ජීවිතේ පුරාවට හමුවෙන එහෙත් අපිට මඟහැරෙන චරිත ඉන්නවා. ඒ වගේ කෙනෙක් ගැන මතකයක් අවදි කරන්න ඕනෑ කියලා හිතුනෙ සෙනසුරාදාවක. සිකුරාදා දීර්ඝ රාත්‍රියක් වුණ නිසා උදේම නින්දෙන් ඇහැරුණේ බයිසිකල් සීනුවකට. ''ආ පත්තරේ'' නිදි මරගාතෙම මම පත්තරේ ගන්න එළියට ආවා.
පත්තරේ අංකල් එක්ක පත්තර ගැනම වචන දෙක තුනක් කතා කරලා. මම පත්තරේ අතට අරගත්තා. ඒ මොහොතේ තමා මේ අදහස පහළ වුණේ. මේ සැරේ මතක මඟ දිගේ කතාවට පත්තර අංකල් ගැන ලියන්න ඕනෑ. ටිකක් දවල් වෙන්න ඇරලා ඔන්න වැඩේ පටන් ගත්තා.
පත්තර අංකල් ගැන මතක ජීවිතේ ගොඩක් ඈතට දිවයනවා. එතකොට අපි හිටියේ මහ ගෙදර. මගේ වයස ගැන නම් හරි හැටි නිනව්වක් නෑ. යාන්තම් දේවල් තේරෙන්න පටන් ගත්ත කාලෙ වගේ. ඉතින් ඉරිදා පත්තරේ එන්නේ අද වගේම සෙනසුරාදා. මම හිතන්නේ අපේ ගෙදර එන පත්තරේට ගෙදර කවුරු හරි කලින්ම සල්ලි ගෙවලා තිබුණේ. ඒ නිසා පත්තර අංකල් අපේ ගේ ඉස්සරහා නතර වෙන්නේ නම් නෑ.
පත්තර අංකල් එන්නේ ස්ටෑන්ඩට් බයිසිකලේක ඉස්සර කූඩේ පත්තර පුරවගෙන. ඒ එක්කම හිමින් නම් ගමනක් නෑ එයාට. ගේ ඉසහරයින් රෑං ගාලා ඉගිලෙනවා. ඔය වයසේදී වැඩිහිටියෙක් ඔච්චර වේගයෙන් බයිසිකල් පදිනවා මම දැකලා තිබුණෙම නෑ. පත්තර අංකල් සරමක් ෂර්ට් එකක් අඳින කළු හීන්දෑරී කෙනෙක්. වැඩිය කාත් එක්කවත් ලොකුවට කතාබහක් නම් නෑ ඒ කාලෙත්. රුකියාවට තමා මුල්තැන.
මහ ගෙදර ඉස්සරහා තිබුණේ ක්‍රෝටන්, කෝප්ප කොළ වගේ ගස්වලින් හැඩවුණ පිළිවෙළකට කපපු ලස්සන මල් වැටක්. වැටට ගොඩක් ළඟින් තමා ඉස්සරහා ඉස්තෝප්පුවත් තිබ්බේ. ඉතින් පත්තර අංකල් අපේ පාර දිගේ ගේ ඉස්සරහයින් රෑං ගාලා ඉගිලෙන ගමන් ක්‍රීං... ක්‍රීං... ගාලා බෙල් එක දෙපාරක් ගහනවා. ඔන්න එතකොට මම දන්නවා පත්තරේ එවනවා කියලා. මං ටක් ගාලා ගේ ඉස්සරට දුවගෙන එනවා.
එහෙම එනකොටම අර ලස්සම මල් වැට උඩින් අපේ පදික වේදිකාවට පත්තරේ පියාඹලා එනවා. සමහර වෙලාවට ඉස්සරා දොරෙන් ගේ ඇතුළටම ඉලක්කය ගන්න පත්තර අංකල්ට පුළුවන්. ඉලක්කය වැරුදුණු දවසුත් නොතිබුණා නෙවෙයි. ඒ කොහොම වුණත් පුංචි කාලේ ඒක මට විශ්මය එක් කරපු දෙයක් වුණා. ඒ නිසාම මේ සිද්ධිය සම්පූර්ණයෙන්ම බලන්න ඕනෑ නිසා මම කල් ඇතුව එළියට ඇවිල්ලා පත්තරේ එනකල් බලාගෙන හිටපු දවසුත් තිබ්බා.
පස්සේ කාලෙක තමා දැනගත්තේ පත්තර අංකල් ''කෝකියෙක්''. ඒක වුණේ මෙහෙමයි. අපේ නංගි වැඩිවියට පත්වීමේ උත්සවය වෙනුවෙන් කේටරින් එක බාර දුන්නේ අපේ හිතවත් මාමා කෙනකුට. මෙන්න එයා එක්ක පත්තර අංකලුත් රූ උයන්න ඇවිත්. එතකොට නම් මම උසස් පෙළ සාමාන්‍ය පෙළ වගේ ඇති. එදා තමා මම පත්තර අංකල් කට්ටිය එක්ක කතා බහ කර කර වැඩ කරනවා දැක්කේ. කොහොම වුණත් අපේ ගෙවල්වල ඔහු සහ ඔහුගේ පවුල්වල විතර දැනගෙන හිටියා.
ඔන්න ඔහොම කාලය ගෙවිලා ගියා. මමත් පත්තරේක රස්සාවටත් ගියා. පත්තරේ අරගෙන පත්තර අංකල් හැම සෙනසුරාදාවකම අපේ අලුත් ගෙදරටත් ආවා ගියා. අවුරුදු හතරකට විතර කලින් එක දවසක පත්තර අංකල් අපේ පත්තරේ දෙන්න මිදුලට එනකොටම වැස්සක් කඩාගෙන පාත්වුණා. පත්තරයි වැස්සයි කියන්නේ ජන්මාන්තර හතුරෝ. වැස්සේ පත්තර විකුණන්න බෑනේ ඉතින්. ඔන්න පත්තර අංකල් හනිකට බයික් එක අපේ ඉස්තෝපුවට දාලා ඉටිකොළ වලින් පත්තර කූඩෙයි ආවරණය කළා. වැස්ස පායන පාටක් නෑ. පත්තර අංකල් ඉස්තොප්පුවේ වාඩිවෙන්න හැදුවේ. මම ඔහුට ගේ ඇතුළට ආරාධනා කළා. වැස්ස පායනකල් පැයකට ආසන්න කාලයක් අපි ලොකු කතාවක් දැම්මා. අම්මා හදලා දුන්නා කෝපි එකක් බිබී ආගිය විත්ති ගැන, පත්තර රස්සාව ගැන අපි කතා කළා. අම්මත් මේ සාකච්ඡාවට හවුල් වුණා අතීත කතා එක්ක.
අවුරුදු ගාණක් දුර ඉඳන් බලන් හිටපු හැම සතියකම අපේ ජීවිතය හරහා රූං ගාලා ඉගිලිලා ගිය මේ අපූරු චරිතයට සම්මුඛ වෙන්න ලැබීම කොහොම හරි මට එදා ආස්වාදජනක සිදුවීමක් වුණා. ඒ වැස්සත් එක පැත්තකින් ඉඳගෙන අපේ කතාබහට අපූරු හැඩයක් එකතු කළා. ඒත් වැස්ස ගැන නම් පත්තර අංකල්ට එදා තිබුණේ අමනාපයක්. මේ කතාව ඉවරවෙලා ඔහු පිටත්වුණාම මට අපූරු අදහසක් ආවා. පත්තර බෙදන්නෙකුගේ ජීවන අත්දැකීම් ගැන විශේෂාංගයක් ලියන්නම ඕනෑ කියලා.
පස්සේ දවසක මම ඒ වැඩේට අත ගැහුවා. එදා ඒ ලිපියේ නම වුණේ ''අවුරුදු 35ක් තිස්සේ පත්තර බෙදන ආනන්ද'' මේ ලිපිය ලියන්න ඕනෑ තොරතුරු ගන්න මම ආනන්ද අංකල් හම්බවෙන්න එයාලාගේ ගෙදර ගියා. තේ කහට එකක් බොන ගමන් ඔහුගේ ජීවිතය හරහා අපි රූං ගාලා ඉගිලිලා ගියේ බයිසිකලේ ඩබල් දාලා. එදා ඔහු කිව්ව සමහර කතා තාමත් මට මතකයි. අදත් උදේ ඔහුව දැක්කම මට ඒ කතා මතක් වුණා. ඇත්තම මේ කතාව ලියන්න නිමිත්ත වුණේ ඒකම තමා.
ආනන්ද අංකල් මේ රස්සාව පටන් අරගෙන තියෙන්නේ අවුරුදු 17දී. ඔහුට ඔහුගේ ආදරණීය බිරිඳ හම්බ වෙලා තියෙන්නෙත් පත්තර රස්සාව නිසා. අද පත්තර අංකල් ඉන්න කැදැල්ල ඔහු ඉදිකරගෙන තියෙන්නෙත් මේ රුකියාවේ දහදිය මහන්සියෙන්. හැමදාම මහා පාන්දර අවදි වෙලා පාපැදියට ගොඩවෙලා කිලෝමීටර් දහයකටත් වැඩි දුරක් පත්තර බෙදන්න යනවා.
පත්තර අංකල් එදා මේ රස්සාවේ නිවාඩු ලබා ගැනීම පිළිබඳ කීවේ තවත් අපූරු කතාවක්.
“නිවාඩු නම් මම ගන්නේ නෑ. අප්‍රේල් නිවාඩුවේ හැර. ගිය අවුරුද්දේ දවස් තුන්සිය හැටේම මම වැඩකරලා තියෙනවා. මේ අවුරුදේ ඒ වාර්තා කැඩුණා. ගිය සුමානේ අසනීප වෙලා දවස් හතරක් ඉස්පිරිතාලේ හිටියා. නැත්නම් හැම අවුරුද්දෙම මම නිවාඩු ගන්නේ නැති තරම්. කොච්චර වැස්සත් කොච්චර අමාරුවුණත් රස්සාව කරනවා.”
මතකය තවත් අවදි වෙනවා. ඔහු එදා කී බොහෝ දෑ සිහිවෙනවා. අවුරුදු නිවාඩුවට වුණත් පැය කිහිපයක් හරි දවසෙකට බයික් එක පදිනවා කියලා එදා ඔහු කිව්වා. ම්ම්ම්... ඇත්තට මේ කතාවට මෙහෙම අවසානයක් දෙන්න හිතුවා. ජීවිතයේ මුණගැහෙන බොහෝ චරිතවල සැබෑ ගැඹුරු අපි දන්නෙ නෑ. හරියට ගඟක මුහුදක මතුපිටින් ගැඹුර දැක හඳුනාගන්න බෑ වගේ. ඒත් අපිට මිනිස්සුන්ගෙ ජීවිත හරහා යන්න අයිතියක් නෑ. ඒ නිසා අඩුම තරමේ මිනිස්සු එක්ක කතා කරන්න. ජීවිතය ගැන අපූරු පාඩම් ඔවුන්ගේ කතාවල තියේවි.
ඉතින් අදට සමුගන්නම්, ඉදිරි සතියක දිනක ඔහු මට මුණගැහෙනවා. ඔහුගෙන්ම පත්තරේ අරගෙන මේ කතාව ඔහුටම පෙන්නනවා. ඔව්, ඇත්තටම ජීවිතය කියන්නේ විශ්මයක්.
I නිසල්