු මහන මනුස්සයෙක්. පරණ කැඩිච්ච සපත්තු ගොඩක් ඉස්සරහා දාගෙන පදික වේදිකාවේ ඇණ තියාගෙන ඉන්න මේ මනුස්සාගේ මුළු ඇඟම දහදියෙන් තෙත්වෙලා. වයස අවුරුදු පනහකට වැඩි මිසක් අඩු නෑ. බොත්තන් කිහිපයක් ඇරලා දාපූ කමිසේ තැන් කිහිපයක්ම දහදිය පැල්ලම් කැපිලා පේනවා. සරමත් කිලිටියි. ඇත්තටම මේ ජීවිතවලට අපිට වඩා මේ අව්ව රිද්දනවා නේද?
මොහොත කලින් බී.එම්.අයි.සී.එච්. එකේ සීත ශාලාවකින් එළියට බැහැපු මට මේ අව්ව දරාගන්න මෙච්චර අමාරුනම්. ම්ම්... ම්ම්ම්... හිත වේගයෙන් එක එක සිතුවිලි අතර මාරු වෙනවා. අව්ව ගැන, මිනිස්සු ගැන සිතුවිලි ගලාගෙන එනවා. ඔක්කොම ලියන්න මෙතැන ඉඳගෙන බෑ. ම්ම්ම්... කමක් නෑ... චුට්ටක් වෙලා ඉන්නවා.
ගාලුපාරේ මේ මද්දහනේ වාහන සෑහෙන්න අඩුයි වගේ. එහෙන් මෙහෙන් එම්.සී. එකට යුනිටියට යන මිනිස්සු නම් ඒ මේ අත මාරු වෙනවා. මම වෙලාව බැලුවා එකහමාරයි. ආයෙත් හිතෙනවා... ම්ම්ම්... ගෙදර යන්නත් ඕනෑ. ඒත් මේ මනුස්සයා දිහා ටික බලන් ඉන්නමයි සිත කියන්නේ. කතාවක් තියෙනවා මෙතැන. අන්න ඒ මනුස්සයා වතුර බෝතලයක් අතට ගත්තා. ඒක සෑහෙන්න පාවිච්චි කරපු වතුර බෝතලයක්. තැන තැන එඹිලා තියෙන්නේ. උගුරු දෙකයි. ඔන්න සෙරෙප්පුවක් අතට අරගෙන කතුරකින් නූල් වගයක් කපනවා. තව එකක ගම් ගෑවා. එයා පාඩුවේ වැඩ. හිටපු ගමන් දහදිය පිහිදානවා. හොරුහින් ඔහු දිහා බල බල මෙතැනට වෙලා ඉඳලා නොදැනීම දැන් මිනිත්තු පහළොවක් විතර ගතවෙලා. මාවත් අව්වට රත්වෙලා.
මටත් තිබහයි. මොනවද බොන්නේ. හරිහමන් කඩයක් නෑනේ මේ හරියේ. ආ මතක් වුණා. යුනිටියේ පල්ලෙ තියෙනවා පී.එන්.එස්. එකක්. මම මේ මනුස්සයා පහු කරගෙන පහළට බැස්සා. ගෙදර යන්නත් ඕනෑ. සීතල බීම එකකින් විතරක් යන්තමට සැනසුණා. ඒත් හිත නම් අර මනුස්සයා ගාව. තව බීම එකක් අරගෙන තමා මම එළියට බැස්සේ. ඇත්තටම පිනක් කරගන්න නෙවෙයි අදහස් කළේ. අව්ව ගැන ලස්සන කතාවක් ලියන්න හිතාගෙන මම කරපු වැඩේ ගැන මට දැණුන වරදකාරී හැඟීම නැති කරගන්න.
මීට මොහොතකට කලින් මම ඔහුට ඒක දුන්නා. හිනාවකින් ස්තූතියක් හැර අපි අතර වෙන වචන හුවමාරුවක් නම් සිද්ධ වුණේ නෑ. ඊටපස්සේ මම හෙමිහිට පාර පැනලා ගාල්ල පැත්තට යන්න ඩුප්බ්ලිකේෂන් පාරට ආවා. ඇත්තටම ඔළුව පැලෙන්න වගේ රිදෙනවා. මේක නම් පුදුම අව්වක්. මම දැන් බස් නැවතුමේ. මේ මහ පාරේ ජීවිත කීයක් නම් අව්ව වැස්ස එක්ක ඔට්ටු වෙනවාද? කවියෝ කවි ලියන ප්‍රේමවන්තයෝ ප්‍රේමකරන ''වැස්ස'' ඇත්තටම අව්වට වඩා මේ අයට භයානකයි. ජීවිත ගැට ගහගන්න මේ අය කීයක් හරි හොයා ගන්නේ මේ ගිනි අව්වට පිං සිද්ධ වෙන්න.
ආ... බස් එකක් ආවා. මම දැන් බස් එකේ ජනේලේ ළඟ. ඇත්තටම මේ වෙලාවට බස්වල සෙනඟ නම් නෑ. අව්ව ගැන තාම අමතක කරන්න බැරි තරම් බස් එකත් රස්නෙයි. මම ජනේලේ ඇරගත්තා උපරිම. සීත නැතත් මේ හුළං පාර පුදුමාකාර සැනසීමක් අරගෙන එන්නේ. පෑවිල්ල ගැන උදේ බස් නැවතුමේ අහපු කතාව මට මතක් වුණා. ''අද වහී නේද මල්ලි පොඩ්ඩක් කළු කරලා තියෙන්නේ'' මගෙන් අහපු ඒ ප්‍රශ්නයට මම දුන්නේ මෙහෙම උත්තරයක් ''ඔව් වහිනවා නම් හොඳයි. මේ දවස්වල මාර රස්සනයක් තියෙන්නේ අයියේ.''
ඔය කතාව අතර තව අපූරු දෙයක් අපි කතා වුණා. ''වහිනවා නම් හොඳයි. ඒත් උදේ වැඩට යන වෙලාවටයි. හවස වැඩඇරිලා එන වෙලාවටයි වහින්නේ නැතුව'' ඔය මතේට උදේ අපි දෙන්නම එකඟ වුණා. උදේ බස් එකක් එනකල් අව්වට වගේම අපිළිවෙළ වැස්සටත් අපි දෙන්නා දොස් කිව්වා. ම්ම්ම්.... ඇත්තටම උදේ සංවාදය ගැන මට දැන් තියෙන්නේ වෙනම අදහසක්. ඒක ස්වයං විවේචනයක් වගේ. දැන් ඔය ''වැස්ස අව්ව'' අපිට ජීවිතේට කියලා දෙන පාඩම ගැන අදහසක් තියෙනවා. ඒ අදහස කියලාම මේ කතාව ඉවර කරන්න ඕනෑ.
සොබාදහමේ කිසිම දෙයක් අපිට ඕනෑ විදිහට පාලනය කරන්න අපිට බෑ. ''අව්ව වැස්ස'' ඇති ඒ සරල ඇත්ත අපිට තේරුම් ගන්න. ඒ වගේම අපි හොඳයි කියලා හිතන දෙයක් හැමෝට ඒක වගේ හොඳ වෙන්නේ නෑ ''අව්ව වැස්ස'' ඇති ඒ සරල ඇත්ත අපිට තේරුම් ගන්න. අපේ ජීවිතයේ ගොඩක් දේවල් එහෙමයි. මොකද අපිත් සොබාදහමේ කොටසක්. ඒත් අපි හිතන් ඉන්නේ සොබාදහම අපේ කොටසක් කියලා. ඒ වගේම අව්ව වැස්සත් අපිට ඕනෑ විදිහට තියෙන්නේ ඕනෑ කියාලා. කවමදාවත් එහෙම වෙන්නේ නෑ. ඉතින් මම තීරණය ගත්තා ආයේ අව්වට වැස්සට ගරහන්නේ නැතුව ඔරොත්තු දෙන්න. ඒක ලේසි වෙන එකක් නෑ. ඒත් අර සපත්තු මහන්නාට ස්තූතිවන්ත වෙන්න මම උත්සාහ කරලා බලනවා.
බස් එක වේගෙන් යනවා ඒ වේගෙට සැර හුළඟක් ජනෙල් කවුළුවෙන් එනවා. ඒක සතුටක්ම නොවුණත් සහනයක්. ඉතින් ඒ සුවය විඳගෙන මම හිමීට ගෙදර යනවා. අදට ඇති.
I නිසල්