අක්කා නැතිව මට ඉන්න බෑ
මම තවම ඉස්කෝලේ යනවා. වයස 18යි. ලබන අවුරුද්දේ මම උසස්පෙළ විභාගයට මුහුණ දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. මගේ අක්කා ගිය අවුරුද්දේ මැයි මාසෙදි කසාද බැන්දා. අපේ ගෙදර හිටියේ අම්මයි තාත්තයි අක්කයි මමයි විතරයි. අක්කයි මමයි අතරේ වයස අවුරුදු 10ක විතර පරතරයක් තිබුණත් එයයි මමයි හිටියේ ගොඩක්ම ළඟින්. එයා කසාද බැඳලා යන දවසේ මම පුළුවන් තරම් ඇඬුවා. අක්කා නැති පාළුව මට ගොඩක් දැනෙනවා. අම්මා තාත්තාටත් මට වගේම දුකක් දැනෙනවා ඇති කියලා මම හිතනවා. මොකද ඒ දෙන්නාම අක්කා ගියාට පස්සේ අසනීප වුණා. සමහර වෙලාවට මට දරාගන්න බැරි තරම් දුකයි. දැන් කිසිම වැඩක් කරන්නවත් හිතෙන්නේ නැහැ. මම දැන් තනිවෙලා කියලා හිතෙනවා. කවුරුවත් මට නැහැ කියලා හිතෙනවා. මාත් එක්ක කතා කරන්නවත් දැන් කවුරුවත් නැහැ. මගේ යාළුවො හම්බවෙන්නවත් මම දැන් යන්නෙ නැහැ. සමහර දවස්වලට පන්ති අතපසු කරලා ගෙදරටම වෙලාත් ඉන්න වෙලාවල් තියෙනවා. අක්කත් බැඳලා ගිය මුල් දවස්වල හැමදාම මට කතා කළා. වීඩියෝ ඇමතුම් ගත්තා. ඒත් දැන් එහෙම නැහැ. සතියකට සැරයක් වගේ තමයි එයා කතා කරන්නෙත්. සමහර දවස්වලට එයාව මතක්වෙලා රෑ එළිවෙනකල් මම අඬලා තියෙනවා. ආයෙ අක්කා ගෙදර ඇවිත් ඉන්නෙ නැහැ කියලා මම දන්නවා. ඒත් මට හිත හදාගන්න අමාරුයි. මේ ගැන හිතලමද මන්දා ළඟකදි ඉඳලා මට ලොකු ඔළුවෙ කැක්කුමක් තියෙනවා. ඒ ගැන මම කාටවත් කියලා නැහැ. මට හිත හදාගන්න උපදෙසක් දෙන්න.
කෞෂාන් - කුරුණෑගල
පිළිතුර
ඔබ යොමුකර ඇති ප්‍රශ්නය අනුව මෙයින් පෙනෙන්නේ ඔබේ සහෝදරියගෙන් වෙන්වීමේ වේදනාව (separation anxiety) දරාගැනීමට නොහැකිවීමෙන් ඔබ අසීරුවට පත්වී සිටින බවයි. සහෝදරිය සහ ඔබ අතර වයස් පරතරය 10ක් වන බවත් ඔබ පවසා තිබෙනවා. මෙහිදී ඔබ සහ අක්කා දෙදෙනා සිටින්නේ සංවර්ධන අවධින් දෙකකයි. එහෙයින් ඔබේ සහෝදරිය ඇයගේ සංවර්ධන අවධියට අනුව නිසි වයසේදී විවාහ වීම අවශ්‍යයි. යම් දිනෙක අනාගතයේදී ඔබටත් එම අවධියට මුහුණදීමට සිදුවෙයි. එහෙයින් අපට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් යථාර්ථයට මුහුණදීමට හුරුවීමට සිදුවෙනවා. එහෙයින් ඔබට ඔබේ මනස සකසා ගැනීම සඳහා මනෝ සංවර්ධන අවධීන් පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සඳහා විධිමත් මනෝ උපදේශන සහායක් ලබාගැනීම සුදුසුයි. ඔබට වෙනත් මිතුරු කණ්ඩායම් ඇසුරු කිරීමෙන් ඔබේ තනිකම ක්‍රමානුකූලව දුරුකර ගැනීමට හැකිවේවි.
ඔබට හිසේ කැක්කුමක් ඇති බව ප්‍රශ්නයේ සඳහන් කර තිබෙනවා. හිසේ කැක්කුම ජීවවිද්‍යාත්මක හේතුවක් මත ඇතිවූවක්ද මනෝවිද්‍යාත්මක හේතුවක් මත ඇතිවූවක්ද යන්න නිශ්චය කර ගැනීම සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට සිදුවෙයි.
බොහෝ වේලාවට සමීප සම්බන්ධතාවක් තිබූ පවුලේ සාමාජිකයන් දෙදෙනකු සිටින විට ඉන් එක් අයකුගේ වෙන්වීමකදී එය දරාගැනීමට නොහැකි වේදනාවක් දැනෙයි. මෙහිදී සහෝදරියටත් දීමට උපදෙසක් තිබෙනවා. එනම් විවාහ වී ගිය සහෝදරියට අලුත් සමාජයක් හමුවුවාට මල්ලීට හිටපු සමාජයේම ජීවත්වීමට වීමෙන් තනිකම ඔහුට වඩාත් දැනෙයි. නිවුන් දරුවන් අනාගත හැඩගැසීම්වලදීත් මෙවැනි ප්‍රශ්න මතුවෙනවා. එහෙයින් ඔබ අලුත් සමාජයට ගියත් සහෝදරයා සමග තිබූ ගනුදෙනුව සහසම්බන්ධය එකවර වෙනසකට ලක් නොකර ක්‍රමානුකූල හැඩගැසීමකට වටපිටාව සැකසීම යෝග්‍යයැයි මා නිර්දේශ කරනවා.
අක්කා මල්ලිගේ ඇඳුම් අඳිනවා
මගේ දුවට දැන් අවුරුදු 10යි. එයාට මල්ලි කෙනෙක් ඉන්නවා. පුතාට අවුරුදු 8යි. දුව තවම වැඩිවියට පත්වෙලා නැහැ. ඒත් මට තියෙන ප්‍රශ්නය දුව දැනට මාස කිහිපයකට කලින් ඉඳලා වෙනස්කමක් දක්වනවා. එයා මල්ලිගේ යටඇඳුම් අඳිනවා. දුව හැසිරෙන්නේ පිරිමි ළමයෙක් වගේ. අක්කයි මල්ලියි දෙන්නා වෙන වෙනම කාමරවල ඉන්නේ. දෙන්නගෙ ඇඳුම් තියෙන්නෙත් වෙන වෙනමයි. ඒත් දුව මල්ලිගෙ කාමරේට ගිහින් එයාගේ යටඇඳුම් අරගෙන සමහර දවසට ඇඳන් ඉන්නවා. එයා ගොඩක් වෙලාවට අඳින්නෙත් කලිසම්, ටීෂර්ට් විතරයි. ගවුම් අන්දවන්නත් ඕනෑ බලෙන්. දරුවා ගැන මට බයයි. එයාට ගොඩක් ඉන්නෙත් පිරිමි යහළුවො. එයා මල්ලිටත් හරි ආදරෙයි. දරුවාගේ මේ වෙනස්කම තියෙන්නේ මේ මෑතකදී ඉඳලයි. පොඩි කාලේ එහෙම නැහැ. ගවුම් එහෙම කැමැත්තෙන්ම කලින් ඇන්දා. මේකට හේතුව මොකක්ද කියලා මට හිතාගන්න බැහැ. දරුවා ගැන හිතලාම මම ගොඩාක් මානසිකව වැටිලා ඉන්නේ. මට මේක මානසිකව ලොකු වදයක් දැන්. කරුණාකර මට විසඳුමක් දෙන්න.
හසින්තා - හෝමාගම
පිළිතුර
පිරිමියාට ප්‍රමුඛස්ථානය දීම ලංකාව ඇතුළු ආසියානු කලාපයේ බොහෝ රටවල්වල දකින්න ලැබෙන සුලබ දෙයක්. කුඩා දරුවන්ට ඔවුන්ගේ වයස්වලදී ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ හරි අවබෝධයක් නෑ. යොමුකර ඇති ප්‍රශ්නය පිළිබඳ කතා කිරීමේදී ගෙදර මවුපියන් දරුවාට වැඩි සැලකිල්ලක් දක්වන්නේ නම් ඒ වැඩි සැලකිල්ල බලාපොරොත්තුවෙන් දැරිය සිය මල්ලීගේ ඇඳුම් අඳිනවා යැයි සිතන්නට පුළුවන්. ඔවුන් සිතන්නේ අනුකරණය කිරීමෙන් වැඩි සැලකිල්ලක් ලබන්න පුළුවන් කියලා. නිවෙසේ දරුවන් සියලුදෙනාට කිසිදු භේදයකින් තොරව සමානාත්මතාවෙන් සැලකීම සියලු මවුපියවරුන්ගේ වගකීමක්. පුංචි දරුවන් හරිම සංවේදීයි. පුංචි දරුවන්ගේ මනස වෙනස් වීමට සුළු වෙනසකම වුවත් ප්‍රමාණවත්. කුඩා දරුවකු නිසා මේ ප්‍රශ්නයට විසඳුමක් සොයාගත හැකි වන්නේ දරුවාට ආදරයෙන් කතා කිරීමෙන්. කුඩා දරුවන් විසින් තමන්ට මිතුරන් තෝරාගනු ලබන්නේ ස්ත්‍රී පුරුෂ භාවය ගැන වැඩි සැලකිල්ලක් දක්වා නොවේ. මෙම දැරිය වැඩිවියට පත් වී නැති බව සඳහන් කර තිබෙනවා. සෑම දැරියකම අවුරුදු දහයේදී වැඩිවියට පත්වීමේ සම්භාවිතාව විරලයි. මෙවැනි දේවල් මවුපියන් ප්‍රශ්නයක් කර නොගැනීම උචිතයි. යොමුකර ඇති ප්‍රශ්නය අනුව මේ සම්බන්ධයෙන් මනෝ උපදේශනයකට සම්බන්ධ වී දැරිය සමග සුහදව කතා කර දරුවාට සංවේදී වී දරුවාගේ ප්‍රවේශයකින් මේ සඳහා වැඩිදුර නිසි උපදෙස් පිළිපැදීම සුදුසුයි.
දරුවන් දීග යවා මම දැන් පැත්තක
මම විශ්‍රාමික රජයේ සේවකයෙක්. මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. දෙන්නාම මේ වෙද්දී බැඳලා. දැනට අවුරුදු 3කට කලින් මගේ බිරිඳ පිළිකා රෝගයකින් මියගියා. එදා ඉඳන් මේ දරුවො දෙන්නාගෙ කටයුතු අහවර වෙනකල් මම මට පුළුවන් උපරිමය කළා. ඒත් මට දැන් දැනෙනවා මම තනිවෙලා කියලා. දරුවො දකින්නෙත් කලාතුරකින්. දරුවො දෙන්නාම එයාලාගෙ ජීවිත සතුටෙන් සමගියෙන් ගෙවනවා. ඒක මට ලොකු සැනසීමක්. මම තනිවුණත් දරුවො දෙන්නාගෙ පවුල් දිහා බලලා අවංකවම ගොඩාක් සතුටු වෙනවා. දුකේදීත් සැපේදීත් හැමදාම ළඟින් හිටපු බිරිඳ මේ ලෝකෙ හැර ගියාම ඒ පාළුව මකන්න තාම කාටවත් බැරිවෙලා තියෙනවා. මම තාමත් මගේ බිරිඳ ගැන හිත හිත දුක්වෙනවා. මට ඒක හීනයක් තාම. දැන් ටික දවසක ඉඳන් මට කන්න බොන්න පිරියක් නෑ. එක වෙලාවකට ඔළුව පැලෙන්න තරම් කැක්කුමක්. මොන එකක්ද කියල වෙලාවකට හිතාගන්න බෑ. මම ගොඩාක් වෙලාවට මමම කල්පනා කරනවා මට මොකද වෙලා තියෙන්නේ කියලා. මට උපදෙසක් දෙන්න.
කමල්සිරි - බලපිටිය
පිළිතුර
මෙහිදී ඔබට හිසේ කැක්කුමක් ඇති බව ප්‍රශ්නයේ සඳහන් කර තිබෙනවා. ප්‍රථමයෙන් කිවයුතු වන්නේ ඇතිවී තිබෙනවා කියන හිසේ කැක්කුම ජීවවිද්‍යාත්මක හේතුවක් මත ඇතිවූවක්ද මනෝවිද්‍යාත්මක හේතුවක් මත ඇතිවූවක්ද යන්න නිශ්චය කරගැනීම සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට සිදුවෙයි. ඔබ දෙදරු පියෙක්. බිරිඳ මියයාමෙන් පසු ඔබ ඔබේ දරුවන් දෙදෙනාගේ අනාගතය යහපත් අයුරින් සැකසීම සඳහා සෙවණැල්ලක් වීම සම්බන්ධයෙන් අගය කරනවා. ඔබ පියකු හැටියට යුතුකම් ඉටුකර ඇති පියෙක්. නිවසේ සැඳෑ සමය ගත කරද්දී ඒ ගැන සිතා සතුටු වන්න. නිවසටම වී සිටීමෙන් ඔබට ඇතිවන පාළුව තනිකම මකාගැනීමට ඔබ අදහන ආගම අනුව ඔබට ආගමානුකූල පිළිවෙත්වලට යොමුවීමට පුළුවන්. ඒ වගේම ඔබ හා සමපාත හොඳ මිතුරු කණ්ඩායම් සමඟ ගනුදෙනු කරන්න පුළුවන්. සංගීත කලාව, සාහිත්‍ය කලාව, චිත්‍ර කලාව, ලේඛන කලාව ආදී විනෝදාංශ එදිනෙදා සිදුකිරීමෙන් ඔබට ඔබේ දවස ගතවන කාලය අපතේ නොහැර ඵලදායී දෙයකට යොදාගන්න පුළුවන්. එවිට කාලයත් සමඟ ඔබේ හිතේ ඇති ගැටලුවට හොඳ විසඳුමක් ලැබෙයි.
(මෙහි එන පෞද්ගලික අත්දැකීම්වල නම් ගම් මනඃකල්පිත බව සලකන්න)
ලබන සතියේ ඔබේ ප්‍රශ්නයෙන් හමුවෙමු.
ආදරය , විවාහය , ජීවිතය ගැන තරුණ ඔබ විඳවන ප්‍රශ්නය ඔබ කැමැති නමකින් කෙටියෙන් අපට කියන්න. ඔබේ නම, රුකියාව කුමක් වුවත් හිතේ විඳවන ප්‍රශ්නයට හොඳම උත්තරය හදසරෙන්.
ෆේස්බුක් ෆෑන් පේජ් මැසේජ්
ජීවිතේ රිදෙන තැන් (Jeewithe ridena then)
ෆේස්බුක් නැත්නම් මෙහෙම ලියන්න.
Email - Jeewitheridenathen@gmail.com
සංස්කාරක,
“ජීවිතේ රිදෙන තැන්”
හදසර අතිරේකය, දේශය පුවත්පත
නො 08, හුණුපිටිය හරස් පාර, කොළඹ 02.
I සසංක චලන ගිම්හාන