සින්දු අහලා දවස් ගණන් තනියම ළතැවෙනවා
මට අවුරුදු 32යි. මම හිතින් දුක් විඳින තරුණයෙක්. මම මගෙ ප්‍රශ්න කාටවත් කියලා නෑ. කියන්න කැමතිත් නෑ. සින්දු අහන එක මගෙ විනෝදාංශයක්. ඒත් මට ප්‍රශ්නයක් තියෙනවා. මම ගොඩක් අහන්න කැමති දුක හිතෙන සින්දු. මම කැමති ඒවාට විතරයි. අලුත් පරණ වෙනසක් නෑ. සමහර එකම සින්දුව වුණත් නිතර නිතර අහන්න හිතෙනවා. ඒ සින්දු අහලා මම තනියම කල්පනා කරනවා. සින්දුවල රූපරාමු බලලා තනියම දුක් වෙනවා. දවස් ගණන් යනකල් දුක් වෙනවා. මම දන්නේ නෑ ඒ ඇයි කියලා. ඒත් එහෙම දුක් වෙන්න තරම් හේතුවකුත් නෑ. වෙලාවකට හිතෙනවා මේක ලෙඩක්ද කියලත්. මට දැනගන්න ඕනෑ මේක මගෙ ලෙඩක්ද කියලා. මට උපදෙසක් දෙන්න.
පසන් - කොට්ටාව
පිළිතුර:
අපි හැමකෙනෙක්ම දුක් විඳින්න අකැමැති වුණත් දුක අත්විඳින්න කැමතියි. උදාහරණයක් විදිහට විරහව අපි අත්වින්ඳත් නැතත් විරහ ගීත අහන්න කැමතියි. යම් අනතුරුවලට, ගැටලුවලට, ඛේදවාචකවලට මැදි වූ මිනිස්සු කාලයක් ගියාට පස්සේ එම වේදනාව මැවිලා පේනවා. සුනාමියට මුහුණ දුන් කෙනාට අදටත් ගාලු පාරේ යන්න බැරුව ඇති මුහුද දකිද්දී වේදනාව වැඩිවෙන නිසා. අපි ඒකට මනෝවිද්‍යාවේ කියන්නේ පශ්චාත් භීතිය සහිත කම්පන. යම් කටුක අත්දැකීමක් කම්පනයක් වෙන්න පුළුවන්. කේ. සේන නිර්මාණකරුවා විසින් ගායනා කරන මවකගෙ උණුසුම නොලබා සැපට හැදෙන පුතේ යන ගීතයේ කියන්නේ මවගේ විපතත් දරුවාගේ උපතත් එකම දිනෙක සිදුවීමක්. එම ගීතය වැඩිහිටි නිවාසයක ගායනා කරද්දී ඒ මවුපියන් බොහෝ සංවේදී වෙනවා. අපි හැමෝටම ඒ අත්දැකීම නැතිවුණාට ඒ අත්දැකීමට අපේ සිත්වලත් කම්පනයක් ඇති කරනවා. අපත් ඒ ගීතයට සංවේදී වෙනවා. ඒ සිදුවීම අපට චිත්තරූප මැවෙනවා. තමන් දුක විඳින්න අකමැති වුණාට දුකට මිනිස්සු කැමතියි. අනුන්ගේ දුක විඳින්න කැමතියි. මේ පැනය යොමුකර ඇති තරුණයා අහනවා ඔහුට ඇති ප්රශ්නය ලෙඩක්ද කියා. එයට සරල පිළිතුර එය ලෙඩක් නෙමෙයි. බියවන්න එපා. එය අප හැමෝගේම මොළයේ ක්‍රියාත්මක වන එක් අංශයක්. අප විරහ වේදනාව විඳින්න අකමැති වුණාට විරහ ප්‍රේම ගීත මේ රටේ ජනප්‍රිය වන්නේ ඒ නිසායි. මෙම තරුණයාට මා ලබාදෙන උපදේශය ගීතයක් රසවිඳීම කියන්නේ ගීතයට වහල් වී කාලය නාස්ති කරගෙන අනවශ්‍ය ආකාරයට කල්පනා කිරීම නොවේ. මෙය රෝගයක් නොවෙයි. පෞරුෂ ඌනතාවකි. අවිචාරයෙන් දුක වැළඳගැනීමෙන් වැළකී ගීතය තුළ අතරමං නොවී දුක සතුට විචාරශීලීව ගීත ශ්‍රවණය කිරීමට ඔබට යෝජනා කරනවා.
මහත්තයා මගෙ ඇඟෙන් ඇල්ලුවත් මට තරහා යනවා
මම වයස අවුරුදු 30ක විවාහක එක්දරු මවක්. බබාට මාස 10 යි. ළඟකදී ඉඳලා මට හරියට තරහ යනවා. මහත්තයාගෙ පොඩි වැරැද්දකටත් මට ගොඩාක් තරහ යනවා. සමහර වෙලාවට බබා අඬද්දිත් මට ගොඩාක් තරහා යනවා. කිසිම වැරැද්දක් නැතුව මට ගොඩාක් තරහ යනවා අනෙක් අය එක්ක. ඝෝෂාකාරී සද්ද ඇහෙද්දි ඔළුව රිදෙන්න ගන්නවා. මට තියෙන ලොකුම ප්රශ්නය මට දැන් මහත්තයා එක්ක ලිංගික සම්බන්ධතාවලට මගෙ හිතේ කිසිම කැමැත්තක් නෑ. මට එහෙම ආසාවකුත් නෑ. එයා මගේ ඇඟෙන් ඇල්ලුවත් මට පුදුම විදිහට තරහ යනවා. මම දන්නෙ නෑ ඒ ඇයි කියලා. මේ හේතුව නිසා මහත්තයාත් අපහසුතාවෙන්. වෙලාවකට එයා ගැන දුකත් හිතෙනවා. ඒත් මට මගෙ තරහ පාලනය කරගන්න බෑ. කිසිම හේතුවක් නැතුව තරහා යනවා. මට උපදෙසක් දෙන්න.
හංසි - මීරිගම
පිළිතුර:
කාන්තාවක් ලිංගිකත්වයට කැමති නැත්තේ ඇයි යන්න උපදේශනයෙන් සෙවිය යුතුයි. කාන්තාව ලිංගිකව එක්වීමට අකමැති වීමට මනෝ සමාජයීය හේතු කිහිපයක් බලපායි. එනම් සැමියා බීලා ඇවිත් කාන්තාවට වද දෙනවා නම් එයට කාන්තාව අකමැතියි. අනෙක් කාරණය සැමියා වෙනත් ස්ත්‍රීන් ඇසුරු කරනවා නම් එවන් පිරිමියකු සමඟ සිටීමට කාන්තාවට පිළිකුලක් දැනෙයි. අනෙක් කාරණය ස්වාමි පුරුෂයාගේ අපිරිසුදුකම. කාන්තාවගේ අකමැත්තට හේතුව මෙවැන්නක් නම් සැමියා දැනුවත් කර සැමියා උපදේශනයකට ගෙන්වා මේ පිළිබඳ සාකච්ඡා කර විසඳුමක් සෙවිය යුතුයි. එසේ නැති නම් කාන්තාව සමඟ සාකච්ඡා කර බැලිය යුතුයි. කාන්තා පක්ෂයට ඇතිවෙනවා නිර්මදතාව (Frigidity) කියලා රෝගයක්. මෙම රෝගය ඇතිවුණාම කාන්තාවට ලිංගික හැඟීම් ඇතිවන්නේ නෑ. තවත් ප්‍රබලම ගැටලුවක් වන්නේ කාන්තාවගේ ලිංගික ක්‍රියාකාරීත්වයට බලපාන ඊස්ට්‍රජන් හෝර්මෝනය අඩුවීම. කාන්තාවක් ලිංගික ආශාවකට පොළඹවන්නේ හෝර්මෝනයක් මගින්. ඊස්ට්‍රජන් මට්ටම අඩුදැයි වෛද්‍ය පරීක්ෂණයකින් තහවුරු කරගැනීමට පුළුවන. මෙහිදී පියවරෙන් පියවර මෙසේ සිදුකිරීමෙන් මෙම ප්රශ්නය විසඳාගත හැකිය. එහිදී පළමුව කළ යුතු වන්නේ තමන්ගේ ශරීරය පිළිබඳ පරීක්ෂණයක් සිදුකිරීමයි. දෙවනුව සැමියා පිළිබඳ නිසි අවබෝධයක් ලබාගැනීමයි. තෙවනුව සැමියාත් බිරියත් දෙදෙනාම සුදුසුකම් සපිරි විශ්වසනීය මනෝ උපදේශකවරයකුගෙන් උපදෙස් ලබාගැනීමයි. එසේම කිවයුතු තවත් විශේෂම කාරණයක් වන්නේ මේ හරහා ඔබට ඇතිවන කේන්තිය දරුවන් හරහා පිටකරන්න එපා. එවිට අහිංසක දරුවෙන් ලොකු මහත් වෙද්දී එම දරුවාත් මානසික වශයෙන් දුක් විඳින තත්ත්වයට පත්වීම වැළැක්වීමේ වගකීම ඇත්තේ මවුපියන් වන ඔබ දෙදෙනාටයි. මේකට විසඳුමක් සොයාගන්නා තුරු කාගෙන්වත් කේන්තිය පිටකරන්න එපා. ඉහත පියවර අනුගමනය කරමින් මෙම ප්‍රශ්නයට නිසි විසඳුමක් සලසා ගන්න.
ඔයාට කවදාවත් රස්සාවක් කරන්න බෑ කීවා
මේක මම ලබපු අත්දැකීමක්. උසස් පෙළ කරලා ඉවරවෙලා අවුරුද්දක් දෙකක් රස්සා හෙව්වා. දාපු එක අයදුම්පතකින්වත් රස්සාවක් ආවේ නෑ. ඔය අතරවාරයේ මට අඳුරන කෙනෙක් මාර්ගයෙන් පුංචි රස්සාවක් හම්බවුණා. ඒ එක සනීපාරක්ෂක ද්‍රව්‍ය ඒජන්සියක ගබඩා බාරකරු විදිහට රස්සාව කරන්න. ඒ ඒජන්සියට වෛද්‍යවරයෙකුගේ සම්බන්ධයක් තිබුණා. ගබඩා බාරකරු විදිහට වැඩකරන හැටි මට දවස් දෙක තුනක් කියලා දුන්නා. මම සතියක් විතර රස්සාව කළා. මට ඒ රස්සාව අමාරුයි කියලා හිතුණා. ඒක කරන්න බෑ කියලා හිතුණා. ඒ නිසා මම ගෙදරටත් කියලා ඒ රස්සාවෙන් අයින් වෙන්න හැදුවා. මම ඒජන්සියට සම්බන්ධ කමක් තිබුණු වෛද්‍යවරයා හමුවී කිව්වා ඩොක්ටර් මට මේ රස්සාව කරන්න අමාරුයි කියලා. දොස්තරගෙ මූණ රතුවුණා. ඒ දොස්තර මහත්තයා මට එකපාරටම කිව්වා. ''ආ එහෙමද ඔයාට මේකෙ ඉන්න බැරිනම් ඔයාට කවදාවත් රස්සාවක් කරන්න බෑ'' කියලා. ඒ මහත්තයා කියපු කතාවට ගොඩාක් මගෙ හිත රිදුණා. මේක මට ජීවිත කාලෙම ගලේ කෙටූ අකුරක් වගේ මතක හිටින දෙයක් වුණා. මම ගොඩාක් දුක්වුණා. ඒ රස්සාවෙන් අයින් වෙලාත් ටික දවසක් මම ගෙදර හිටියා රස්සාවක් නැතුව. ඒත් අද මම ලොකු රස්සාවක් කරනවා. හොඳ රස්සාවක් කරනවා. රටට සේවයක් කරනවා. ඒත් අර දොස්තර කියපු කතාව මගෙ මනසේ අදටත් රැව්දෙනවා. මට තාමත් මතක් වෙනවා. රස්සාවෙන් අයින් වෙලා ටික දවසක් යද්දී මට දැනගන්න ලැබුණා අර කතාව කියපු දොස්තර මනෝ වෛද්‍යවරයෙක් කියලා.
සචිත්ර - ඇඹිලිපිටිය
පිළිතුර
මනෝ වෛද්‍යවරයකු නෙමෙයි කවුරුන් වුවත් තව කෙනකු බියට පත් කිරීම ඉතා පහත් ක්‍රියාවක්. රුකියාවක් කර අසාර්ථක වූ පමණින් වෙන රස්සා කිරීමට නොහැකි යැයි පවසනවා නම් ඔහු දක්ෂ මනෝ වෛද්‍යවරයෙක් නෙමෙයි. මෙම දරුවාට කියන්නට තිබෙන්නේ එක මනෝ වෛද්‍යවරයකුගේ ප්‍රකාශයක් නිසා තමන්ගේ ජීවිතයම විනාශ කරගන්න එපා. ඔබ පවසන පරිදි ඔබ මේ වනවිට හොඳ රස්සාවක් කරනවා කියනවා. ඒකෙන්ම ඔබ අර වෛද්‍යවරයාගේ මතය බොරුකරලා ඉවරයි. අතීතයේ කටුක කතාවක් අවිචාරශීලී ලෙස මනසට දාගෙන ජීවත්වෙනවා. මේ කතා කරන මට ඇතැමුන් කියලා තියෙනවා ඔයාට ඉගෙන ගන්න බෑ ඔයා මෝඩයි කියලා. ඒකට මම උත්තර දීලා තියෙනවා. මම ලංකාවෙ මනෝවිද්‍යා විෂය සම්බන්ධයෙන් ඉන්න ජ්‍යෙෂ්ඨතම මහාචාර්යවරයෙක්. මම ඔහු නිසා අභියෝග ජයගත්තා. මේ දරුවාට මට කියන්නට තියෙන්නේ කිසිවකුගේ කතාවක් ඇඳුමක කහටක් වගේ තියාගෙන හිතේ තියාගෙන ජීවත්වෙන්න එපා. යථාර්ථයට මුහුණ දෙන්න. අතීතයේ සිදුවූ සෘණාත්මක දේ වළලන්න. අද ගැන සිතා සතුටුෙවන්න. ජීවිතය ජයගන්න.
(මෙහි එන පෞද්ගලික අත්දැකීම්වල නම් ගම් මනඃකල්පිත බව සලකන්න)
ලබන සතියේ ඔබේ ප්රශ්නයෙන යළිත් හමුවෙමු.
ආදරය , විවාහය , ජීවිතය ගැන තරුණ ඔබ විඳවන ප්රශ්නය ඔබ කැමැති නමකින් කෙටියෙන් අපට කියන්න. ඔබේ නම, රුකියාව කුමක් වුවත් හිතේ විඳවන ප්‍රශ්නයට හොඳම උත්තරය හදසරෙන්.
ෆේස්බුක් ෆෑන් පේජ් මැසේජ්
ජීවිතේ රිදෙන තැන් (Jeewithe ridena then)
ෆේස්බුක් නැත්නම් මෙහෙම ලියන්න.
Email - Jeewitheridenathen@gmail.com
සංස්කාරක,
“ජීවිතේ රිදෙන තැන්”
හදසර අතිරේකය, දේශය පුවත්පත
නො 08, හුණුපිටිය හරස් පාර, කොළඹ 02.
I සසංක චලන ගිම්හාන