2022 මැයි 22 වන ඉරිදා

එයා මට වෙන පිරිමි එක්ක යන්න කියනවා

 2022 මැයි 22 වන ඉරිදා, පෙ.ව. 10:00 980

කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නෑ කම්මැලියි

මට වයස 35යි. බැඳලා බබාලා තුන්දෙනෙක් ඉන්නවා. මම දැන් අවුරුදු දෙකකට කලින් විශාදය තත්ත්වයට බෙහෙත් ගත්තා. දරාගන්න බැරි ඔළුවෙ කැක්කුමක් ඇවිත් රෝහලෙත් නවතින්න වුණා. මට තියෙන ගැටලුව මම ඉස්සර හරි කඩිසරයි. ගෙදර හැමදේම කරනවා. මහත්තයා රස්සාවට ගියාම මමයි ගෙදර හැමදේම කරන්නේ. දරුවන්ගේ වැඩ ඔක්කොම මම තනියම කළා. එත් දැන් දැන් මට කිසිම දෙයක් ගෙදර වැඩ කරන්න හිතෙන්නේ නෑ. උදේම නැගිටින්න හිතෙන්නේ නෑ. උයන පිහන වැඩ පවා කරන්න හිතෙන්නෙ නැහැ. මම කොයිතරම් උත්සාහ කළත් වැඩ කරන්න පුදුම කම්මැලිකමක් දැනෙන්නේ. දරුවන් පාසල් ගියාම මම තනියම ඉන්නේ. තනියම ඉද්දී කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නෑ. මේ නිසා ගෙදර ප්‍රශ්න පවා දැන් ඇතිවෙලා. කරුණාකර මට උපදෙසක් දෙන්න.

දමයන්ති - දෙහිවල

පිළිතුර:

ඔබ මෙයට පෙර විශාදය තත්ත්වයට ප්‍රතිකාර ලබාගෙන මේ වනවිට එම ප්‍රතිකාර ගැනීම නවත්වා ඇතැයි සිතමි. එහෙයින් පළමුව කිරීමට සුදුසු වන්නේ ඖෂධ ප්‍රතිකාර ලබාගැනීම ආරම්භ කිරීමයි. ඉන්පසුව ඇතිවී තිබෙන ප්‍රශ්න විසඳාගැනීමට මනෝ උපදේශනය සඳහා යොමු විය යුතු වෙනවා. යම් ආකාරයකින් බෙහෙත් නවත්වනවා නම් ඊට පෙර ඔබ මානසික ප්‍රතිකාරවලින් මනස හදාගෙන සිටීම අත්‍යවශ්‍ය වෙනවා. එහෙයින් හිතුමතේ බෙහෙත් නැවැත්වීම නුසුදුසුයි. 

බැන්දත් ඉන්නෙ කාමර දෙකක

මම 33 හැවිරිදි පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වන තරුණියකි. මගේ සැමියාත් රජයේ රුකියාවක උසස් තනතුරක නිරත වෙයි. විවාහ වූ දවසේ පටන් මේ වෙනකල් අපි ඉන්නේ කාමර දෙකක. සැමියා මට කිසි අඩුවක් කරන්නෙ නැහැ. යාන වාහන පවා මට අරගෙන දී තියෙනවා. එහෙත් අපි අතරේ ලිංගික සම්බන්ධතාවක් ඇත්තෙම නැති තරම්. අපි අතරෙ අඩදබර ඇති වූ වෙලාවට ඔහු ගෙදරින් ගිහින් පසුව එනවා. වෙන පිරිමි මට සම්බන්ධ කරන්න ඔහු උත්සාහ කරනවා. ඒකටත් අපි අතරෙ අඩදබර ඇතිවෙනවා. ලෝකෙට පේන්න විතරක් අපි ජීවත් වෙනවා. කසාද ජීවිතේ කඩා ගන්න බැරි නිසා මම තවමත් ගොඩක් ඉවසනවා. මේක මට මානසිකව ලොකු ප්‍රශ්නයක්.

දිල්මි - කැලණිය 

පිළිතුර:

ඔබ යොමුකර ඇති ප්‍රශ්නය අනුව පැහැදිලි වන්නේ සැමියාට ලිංගික අපගමනය හෝ ලිංගික අක්‍රමතාවක් තිබෙනවා. එය නිරාවරණය වීම වැළැක්වීමේ පියවරක් හැටියට ඔහු වෙනත් කාමරයකට යනවා විය හැකියි. සැමියාට මනෝ ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. බිරිඳ වශයෙන් ඔබට කළ හැකි සුදුසුම දේ වනුයේ ඔබේ සමීපතම වැඩිහිටියන් දැනුවත් කර  සැමියා වෛද්‍ය ප්‍රතිකාරවලට හෝ මනෝ ප්‍රතිකාරවලට යොමු කරවීමයි.

හේතුවක් නැතිව කේන්ති යනවා

මම අවුරුදු 48ක දෙදරු පියෙක් වෙමි. මට ඉස්සරට වඩා ගොඩාක් කේන්ති යනවා. සුළු දේටත් කේන්ති යනවා. ඒ වෙලාවට දරුවන් මොනවාහරි ඇහුවත් මට කේන්ති යනවා. දවසක් කන්න ගිය වෙලාවක කේන්ති ගිහින් ඒ තරහට අත වෙව්ලලා කෑම පිඟාන අතෑරිලා කුඩුවුණා. සමහර වෙලාවට නෝනා කියන දේවල්වලටත් කේන්ති යනවා. නෝනාට දරුවන්ට ගහන්න පවා ගිහින් තියෙනවා. ඊටපස්සේ කල්පනා කරද්දී හිතෙනවා සමහර වෙලාවට  මම බොරුවටනෙ කේන්ති ගන්නේ කියලා. ඒත් මට කේන්ති යන එක පාලනය කරගන්න බෑ. වෛද්‍යතුමනි මට උපදෙසක් දෙන්න.

හරිස්චන්ද්‍ර - මාකොළ

පිළිතුර:

මානසික පීඩනය අධික වූ විට අධික ලෙස තරහව ඇතිවීම, පොඩි දේ ලොකුවට සිතීම, සුළු සුළු දේට සංවේදී වීම ආදී ප්‍රශ්න ගණනාවක් ඇතිවෙනවා. මෙම ප්‍රශ්නය අනුව පැහැදිලි වන්නේ ඔබත් යම් අධික මානසික පීඩනයකින් පසුවන බවයි. මානසික පීඩනය අධික වූයේ ඇයි යන්න සම්බන්ධයෙන් මතු වී තිබෙන ප්‍රශ්න විමසා බැලිය යුතුයි. ඔබට විසඳාගැනීමට නොහැකි ගැටලු තිබේද, පවුලේ ප්‍රශ්න, ආර්ථික සාමාජීය ප්‍රශ්න, රුකියාවේ ගැටලු තිබෙනවාදැයි සාකච්ඡා කර දැනගත යුතුයි. ඒ අතරතුර යම් මානසික කාංසා ආබාධයක තත්ත්ව තිබෙනවාදැයි බැලිය යුතුය. ඔබට ලබාදීමට ඇති උපදෙස වන්නේ ඔබ ප්‍රදේශයේ සිටින මනෝ වෛද්‍ය උපදේශකවරයා හමුවී සාකච්ඡා කරන්න. 

ලබන සතියේ ඔබේ ප්‍රශ්නයෙන් හමුවෙමු.

 

ආදරය , විවාහය , ජීවිතය ගැන තරුණ ඔබ විඳවන ප්‍රශ්නය ඔබ කැමැති නමකින් කෙටියෙන් අපට කියන්න. ඔබේ නම, රුකියාව කුමක් වුවත් හිතේ විඳවන ප්‍රශ්නයට හොඳම උත්තරය හදසරෙන්. 

‍ෆේස්බුක් ෆෑන් පේජ් මැසේජ්
ජීවිතේ  රිදෙන තැන් (Jeewithe ridena then)
ෆේස්බුක් නැත්නම් මෙහෙම ලියන්න.
Email - Jeewitheridenathen@gmail.com

සංස්කාරක, 
“ජීවිතේ රිදෙන තැන්”
හදසර අතිරේකය, දේශය පුවත්පත
නො 08, හුණුපිටිය හරස් පාර, කොළඹ 02.

I සසංක චලන ගිම්හාන