නොහිතන මොහොතක නොහිතන තැනකදි හමුවෙන දෙයක් තමයි ආදරේ කියන්නෙ. ආදරේ භාෂාව හරි පුදුම දෙයක්. දුප්පත් වගේම පොහොසත් දෙයක්. ලස්සන ගෙවත්තක් මැද එක ලොකු ගහක් තියෙනවා. ඒ ගස වෙන්වෙන්නේ සරස්වතී කියලා ගැහැනු ළමයෙක් වෙනුවෙන්. ඇය ජීවත්වෙලා තියෙන්නෙ අවුරුදු විසි එකක්. මොළයේ හටගත් ගෙඩියක් ඇගෙන් ජීවිතය ඉල්ලගද්දී ඇයට අවුරුදු විසි එකක්. එහෙත් ඇය නමින් සනාතන ආදරයක් හදවතේ හංගගත්ත කෙනෙක් ඇය වෙනුවෙන් ජීවත් වෙනවා. සරස්වතී හෙවත් සරුට මොකද වුණේ? ඒ ආදර කතාව තමයි සනම් තෙරි කසම් හින්දි චිත්‍රපටය කතා කරන්නේ.
සරුගේ විවාහය එයාගේ මුළු පවුලටම ප්‍රශ්නයක් වෙන්නේ සාම්ප්‍රදායික යුවතියක් වුණු ඇයව විවාහ කර ගන්න කවුරුත් අකමැති වූ හින්දා. එහෙත් ඇත්තටම ඇය හරි ලස්සනයි. ඇය අවලස්සන වීම නෙමෙයි ඇත්තම ප්‍රශ්නය වුණේ. ඇගේ ලස්සන දකින්න තරම් පිරිමියෙක් නොහිටිය එකයි ප්‍රශ්නය වුණේ. සරුගේ විවාහය ප්‍රමාද වීම ඇයගේ නංගිටත් විශාල ප්‍රශ්නයක් වෙන්නේ අක්කා විවාහ වෙලා ගෙදරින් යනකම් ඇමරිකාවේ ජීවත් වන ඇගේ පෙම්වතා ළඟට යන්න ඇයට විදිහක් නැති හින්දා. ඇය ජීවත් වෙච්ච තට්ටු නිවාසේ ඉන්න කඩවසම් තරුණයෙක්ගේ පෙම්වතිය වෙන්නේ ප්‍රසිද්ධ රෑපලාවණ්‍යාගාරයක අයිතිකාරියක්. අම්මත් තාත්තත් වන්දනාවක ගිය මොහොතක ඇය ඔහුගේ නිවසට යන්නෙ එම රෑපලාවණ්‍යාගාරයට ගොස් පිරිමියෙක් කැමති වන ආකාරයට ඇගේ පෙනුම වෙනස් කර ගන්න අවශ්‍ය රූපලාවණ්‍ය සත්කාර වෙනුවෙන් අර තරුණයාගේ පෙම්වතියගෙන් වෙලාවක් වෙන් කරලා දෙන්න කියලා කියන්න. ඒත් සිද්ධවෙන්නේ නොහිතුව දෙයක්. සෙල්ලක්කාර තරුණියක් වූ රෑපලාවණ්‍යාගාරයේ හිමිකාරිය ඒ මොහොතේ බීමතින් පැමිණ ඔහුට දොස් නගමින් පහර දෙනවා. අවසානයේ තට්ටු නිවාස සංකීර්ණයේ මුරකරු වැරදි වැටහීමක් ඇතිකර ගන්නෙ සරු නම් මෙම සම්ප්‍රදායික යුවතිය මුළු රූම ගතකර ඇත්තේ ඔහු සමඟ කියලා. ඔහු ඇගේ දෙමව්පියන් ඇතුළු සියලු දෙනාටම පවසමින් එතන නිර්මාණය කරන ගැටලුව ඇයව නිවසින් එළවා දමන්නට තරම් හේතුවක් වෙනවා. ඇගේ පියා ඇය මියගිය එකියක ලෙස සලකා නිවසේ පූජාවන් ද පවත්වා ඇගේ සේයාරුවට මල් මාලයක් දමා තියෙනවා. යන එන මං නැතිවෙච්ච ඇයට අවසානයේ ඉන්න තැනක් හොයලා දෙන්නෙ අර කඩවසම් තරුණයා. ඔහු අවුරුදු දහතුනේ දී හිරගෙදරට නියම වෙන්නේ තමන්ගෙ කිරි අම්මව දූෂණය කරන්න ආපු තමන්ගෙ මාමාව ඝාතනය කළැයි කියන වරදට. ඒත් ඇත්තටම ඒ ඝාතනය සිදු වෙන්නේ ඔහු අතින් නෙමේ ඔහුගේ කිරි අම්මා අතින්. ඒත් ඔහු කිරි අම්මා බේරාගනිමින් ඝාතකයා බවට පත්වෙනවා. බලපුළුවන්කාර සල්ලිකාරයෙක් වුණත් ඔහුගේ තාත්තා ඔහුව අත්හැර දමනවා. අවුරුදු විසි එකේ සිට සිරගෙදරින් නිදහස් වනවිට ඔහුට ඔහුගේ කියන්න කිසි දෙයක් නෑ.
ඔබ අවලස්සන යැයි ගැරහුම් ලබන අර යුවතියට අවසානයේදී ඔහු ආදරය කරන්න පටන් ගන්නවා. ඒත් ඇය දන්නේ නැහැ ඔහු ඈට ආදරේ කරන බව. ඒ වෙද්දී ඇයට පෙම්වතෙක් ඉන්නවා. ඒත් අවසානයේ ඒ පෙම්වතා ඇයව විවාහ කර ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ ඔහුගේ පොහොසත් දෙමාපියන් විසින් අත්හැර දමන ලද ඇයව පිළිගන්න අකමැති බව පවසමින්. ජීවිතේ කාත් කවුරුත් නැතුව හුදෙකලා වූ ඇගේ ජීවිතය අවසානයේ බාරගන්නේ අර කඩවසම් තරුණයා විසින්. ඔහු ඇත්තටම ආදරේ කරනවා ඇයට.
ඒ අතරතුර තමයි දැනගන්නේ ඇය මොළේ ගෙඩියක් නිසා තවත් ජීවත් වන්නේ ඉතාමත් කෙටි කාලයක් බව. එහෙත් මරණය සොයා යන්නට සැරසී සිටින ඇයව ඔහු මනමාලිය ලෙස තමන්ගේ ලෝකයට කැන්දාගෙන එනවා. ඒත් එක දවසක්වත් ඒ ආදරණීය ජීවිතය විඳින්නට ඉඩහසරක් දෙන්නෙ නැහැ ඉරණම. ඇගේ අම්මයි තාත්තයි හමුවී ඔහු මේ සියල්ල පවසන්නේ දැන්වත් ඇගේ සේයාරුවට මැරෙන්නට පෙර මල්මාලය දමන්න එපා යැයි ඉල්ලමින්. අවසානයේදී ඔහු ඇයව විවාහ කර ගන්න දවසේ ඒ අම්මයි තාත්තයි එනවා ඇය බලන්න. ඔවුන් එදා තමයි දැනගන්නේ ඇය සුව කළ නොහැකි රෝගයකින් පීඩා විඳින බව. ඇය අම්මටත් තාත්තටත් කියනවා තාත්තෙ ඔයා මම වෙනුවෙන් දෙවියන්ගෙන් ඉල්ලුවේ මරණය. ඔයා මට සැලකුවේ මැරිච්ච දුවක් විදිහට. හොඳ දෙයක් ඉල්ලුවත් නරක දෙයක් ඉල්ලුවත් දරුවන් වෙනුවෙන් ඉල්ලන දෙයක් දෙවියන් දෙනවා. දෙවියන් මේ දීලා තියෙන්නේ ඔබ ඉල්ලුව දේ වෙනුවෙන් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය. ඒ නිසා මට යන්නම වෙනවා තාත්තේ කියලා. ඇය ගිය පසු ඇය වෙනුවෙන් ආදරණීය සිහිවටනයක් තියන්න ඔහු ඔහුගේ අත්හැර දමන ලද පියා ළඟට ගොස් ගෙවත්ත මැද තිබුණු අර විශාල ගහෙන් එක ඉඩක් ඉල්ලනවා. මුළු ජීවිත කාලය පුරාම ඔහු ඔහුගේ තාත්තගෙන් යමක් ඉල්ලුවා නම් ඒ එච්චරයි.
ආදරේ තරම් ජීවිතය තරම් මරණය සුවදායක වෙන්නේ නැහැ. මරණය උණුසුම් වෙන්නෙත් නැහැ. මරණයේ වර්ණය හැමදාමත් අවර්ණයි. සීතලයි. එහෙත් නියත දහමට අවනත නොවන කිසිවක් මේ විශ්වයේ නැහැ. ඒ නිසා යා යුතු මොහොත පැමිණි සැණින් යා යුතුමයි. මට හිතෙන්නේ එහෙම මොහොතක කෙනෙක්ට අත්හරින්න අමාරුම දේ තමා ආදරේ. ජීවිතේම සෙයින් දැනෙන ආදරය. ජීවිතය අත්හරින්න ලෝබකමක් නොදැනුණත් ආදරය අත්හරින්න හුඟක් මිනිස්සු හරි ලෝබයි.
ආදරේ කියන්නේ ආදරයම විතරයි. ආදරේට ආදරේම හැරුණුකොට නිර්වචන උපමා උපමේය කිසිවක්ම මේ ලෝකයේ නෑ. ඇත්තටම ආදරේ කියන්නේ හරි පුදුම දෙයක්. ජීවිතේට ආත්මයක්. ජීවිතේ නිවා සනහන සංගීතයක්. ජීවිතේ මත නොනිවී දැල්වෙන පහනක්. ඒත් ඒ පහන සදා නොනිවී දැල්වෙනවනම් මරණය පැමිණ අඬගසන මොහොත තෙක් ජීවිතය ඇත්තටම හරිම සුන්දරයි.