2022 මාර්තු 20 වන ඉරිදා

අපි හොයන්නේ ආදරයද? නැත්නම් ජීවිතයද?

 2022 මාර්තු 20 වන ඉරිදා, පෙ.ව. 10:00 52

ආදරය කියන අකුරු හතර ඇතුළේ අපි හොයන්නේ ආදරයද? ජීවිතයද? නැත්නම් ජීවිතය වෙනුවෙන් ආදරයද? හුස්ම වැටෙන බව දැනෙනකොට හුස්ම ගන්න බව හැඟෙන ජීවිතයක් වෙනුවෙන් තවත් හුස්මක්ද? කොයි විදිහට නිර්වචනය කළත් සියල්ල අවසානයේ හිතෙන්නේ ආදරය කියන්නේ ආදරයම විතරයි.

ආදරය හැර කිසිවක්ම නොඉල්ලන බෝසත් සිත් මේ ජීවන කාන්තාරයේ වැලි පොළෝ මත සැරිසරන සුවිසැරියේදී හමුවෙන්නේ හරි කලාතුරකින්. ආදරය කියන්නේ හරියට ගස් මුදුන් අතු අග සරසන්න පිපුණු මලක් වගේ කියලත් හිතෙනවා. සුවඳ දිදී ඵල උපදවමින් ගසක හෙටට ලස්සන කතාවක් එක් කරන්න මලකට පුළුවන්. ඒත් කවුද දන්නේ ආදරය කොයි විදිහට කොතැනකදි මුණගැසෙයිද කියලා.

පහේලි කියන හින්දී සිනමා රූපකාරකයෙන් කතා කරන්නෙත් එහෙම ආදරයක් ගැන. ඒත් ඒක හරි අමුතු ආදර කතාවක්. මනුෂ්‍ය දුවකට ආදරය කරන භූත පිරිමියෙක් ගැන තමා පහේලි සිනමා සිතුවම තුළින් දිගහැරෙන්නේ. යථාර්ථය තුළ එය සිදුවිය හැක්කක්ද යන ප්‍රශ්නය දරදඬු විදිහට නගන යථාර්ථවාදී සිනමා විචාරකයකු නොවී ආදරය දැනෙන තැන යක්ෂයන් භූතයන් පවා මෙල්ල වන සොඳුරු අරුමය ගැන කතා කරන්න පහේලි බලද්දි මට හිතුණා.

ඇය විවාහයෙන් පසු ඔහුගේ නිවෙස බලා යන්නේ ඔහුගේ නෑදෑ පිරිවර සමඟ ගැල් බැඳි කරත්තවලින්. ඒක ටිකක් දුර ගමනක්. ඒ යන ගමන අතමඟදි විඩා සංසිඳුවනු රිසියෙන් දිය පොකුණක් ඇති නිසංසල තැනක ඔවුන් නවතිනවා. ඒ පොකුණ ළඟදි තමා ඔහු ඇය දකින්නේ. 

ඇගේ සැමියා ව්‍යාපාරිකයෙක්. ඔහුගේ ලෝකය මුදල් සහ ව්‍යාපාර. ඒ වගේම මසුරුකම්වලින් මනස පුරා අරක්ගත් සිතුවිලි විසින් ජීවිතය ලස්සන වර්ණවලින් පාට කරන සිහින ඔහුගේ සිතෙන් ඈතටම විසි කරලා දාලා. එහෙත් ඇය ආසයි ජීවිතය ආදරය ලස්සන පාටවලින් විචිත්‍රවත් ලෙස පාට කරන්න. ඇය ආසයි ආදරයෙන් ජීවිතය සිපගන්න. එහෙම බලද්දි ඇයත් - ඔහුත් සිටින්නේ අන්ත දෙකක. කවදාවත් යා නොවෙන යා කළ නොහැකි අන්ත දෙකක.

ඉතින් මේ භූතයාගේ හදවත ඇය ගැන ආදරණීය සිතුවිලිවලින් මෝරද්දි ඔහු තීරණය කරනවා ඇය පසුපස යන්න. ඇගේ සැමියා ව්‍යාපාර කටයුතු සඳහා නික්ම ගිය ඉනික්බිති ඔහුගේ වේෂයෙන්ම ඔහු ඇය සොයා එනවා. ඇය සිතන්නේ තම සැමියා ගිය විගසම පැමිණි වගයි. ඇයට පුදුමයි. සිතාගත නොහැකි ලෙස ඔහු ආදරණීය සැමියෙක් බවට පත්වෙලා. 

එතැන් සිට ඇය ඉල්ලා සිටි ආදරය, ඇය ප්‍රාර්ථනා කළ ජීවිතය ඇය අබිමුව, ඇයගේ ආත්මය, ඇයගේ හුස්ම බවට පත්වෙන්නේ ප්‍රේමය තුළ උපන් සිතුවිලි. එසේ ප්‍රේමණීය ඕවිල්ලේ නැලවෙන්න ඇයට ලැබුණු කාලය එක් මොහොතකදි අපේක්ෂා නොකළ පුදුමයක් ලෙස ඇය අබිමුවට පැමිණෙනවා. ඒ මෙතෙක් ඇය හා ජීවිතය බෙදාහදා ගත්තේ ඇගේ ස්වාමියා නොව ස්වාමියාගේ රූපකාය ඇතිව පැමිණි භුතයෙක් බව අනාවරණය වීමත් සමඟ...

එහෙත් ඒ පුදුමය ළඟ ඇයට දැනෙන්නේ කලකිරීමක් නෙවෙයි.. ඒ ආදරය වින්ඳ හදවත ගැන ආදරයක්. මට හිතෙනවා ගැහැනියකට ආදරය ඇත්තටම හදවතට දැනෙනවා නම් යක්ෂයෙක් භූතයෙක් ළඟ විතරක් නොවෙයි හිඟන්නෙක් ළඟ වුණත් ඇය තම ආත්මයෙන්ම දණ ගසනවා කියලා.

ඇගේ සැමියාගේ පවුලේ හැමදෙනාම ඊට පසු උත්සාහ කරන්නේ ඒ භූතයාව ඔවුන්ගේ ජීවිතවලින් පිටමං කරන්න. අවසානයේ ඔහු බෝතලයක සිරකර මුහුදකට ගොස් අත්හරිනවා. එහෙත් ඇගේ සිත නිරන්තරයෙන්ම රැඳී තියෙන්නේ ඇයට ආදරය අක්ෂරයෙන් අක්ෂරය මැනවින් පැහැදිලිව ලස්සනට කියාදුන් ඔහු ළඟ මිසක් තමන්ගේ දරදඬු රළු ස්වාමියා ළඟ නොවෙයි.

කාලය මෙහෙම ගලාගෙන යද්දි බෝතලයක් තුළ සිරකර මහ මුහුදක රළ අතරේ පාවෙවී ගිය ඔහුගේ ආත්මයට යළි නිදහස ලැබෙනවා. ඒ ඇසිල්ලේම ඔහු යළි එන්නේ ඇය ළඟට. ඒ භූතාත්මය සියුම් අවස්ථාවක් බලමින් ඇගේ ස්වාමියාගේ ශරීරය තුළට ඇතුළු වෙනවා. දරදඬු රළු තම සැමියා ක්ෂණයකින් ආදරණීය පරිවර්තනයන්ට ලක්වෙද්දී ඇයට ඒත්තු යනවා මේ සිටින්නේ ඔහු නොව ඔහු බව. සිරුර සැමියාගේ. ඒත් හදවත ඇගේ ප්‍රේමවන්තයාගේ. ඇය පෙම් කරන්නේ ඒ ශරීරයට නොවෙයි හදවතට... භූතාත්මයක් වුවත් ආදරය ආදරය ලෙසින් මැනවින් හඳුනාගත් ඇගේ භූත ප්‍රේමවන්තයාට.

කොයි තරම් වෙන් කළත් වෙන් නොවන හදවත් කොතනැකදි හරි යළි මුණගැසෙන වග ඇත්තක්. මට සිතෙන්නේ එය විශ්වීය නියමයක් කියලා. සංසාර වීදියෙන් වීදියට ජීවනයේ යාත්‍රාව පදවාගෙන යන මේ ගමන මේ තරම් අනන්ත දුරක් තුළ දිවෙන්නෙත් ඒ නිසාම වෙන්න ඇති. ජීවිතය අත්හරින්න ලෝභකම් නොසිතෙන තැන්වලදි පවා ආදරය අත්හරින්න මිනිස්සු ලෝභකම් කරන්නේ ජීවිතයටත් වඩා ආදරයට මිනිස්සු ආදරය කරන නිසා වෙන්න ඇති. 

සංජු