2022 මාර්තු 13 වන ඉරිදා

වැටහෙද්දී.. මඟහැරෙන මා සහ මම

 2022 මාර්තු 13 වන ඉරිදා, පෙ.ව. 10:00 63

ආදරය දැනෙන තැන කොතැනද කියලා දන්නෙ නැතිවුණත් ආදරය දැනෙන තැන ජීවිතය වග මම දන්නවා. හමුවීම් කියන්නෙ අහම්බයක් වුණාට ඒ අහම්බය පිටුපස සංසාර කතාවක් තියෙන වගත් හැඟෙනවා. ජීවිතයේ අවශ්‍යතාවයන් අපට සල්ලිවලට මිලදී ගන්න පුළුවන්. ඒත් හදවතේ අවශ්‍යතාවයන් අපට සල්ලිවලට මිලදී ගන්න බෑ. ඇත්තටම ආදරය කියන්නේ මොකද්ද කියලා දැනෙන තැන්වලදි ජීවිතයේ හිස් පිටු ආදරේ කතන්දරවලින් පුරවන්න පටන් ගත්ත දවස්වලදි මේ ඇත්ත ඔයාටත් වැටහෙයි.

වනමගන් කියන්නේ ඒ සත්තාවේ සොඳුරු දිගහැරුමක් කියලයි මට හිතෙන්නේ. වනමගන් කියන්නේ දමිළ චිත්‍රපටයක්. ඇයට ඔහු හමුවන්නේ යහළුවන් සමඟ විනෝද චාරිකාවක් ගිය අවස්ථාවකදි මහා වනාන්තරයක් මැද්දෙදි. ඒ වෙඩි උණ්ඩයක් වැදී වැටී සිටියදි. ඇය ඔහු රෝහලකට රැගෙන යනවා. රෝහලේ සිට යන එන මං නැති ඔහු ඉන්පසු ඇය තම නිවසට කැටුව යනවා. ඒත් ඔහු හැසිරෙන්නේ සාමාන්‍ය මනුෂ්‍යයෙක් හැසිරෙන විදිහට නෙවෙයි. ඔහුට තියෙන්නේ පුදුමාකාර ශක්තියක්. ඒ වගේම නිවසක වගේම සංස්කෘතියත් සමඟ සැකෙවින්ම ශිෂ්ටාචාරගත වූ ප්‍රකෘතියේ විකරණ අවකාශ තුළ සැරිසරන මිනිසුන් සමඟ ජීවත්වීමට ඔහුට කිසිම හුරුවක් පුරුද්දක් නැති වග ඇය අවබෝධ කර ගන්නවා. ඒත් ඔහුව අතරමං කර දමන්න ඇයට හිතෙන්නෙ නෑ. ඇය විශාල ව්‍යාපාරයක හිමිකරුවෙක්. ඒත් ඒ සියලු වගකීම් දෙවුර දරාගෙනම ඇය ඔහු වෙනුවෙන් මිඩංගු කරන්න කාලය සොයා ගන්නවා. ඇත්තටම සාමාන්‍යයෙන් අසාමාන්‍ය වූ ඔහු සමඟ ඇය කරන්නෙ මහා අරගලයක්. ඇය අන්තර්ජාලයේ සැරිසරමින් හික්මවිය නොහැකි ප්‍රචණ්ඩකාරී සත්ත්වයන් මෙල්ල කරන ක්‍රම පිළිබඳව අධ්‍යයනය කරනවා. ඒ එම ක්‍රම උපයෝගී කරගෙන ඔහු මෙල්ල කරන්න. ඒ සඳහා ඇයට මහත් පරිශ්‍රමයක් දරන්න සිදුවෙනවා.

එහෙත් අවසානයේදි හිතුවක්කාර ඔහු ඇගේ වචනයට ඉතාමත් කීකරු වෙනවා. කිසිවකුත් කියන කිසිවකට සවන් යොමු නොකරන ඔහු පුංචි දරුවකු සේ ඇයට කීකරු වෙනවා. ඇය කතා කරන භාෂාව ඔහුට තේරෙන්නෙ නෑ. එහෙත් ඇය කියන වචන ඔහුට ඒත්තු යන ආකාරයට ඇය තමන් දෙන විධානවලට ඉතා සංයමයෙන් ඔහු හුරු කරනවා. ඔහු නිදාගන්නේ ගසක් උඩ. ඇත්තටම ඔහුගේ සියලු ක්‍රියාකාරකම් පුරුදු සමාන වෙන්නේ වනයේ සැරිසරන සත්ත්වයෙකුට.

එහෙත් ඇයට තේරුම් යනවා ඔහු සොබාදහමට ආදරය කරන හැටි. සොබාදහම සමඟ ඔහුගේ සිතුවිලි හා හදවත ඒකාත්මිකව පවතින හැටි. සුළං රැල්ලක සීතල සනීපය ගැන ඔහු නිහඬවම ඇයට ඒත්තු යන ආකාරයෙන් හැසිරෙන්නේ නිවසේ දොර කවුළු හැර දමා ඒ සීතල සුළඟ සැපදායී ලෙස විඳගනිමින්.

ඇයගේ සාමාන්‍ය ජීවිතයේ ව්‍යාපාරික ජීවිතයේ බොහෝ ගැටලුවලට වරෙක මේ අසාමාන්‍ය මිනිසා හේතුවක් වුණත් ඇය කිසිම වරෙක ඔහු තම නිවසින් පිටමං කරන්නෙ නෑ. තමන් ආරක්ෂා කරන ඇය ගැන ඔහුගේ හිතෙහි ඔහු වචනයෙන් ප්‍රකාශ නොකරන මහා බැඳීමක් ගෞරවයක් පවතිනවා. ඒ නිසා සැමවිටම ඔහු ඇයව ආරක්ෂා කරනවා. ඔහු නිහඬයි. එහෙත් ගැඹුරුයි. 

ඇත්තටම නිහඬ ගැඹුරු බැඳීම් සල්ලිවලින් ජේත්තුකාර සැරසිලිවලින් පාට වැටුණු බැඳීම්වලට වඩා හුඟාක් සුන්දරයි. ඔහු හා ජීවන ගනුදෙනුවේදී ඇයට සිදුවෙනවා සමාජය සහ ගැටුම්වලට මුහුණ දෙන්න. නීතිය හමුවට යන්න. මේ සියල්ල මැද අවසානයේ සිදුවන්නේ මේ ආගන්තුක අසාමාන්‍ය මිනිසා පැමිණියේ කොහේ සිටද යන කතාන්දරයේ අග මුල ඇයට සොයාගන්න. ඇයට අවසානයේ ඔහුගේ වාසභූමිය හමුවෙනවා. ඒ ආදිවාසී ගෝත්‍රිකයන්ගේ වාසභූමියක්.

අලංකාර සැරසිලි විච්චූරණවලින් විකෘති නොකළ ඒ ප්‍රකෘති ජීවිතවල ළා පාටට ඇත්තටම ඇය පුදුමාකාර විදිහට ආදරය කරනවා. ජීවිතය කියන්නේ සල්ලිවලට කිසිදා මිලට ගත නොහැකි දෙයක් බව ඇය හදවතින්ම පසක් කර ගන්නවා.

ඇය තමන්ගේ නිහඬ ආරක්ෂකයාට හදවතින්ම ආදරය කරනවා. ඒ ආදරය හමුවේ ඇය මුහුණදෙන විවිධාකාර ගැටලු අභියෝග මේ දමිළ සිනමා රූපකාරකය පුරාම දකින්න ලැබෙනවා.

එහෙත් ඇය කිසිම මොහොතක තමන්ගේ අරමුණ අත්නොහරින යුවතියක්. අවැසි ජීවිතය හමුවන තෙක් අවැසි ජීවිතය සොයා යන ඇගේ ජීවිතයේ ධෛර්යමත් පරිච්ඡේද ගැන තමයි වනමගන් දමිළ සිනමා රූපකාරකය පුරාම කතා කරන්නේ.

මට හිතෙන්නේ අපි හුඟක් දෙනා ජීවිතය මඟහැර ගන්නේ වුවමනාවෙන්මයි. ඒත් ඒ ඇත්ත අපිට තේරෙද්දි අපි ජීවිතයේ හුඟාක් පරිච්ඡේද ලියා අවසන් කරලා. ඒත් ඒ පරිච්ඡේද අපි ලියලා තියෙන්නේ අනුන්ගේ පෑන් පැන්සල්වලින්. අනුන්ගේ තීන්ත වර්ණ මෝස්තර අලංකාරවලින්. මා සහ මම අතර වෙනස තේරෙද්දි හුඟාක් අයට තමන්ට තමන් මඟහැරී අවසන්. 

I සංජු