උදේ පාන්දර මිදුලට බැස්සා. වලාකුළු ගතිය නිසාම පුංචි සීතලක් වගේම ඇඟට පතට සනීපයකුත් තියෙනවා. ඉඳලා හිටලා දවසක මෙහෙම උදේට එළියට බැහැලා ගහකොළ අතර ඇවිදින ගමන් ජංගමයගෙන් කොළවල, මල්වල වගේම ගොලුබෙල්ලන්ගේ තණකොළ පෙත්තන්ගේ ඡායාරෑප ගන්න එක මගේ පුරුද්දක්. හැබැයි අද අඳුර හින්දා ඒ වැඩේ සාර්ථක නෑ.
ඉස්තෝප්පුව මිදුල දිහා බලාගෙන නිදහසේ හුස්මක් ගන්න අතර තමා මම ඌව දැක්කේ. මුගටියෙක්... වත්ත පිටිපස්සේ ඇළ පැත්තේ ඉඳලා ආවේ. එකම වේගයකින් ඇවිත් ගේ ඉස්සරහා ගස්කොළන් අඩු හරිය තත්ත්පරයක් නැවතුණා. ඒ නැවතිලා දෙපාරක් වටපිට බලලා අපේ වත්තට එන පාර දිගේ වේගෙන් ඉස්සරහට දුවගෙන ගියා.
මේ සිද්ධිය නිසාමයි හැමදාම හිත හිත හිටපු මේ කතාව අකුරු කරන්න ඕන කියලා හිතට අදහසක් ආවේ. ඉතින් ජංගමයාගේ ඩිජිටල් අකුරු අමුණන්න කලින් ටක් ගාලා කාමරයට ගිහිල්ලා මේන් මේක අරගෙන ආවා. ආ මේ ඉත්තෑ කූරක්. මීට ටික කාලයකට කලින් අපේ අම්මා මිදුලේ තිබිලා අහුලලා තිබුණේ. ඉතින් එදා ඉත්තෑ කූර අතේ තියාගෙන මම ගොඩක් කල්පනා කළා. මට මතකයි, දන්නවද? ඉස්සර මෙහේ සෑහෙන්න ඉත්තෑවෝ හිටියා.
අපේ වත්තෙන් පටන් ගත්තාම ඇළ දිගේ වැඩිපුරම තිබුණේ කැලෑව. ආච්චිලාගේ මහ ඉඩම ඒක තනිකරම කැලෑවක්. අද නම් ඒ කැලෑවේ අංශුවක්වත් නෑ. මම පොඩි කාලේ ඉත්තෑවෝ හිටියේ ඔය කැලේ. ඥාති සහෝදරයෝ එක්ක ඔය පුංචි කැලේට අපි හොරෙන් යනවා. එතකොට මට මතකයි පොල් මුල්වල ලොකු ගුල් තියනවා. අපි දන්නවා ඒ ඉත්තෑවන්ගේ ගුල්. එතකොට ඉත්තෑ කූරු එහෙ නම් මේ පැත්තේ ඕනෑතරම් තිබ්බා. ආ... ඇලේ ගප්පි හිටියා. අපි හොරෙන් ජෑම් බෝතල්වලට මාළු ඇල්ලුවා. ඒක මහ පුදුම කාලයල් මතක් වෙනකොටත් ලෝබයි.
ඒ මතක දිගේ ඇවිදගෙන යද්දී අපේ කතාව මඟහැරෙනවා. දැන් ඔය මහ ඉඩම බෙදලා ගෙවල් ගොඩක් හැදිලා තියෙන්නේ. හැමතැනම තාප්ප. අපේ වත්තේ තුන් පැත්තකින් තාප්ප ගහලා තියෙන්නේ. පිටිපස්සෙ ඇල පැත්තෙ තමා නැත්තේ. ආ අපි ගේට්ටුවකුත් දාලා නෑ. ඒ නිසා තමා අර මුගටියා අපේ වත්ත හරහා දිව්වේ. ආ... එතකොට මේ කතාව ලියන්නෙ ඒ නිසයි.
මම හිතන විදිහට එදා අම්මට හම්බ වුණේ මේ පළාතටම ඉන්න අන්තිම ඉත්තෑවාට අයිති කූරක්. මම ඉස්සෙල්ලා කිව්ව මුගටියා ගියපු පාරේ තමා ඉස්සර ඉත්තෑවෝ ගියේ. මට මතකයි අපි මෙතන ගේ හදන්න කලින් මෙතැනින් ඉත්තෑවෝ ගියපු පාරවල් ඕනෑ තරම් දැකලා තියෙනවා. ඒ කාලේ මෙතන ඉත්තෑවෝ අපි දැකලාත් තියෙනවා. පස්සේ එයාලා වඳ වුණා. ම්..ම්ම්...ම්... නෑ වඳ කළා. සමහරු අල්ලගෙන කන්න ඇති. අනිත් උන්ට ඉන්න තැන් සම්පූර්ණයෙන්ම නැති වෙන්නැති.
දැන් මේ ඉත්තෑවාත් ජීවත් වෙලා ඉන්නවද දන්නෑ. මුගටියටත් මෙතනින් තව කොච්චර කාලයක් යන්න වෙයිද දන්නෙ නෑ. මේ උදේ පාන්දර මහා වරදකාරී හැඟීමක මගේ හිත පැටලිලා. හ්ම්...ම්..ම්... කබරු, මුගටි, තලගොයි, කලවැද්දෝ තව කොච්චර සත්තු මේ හරියේ හිටියාද? අපි ඒ සතුන්ගේ ගේ දොර විතරක් නෙවෙයි ජීවත්වීමේ අයිතිය පවා හරි මෘග විදියට කෲර විදිහට උදුරගෙන. මම මීට ටිකකට කලින් දැකපු මුගටියා දැන් කාලෙක ඉඳන් මේ පාරේ යනවා එනවා. අපි පිටිපස්සෙන් තාප්පයක් බැන්දොත්, ඉස්සරහින් ගේට්ටුවක් දැම්මොත් ඌගේ ගමන එතැනින් ඉවර වෙයි. අහා... ම්ම්ම්...
ඉස්සර කාටද මතක, සිරීපාදේ ගිය සමනල්ලු. මම ඉස්කෝලේ පුංචි පන්තිවල ඉද්දී සීයා පෙන්නනවා ඒ සමනලුන්ව. එක රූනට සිය ගණනක් පියාඹනවා. මොහොතකට ඇස් දෙක වහගත්තාම මතකයට ඇවිදගෙන යන්න පුළුවන්. කොච්චර ලස්සනද? පපුවේ ඊයම් බරු හිරවෙලා වගේ හිතේ බර වැඩිවෙනවා. කෝ බං දැන් ඒ සමනල්ලු. එතකොට මතකද බත්කූරෝ, බිංකුන්ඩෝ, දළඹුවෝ, පාට පාට හැකරුල්ලෝ. ඇත්තමයි එයාලා යන්නම ගිහිල්ලාද? ඉඳල හිටලා මම නම් එකෙක් දෙන්නෙක් දකිනවා. ඒත් ඉස්සර කොච්චර හිටියද?
කාටද මතක චූටි චූටි ගෙඹි පැටව් සිය ගණනක් මිදුලේ පිරෙන කාලේ. එතකොට මතකද පොළොවෙන් මතුවෙලා මෙරු පියාඹලා යන හැටි. අපි මිනිස්සු කොච්චර කෲර සත්තු ජාතියක්ද? මනුෂ්‍යයා කියලා කියන්නේ සතෙක්නේ. ඔව් අපි මේ මහ පොළොවේ බිහිවුණු එක සත්ත්ව කොට්ඨාසයක් විතරයි. මේ මහ පොළොවේ මේ වාතලයේ අපිට යමක් අයිති නම් මේ ලෝකේ ඉන්න හැම සත්ත්වයෙකුටම ඒ දේවල් එහෙම්ම අයිතියි... පිළිගන්න කරුණාකරලා. ඒ තමා ඇත්ත.
මම ඉන්නේ ඇසතු බෝ රැක මුල නෙවෙයි. ඉස්තෝප්පුවේ හාන්සි පුටුවක. ඒත් මේ සත්‍යය මට අවබෝධ වෙනවා. අවබෝධ වුණත් මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න නම් තනියම බෑ. මේ තිත්ත ඇත්ත අපි හැමෝම තනි තනිව තේරුම් අරගෙන අපේ ඇතුළෙන්ම උත්තර හොයාගන්න ඕනෑ.
දන්නවාද? පරක්කු වෙන්න කාලයක් නෑ. බැලූ බැල්මට පේන්නෙ ඒ සත්තු විනාශ වෙලා කියලා විතරයි නේද. අනේ නෑ. ඒ විනාශය අපිටත් අදාළයි. අපිත් මේ සොබාදහමේ කොටසක්. ඒක අමතක කරන්න බෑ. අපි අධිවේගයෙන් විනාශය කරා තමා මේ යන්නේ. දරුවන්ට ලස්සන හෙටක් හදන්න උත්සාහ කරන දෙමාපියෝවත් මේ ටික තේරුම් ගන්න. අපි ඒ දේවල් දැක්කා. ඊළඟ පරම්පරාව ඒ දේවල් අත්විඳියි. හිතන්න කරුණාකරලා. අහ්..හා...
ආ තව පුංචි දෙයක් මතක් වුණා. අපේ ගමේ මුහුද අද්දර තියෙනවා ගල්පරයක්. ඉස්සර මුහුදේ නාන්න ගියාම තාත්තලා අපිව එතැනට අරගෙන යනවා. දෙහිවල සතුන්වත්තේ මින් මැදුරට වඩා ලස්සන දසුන් මගේ මනසේ ඇදිලා තියෙනවා එතැන. පාට පාට මාළු රෑන් පුදුමාකාර ලස්සනක් තිබුණේ. දන්නවද? මම මේ ළඟදි ගිහිල්ලා බැලුවා එක මාළුවෙක්වත් නෑ. ඔය මාළු ටැංකිවල ඉන්නේ ''ටෑන්ක් ක්ලීනර්ස්ලා'' කියලා මාළු ජාතියක් අන්න ඒ වගේ ගල් හුංගෙක් විතරක් හිටියා.
කාලයක් තිස්සේ අපේ ගමේ මිනිස්සු මේ මාළු අල්ලලා විකුණලා. කම්පැණිකාරයෝ සොච්චමක් දීලා ඒ මාළු අරගෙන යනවා. දොස් කියලා වැඩක් නෑ ඒ මිනිස්සුන්ට. එයාලා මේ ඇත්ත අවබෝධ කරගෙන තිබුණේ නෑ. ඒත් අනේ මන්දා... තේරෙන්නේ නෑ. හොයල බැලුවම දැන් ඉතුරුවෙලා ඉන්න මේ ගල් හුංගන් තමා මෙයාලා අල්ලන්නේ. එතකොට ගල් මල්වලට අත්වෙච්ච ඉරණම ගැන නම් කතා කරලා වැඩක් නෑ. ම්ම්ම්...
එක තත්ත්පරේකට කල්පනා කරලා බලන්න. මෙතැන කොච්චර කාලයක් තියෙන්න ඇද්ද? අවුරුදු මිලියනක් දෙකක්. ඔව් මට හිතෙන්නේ ඒ වගේ කාලයක් තියෙන්න ඇති. ඒත් පහුගිය අවුරුදු විසිපහක තිහක කාලය ඇතුළේ ඒ හැමදේම අපේ අය විනාශ කරලා දාල. මේ හැම දේකටම හැමදේකටම වන්දියක් තියෙනවා ගෙවන්න. මේකම තමා මුළු ලෝකය පුරාම සිද්ධ වුණේ මේ ගෙවුණු සියවසක වගේ කාලේ ඇතුළේ.
ඔන්න පොඩි බයක් හිතට එනවා. අපි මේ කරපු දේවල්වලට මනුෂ්‍ය සංහතිය විදිහට අපිට කොයි වගේ වන්දියක් ගෙවන්න වෙයිද? ගැඹුරට හිතන්න එපා මම වගේම ඔයාලත් බය වෙයි. ඒත් නොහිතා ඉන්නත් එපා. මොකද පරක්කු වෙයි.
ඉතින් මේ ඉත්තෑ කූර මගේ ළඟ හැමදාම තියේවි. ඉත්තෑවෝ අපිට සමාවෙන්න.
I නිසල්