2022 ජුනි 19 වන ඉරිදා

තොරණක් මැද්දේ වටේට සාජ්ජේ

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:00 62

පොසොන් සතිය කියන්නේ මතකයන් පිරුණු සතියක්. අපි පොසොන් ගැන මතකය අවදි කරන්න වෙසක් සතියේ පොරොන්දු වුණා. විශේෂයෙන්ම තොරණ කතාවේ ඉතුරු ටික. ඉතින් ඒකට අපූරු අවස්ථාවක් අපිට ලැබුණා. අද මේ ඇසිල්ලේ මම ඉන්නේ සුන්දර කලබලයකට මැදිවෙලා. මේ කලබලය අතරේම කතාවට ආරම්භ ගන්න ඕනෑ කියලා හිතුණේ හේතුවක් ඇතුව. ඉතින් රහසේම ජංගමය දෝතට කැඳවලා ඔන්න මම ඩිජිටල් අකුරු ගලපනවා.

මේක සත්තකින්ම සුන්දර කලබලයක්. පන්සලේ බෝධිය මළුවේ ළඟ ශාලාවේ මගේ මිත්‍රයෙක් දහම් පාසල් දරුවන්ට බැති ගී පුරුදු පුහුණු කරනවා. බෝධි මළුව දහම් පාසලේ එක දෙක පංතිවල පුංචි දරුවන්ට සෙල්ලම් පිට්ටනියක් වෙලා. දොස් කියන්න නම් හිතක් නෑ එයාලා හරිම සුන්දර කලබලයක් ඇති කරන්නේ. තවත් පැත්තක දහම් පාසලේ පොසොන් කලාපය වෙනුවෙන් ලොකු පංතිවල දරුවෝ නිර්මාණ ඉදිකරනවා. මගේ මිත්‍රයෝ දෙන්නෙක් එතැන වැඩ. ඇත්තට මේ සුන්දර කලබලකාරීත්වය මාව මතකයේ ඈතින් ඈතට අරගෙන යනවා.

ඒ කාලේ පොසොන් සතිය දෙක කියන්නේ අපි හැමෝටම අවුරුද්දේ ලස්සනම කාලයක්. ඒකට හේතුව තමා අපේ පන්සලේ පොසොන් තොරණ. වෙසක් බලන්න ගිහිල්ලා තෝරගත්ත තොරණ ඔන්න පොසොන් එකට අපේ පන්සලේ ගහනවා. තොරණ බලන්න යන කතාව අපි පහුගිය සතියක කිව්වා. ඉතින් තොරණ ගැහිල්ල කියන්නේ වෙනම කලාවක්. මේ වැඩේදී තොරණ ගේන්න යන එක තමා මුල්ම අභියෝගය. ගමේ කොල්ලෝ වගේම දහම් පාසලේ අපේ කට්ටියත් මේකට එකතු වෙනවා. ලොකු හාමුදුරුවෝ හොයලා දෙන ලොරියක නැගලා තොරණ ගේන්න යන ගමන එකම විනෝදයක්.

වෙසක් එකට ගහපු තොරණ සීරුවට අපේ ලොරිය පටවන එක නම් ඉතින් ලේසී පහසු වැඩක් නොවෙයි. ඒත් කාලේ තිබුණ ගාය එක්ක අපේ උන්ට ඕවා මහා දේවල් වුණේ නෑ. තොරණ ගේන්න ගිහිල්ලා වෙච්ච රස බර කතා සෑහෙන්න අපේ මිත්‍ර සමාගමේ සාහිත්‍යට එකතුවෙලා තියනවා. ඒවා ඉතින් මෙහෙම අමුවෙන්ම කියලා දාන්න බෑ. මොකද ඒ සමහර කතාවල කපා හැරිය යුතු කොටස් එහෙමත් තියෙනවා. කොයිහැටි වෙතත් ඒ හරිම සුන්දරම කාලයක්.

තොරණ ගෙනාවට පස්සේ ගම වටේ පුවක් ගස් එකතු කරන්න ඕනෑ. දැන්නම් තොරණ ගහන්නේ යකඩ පලංචිවල එල්ලලා. ඒත් ඒ කාලේ එහෙම නෑ. පුවක් ගස් ගෙනැල්ලා හිටවන්න ඕනෑ. සාමන්‍යයෙන් තොරණක වැඩ පටන් ගන්නේ නැකතට. ඉතින් ඒ වැඩ ටික ලොකු හාමුදුරුවෝ ඇතුළු වැඩිහිටියෝ අතේ තමා තිබ්බේ. ඒවාට ඇපවෙච්ච පිරිසක් හිටියා. ඔය පුවක් ගස් කැපීම, කර තැබීම, කොට සිටුවීම වල් හෑරීම පුවක් පටි පැලීම වගේ කටයුතු වලට නොමසුරු දායකත්වය අපේ අයගෙනුත් ලැබුණා. තව අපේ ගමේ හිතවත් වැල්ලේ කොල්ලෝ කට්ටියක් හිටියා මේ වැඩේට. ඒ අයත් ලොකු හාමුදුරුවන්ට තොරණ කෙරුවාවට සුපිරි දායත්වයක් ලබාදෙන වැඩ්ඩෝ කට්ටියක්.

තොරණක් බඳිනවා කියන්නේ ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. ඒකට ඉතින් විෂය ප්‍රවීණයන් ඉන්නවා. කොහොම හරි මේ කාලේට තොරණ නිර්මාණ කරපු අයගෙන් එක්කෙනෙක් දෙන්නෙක් විතර පන්සලේ නතරවෙනවා. අපේ අයටත් ඒ අය එක්ක හිත මිත්‍රකම් නිර්මාණය වෙනවා ඉබේටම. එයාලා තමා වැඩේට තාක්ෂණික ඥානය සපයන්නේ. පස්සෙ පස්සේ අපේ අයත් හොඳ ප්‍රවීණයෝ වුණා තොරණ විෂය සම්බන්ධව. මොකද අපි මේ වැඩේ සෑහෙන්න කාලයක් කළා. තොරණේ වට්ටුව බැඳ බැඳ උඩට යන එක වෙනම හැඟීමක් දැනෙන වැඩක්. මුදුනට නැගීම කියන්නේ පිස්සුවක්. අපේ ගෙදරින් දන්නවා නම් මට කවදාවත් ඔය වැඩේ කරන්න දෙන්නේ නෑ ඒ කාලේ. ඇත්තට ඒක ටිකන් අවදානම් වැඩක්.

ම්ම්ම්.... ඔන්න ආයෙම මම මේ ඇසිල්ලට එන්නම්. දැන් අවුරුදු තුන හතරක් පන්සලේ තොරණ ගහන්න හම්බ වුණේ නෑ. පාස්කු ප්‍රහාරය, කොරෝනා ඔන්න දැන් ආර්ථික අර්බුදය. මෙදාපාර අපේ ලොකු හාමුදුරුවෝ දහම් පාසල් දරුවන්ට පොසොන් කලාපයක් නිර්මාණය කරන්න පවරලා. කට්ටිය ගජරාමෙට වැඩ. පොඩ්ඩක් වටපිටාව බැලුවාම අතීත මතක තමා ඇවිස්සෙන්නේ. පන්සලේ හැමදාම ඉදිවුණ උඩට නැගලා බහින්න පුළුවන් අපේ මිහින්තලාව මේ පාර පලංචි උඩ හදලා. ඕක ගහන්න පටන් ගත්තේ අපි මීට අවුරුදු දාහතරකට පහළොවකට උඩදී. සෑහෙන කට්ටක් කෑවා වැඩේට. ඕකත් ඉතින් අපේ පුවක් කොට වික්‍රමයක් තමා ඒ කාලේ.

ඇත්තටම විවිධ හේතු නිසා අපි වර්තමානයට වඩා අතීතයට කැමතියි. ඒක මානව ස්වභාවයක්. ඒ නිසාම අද අතීත කතාව තව දික් ඇදෙනවා. තොරණ එල්ලන එක ටිකක් අමාරු වැඩක්. ඒක නිරමාණකරුවන්ගේ මඟපෙන්වීම මත තමා කරන්න ඕනෑ. ලණු එහෙම සෑහෙන්න ඕනෑ. ඇත්තටම ඒ ඔක්කොම දේවල් මේ වෙලාවේ පැහැදිලි කරන්නත් අමාරුයි. කොහොම හරි තොරණ සම්බන්ධ අපේ වැඩ මෙතැනින් ඉවර වෙනවා. ඊටපස්සේ විදුලි කාර්මික වැඩ තමා කෙරෙන්නේ. ඒක අපිට අදාළ නෑ.
ඔන්න ඊටපස්සේ එන්නේ තොරණ විවෘත කරන පොසොන් දවස්. මෙතැනින් පස්සේ ගතවෙන්නේ ලස්සන දවස් ටිකක්. අපේ පන්සලට මීටර් සීයක් වගේ එහා පැත්තට ගාලු පාරේම තියෙන කන්දේ පන්සලෙත් තොරණක් ගහනවා. ඒ නිසා මේ හරිය දහස් ගාණක් මිනිස්සුන්ගෙන් පිරෙනවා. පොඩි කඩ, ඇවිදින වෙළෙන්දෝ, පුංචි දරුවෝ, කෙල්ලෝ කොල්ලෝ සෑහෙන්න. ඉතින් මේ දවස්වල අපේ ප්‍රාන්තය තනිකරම සැණකෙළි අසිරියක් ගන්නවා. තොරණේ ආධාර පත්‍ර ලියන වැඩ වගේම එහෙට මෙහෙට සෙනඟ හසුරවන වැඩවලට අපේ අයගේ පොඩි ඇල්ලමක් තිබ්බා. හිරිමල් යෞවනයේ හිටපු අපිට ඒකට නම් හේතු ගොඩක් තිබ්බා.

මේ සතියක්ම ගෙදර යන්නේ රූ දොළහට විතර. තොරණ අවසන් කළාට පස්සේ. ඉස්කෝලේ කාලෙදී වගේම රස්සාවක් කරන කොටත් ඒක වෙනස් වුණේ නෑ. මේ අපේ තොරණ කියන හැඟීමක් අපිට තිබුණා. අපේ තොරණේ උස ලස්සන ගැන අපිම කතා කළා. මිනිස්සුගෙන් ලැබුණ ප්‍රතිචාරවලින් අපි ආඩම්බර වුණා. ඒ හැඟීම් විස්තර කරන්න ආයේ තොරණක් ගහන්නම ඕනා.

අවට දන්සල්වලින් රූට තොරණේ කට්ටියට බත් එවනවා. නැත්නම් අපි ගිහිල්ලා අරගෙන එනවා. ඒත් බැරිවුණොත් අපේ අයට කෑම පන්සලේ උයනවා. ඒ නිසාම මේ දවස්වලට දන්සලේ බත් පන්සලෙන් කාලා අපි හතර අතේ කැරකි කැරකි ඉන්නවා. මේ අතර ආධාර කුටියේ වෙනම විනෝදයක් තිබ්බා. මෙතැන දහම් පාසලේ වැඩ සම්බන්ධ හොඳ උනන්දුවකින් කටයුතු කරපු සහෝදරියෝත් කාලෙන් කාලෙට හිටියා. ඒ නිසා මෙතැන සතුටු සාමීචිය ටිකක් වැඩියි. ඒ වගේම විහිළු තහළු නිමක් නෑ. කොහොම හරි හොඳ වැඩිහිටියෝ ටිකක් හිටියා අපි එක්ක.

ආධාර සෙත්පැතුම් අතරේ අපේ එකෙක්ගේ නම ලියලා හොරාට  යවනවා අපි වෙලාවකට. කොක්මාදුර කියන කවියා තමා වැඩිකාලයක් අපි එක්ක හිටියේ. අපි කාගෙත් හිතවතා ඔහු. දක්ෂයෙක්. ඔන්න කොහොම හරි අර අපේ මිත්‍රයාට මංගල ප්‍රාර්ථනාවක් අපේ කවියා රස කරලා කියනවා. මේක ටිකක් නරක වැඩක් වුණත් ඉතින් ඔය වැඩේ හැමපාරකම එක වතාවක් හරි සිද්ධ වුණා. වැඩේ දුරදිග ගියපු තැන් එහෙම නොතිබුණා නෙවෙයි. ඒත් ඒකත් එක්තරා විනෝදයක් තොරණ පාමුල රාත්‍රියන්වල.

මේ අතරේ ලොකු හාමුදුරුවන්ට හරි එතැන ඉන්න වැඩිහිටියෙක්ට හරි හෙමිහිට කියලා කීයක් හරි තොරණේ සල්ලිවලින්ම අපි ඉල්ලා ගන්නවා. ඒ ඉතින් හැමෝම වෙනුවෙන් ඉස්සරහ අයිස් ක්‍රීම් වෑන් එක පැත්තට ගොඩවෙලා එන්න. කොහොම හරි පැයක් විතර මහන්සි වෙලා තමා අයිස් සැලැස්ම ගොඩදාගන්නේ.

මේ අතර අපේ තොරණ බලන්න නානාප්‍රකාර චරිත එනවා. ඉස්කෝලේ යාළුවෝ කාලෙකින් හම්බවුණේ නැති හිතවත්තු එහෙම අපිට මෙතැනදී මුණෙගැහෙනවා. කතා කරනවා. දන්න කියන ගෑනු ළමයි එහෙමත් හම්බ වෙන්නේ නැතුවම නොවෙයි. නොදන්න අය ඊටත් බොහොමයි. කොහොම හරි තොරණ දවස්වල නම්බර් සෙල්ලමෙන් ගොඩගිය මිත්‍රයොත් හිටියා අපි අතර. කිව්වත් වගේ ඒ අපේ හිරිමල් යෞවනය.

ඒ මතකය හිතාගන්න බැරිතරම් විශාලයි. ඒ වගේම සුන්දරයි. තොරණ කෙරුවාව ගැන වරු ගාණක් වුණත් කයිවාරු ගහන්න පුළුවන්. ඒත් එකක් කියන්න ඕනෑ. අපේ තොරණ සම්බන්ධ අපිට වඩා කැපවුණ චරිත හිටියා. ඒ වගේම වැඩ්ඩොත් හිටියා. එයාලාට ප්‍රණාමය පුදන්න ඕනෑ. ආ අමතක වුණා... මම මුලින්ම ලිව්ව අකුරු, අච්චු ගැහුවේ තොරණ කතා වස්තුව ලියපු පොත නිසා. උසස් පෙළ වගේ වයසක හිටපු මට කියලා බලෙන්ම තොරණ කතාව ලියෙව්වේ ලොකු හාමුදුරුවෝ. එක වැදගත් දෙයක් කියලා උන්වහන්සේ ඒ කාලේ කිව්වා මට මතකයි. පස්සේ දෙතුන් පාරක් මම ඒ වැඩේ කළා.

තොරණ වගේම තවත් පොසොන් අත්දැකීම් ගොඩක් මතකයට එනවා. අපි එකතු වෙලා අවට තොරණ බලන්න දන්සැල් වඳින්න ගියපු හැටි ලොකු හාමුදුරුවෝ එක්ක පොසොන් කලාපේ නිරීක්ෂණ චාරිකා ගියපු හැටි. පොසොන් භක්ති ගීත කියපු හැටි. තවත් එකී මෙකී නොකී කතා පිළිබඳ මතක අවදි වෙනවා. ඇත්තට ඉඩපාඩුවක් වගේම ඉස්පාසුවක් නෑ ඒ ඔක්කොම මතක ලියා තියන්න. ඇත්තටම මම දැන් ඉන්නේ සුන්දර කලබලයකට මැදිවෙලා.
අද වෙනකොට දහම්පාසල් ගුරු භූමිකාවෙන් ඈත්වෙලා සැලකිය යුතු කාලයක් ගතවෙලා. ඒ මේ වගේ වැඩක් වෙනකොට අපි තාමත් ඉබේටම පන්සලට ඇදෙනවා. මේ පන්සල් කෝස් එක කරපු අය ඒකට හේතුවත් දන්නවා. මේක වෙනම මානසික සුවයක් දැනෙන තැනක්. මේ පුංචි උන් අපෙන් පස්සේ යෂ්ඨිය අතට අරන්. ඒත් ඇත්තටම මේක අපිට අත හරින්න බැරි පුරුද්දක් වෙලා.

I නිසල්