(මෙම ගීතය යශෝධරාවගේ ආත්ම කථනයක් ලෙස විවරණය කරමි)
සංසාර සක්මන පුරා මා නිබඳ ලද වත්කමක් වෙත්නම් ඒ මා නුඹෙන් ලද ප්‍රේමයයි...... සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ ආ ගිය මග තොට සංසාර මන්දිර පුරා අනුපමේය ප්‍රේමණීය භක්ත්‍යාදරයෙන් මා දැල්වූ පහන් සිල නුඹෙන් ලද ප්‍රේමයයි....... ඉඳින් ඒ සංසාර චාරිකාවේ සංසාර මන්දිර සදන්නට යළි නොපැමිණෙන රිසියෙන් නුඹ මා අතැර යන බව දැන දැනත් මම නුඹ කෙරෙහිම බැඳුනෙමි....... ප්‍රේමය නම් එයැයි..... සසර පුරා කිසිවක්ම ඔබගෙන් නොඉල්ලමින්, ගැහැනියකට ප්‍රේමය වෙනුවෙන් දන් දිය හැකි සියල්ල නුඹ වෙනුවෙන් දාන පාරමිතාවක් කර දන් දුන් ගැහැනිය මමයි..... නුඹ නිර්වාණ ද්වාරයෙන් නික්මෙන ප්‍රාර්ථනාවෙන් නිර්වාණ පාරමිතාව පුරන්නට ඇස්, ඉස්, මස්, ලේ දන්දෙද්දී නුඹ හා එක්ව ආ සංසාර දිගු වන්දනාවේදී ප්‍රේම පාරමිතාව පූරණය කරන්නට නුඹ නමින් ආත්මයම දන්දුන් ගැහැනිය මමයි...... ළය ලෙය විනිවිද නුඹ ගැන උපන් ප්‍රේමයෙන්, වත්කම් නොයදිමින් නුඹ කෙරෙහිම බැඳුණු සිත් ඇති ගැහැනිය මමයි........ ඉඳින් ජීවිතයම නුඹ වූ කල්හි..... ස්වාමි ස්නේහයෙන් මෙන්ම දාරක ස්නේහයෙන්ද නුඹ කෙරෙහිම බැඳී ගිය කල්හි........ හුස්මක් සෙයින් සංසාර මුදුන් මුල දක්වා නුඹ වෙනුවෙන් උපන් ප්‍රේමයේ මතක විහිද ගිය කල්හි....... නුඹ මගේ නොව මගේම යැයි මට හැඟෙද්දී, දැනෙද්දී...... නුඹ රකින්නට අවැසි මොහොතක මගේ ප්‍රාණය වුව නුඹ වෙනුවෙන් පුදන්නට තරම් නුඹ මගේ ජීවිතය යැයි මට හැඟෙද්දී, මට දැනෙද්දී... සංසාර භාවනාවක නොවෙනස් නිමිත්ත නුඹම යැයි මට හැඟෙද්දී.... දැනෙද්දී....
වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී......
නොහඬා දරාගත් සමුගැනීමක වේදනාව සංසාරයක් පුරා ගැටගැහුණ උත්තරීතර ස්නේහයක මතක පිරිසිඳ උල් කටුවක් සෙයින් හදවතේ ඉසියුම් ඉසව් පාරවද්දී නොහඬා සිටිනු නොහැක මට..... එහෙත් මා හැර ගියායැයි කිසිවකුගෙන්වත් නුඹට දොසක් අසන්නට ඉඩ හසරක් නොතියා මම මටම ඇසෙන්නට පමණක් හැඬූ වග නුඹ දන්නවා නම්....... සසර පේවි රැගෙන ආ ප්‍රේමයේ මහිමය එයැයි...... නුඹට කිසිදා අකැප වන්නට ඉඩ නොහළ මගේ ප්‍රේමයේ මහිමය එයැයි........
ළා දලු බෝපත් සෙමින් සැලෙන සේ
යශෝධරා දේවි
වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී...........
නුඹ මා හැර ගියත් හිස්තැනක් නොදැනෙන අරුමය......... ප්‍රේමය නම් එයැයි...... එදා ළඟ සිට දුටු ඔබත් මෙදා දුර සිට මා දකින නුඹත් මට දෙදෙනකු නොවේ...... ඒ ප්‍රේමය සහ නුඹ මගේ සංසාර ප්‍රාර්ථනාවයි... ..අද මගේ වත්කමක් සෙයින් ළඟ පාතක නුඹ නොරැඳුනත් සසරක් පුරා භවයෙන් භවය දැල්වූ ප්‍රේමයේ හැම පහනකම ආලෝකය අදත් මම විඳින්නම්, භවයෙන් භවය රැගෙන ආ මතක සමුදායක් අස තනිව.... එහෙයින් සිහිනෙන්වත් තවත් නිය තුඩකවත් පහසක් ලබන්නට මට නොම සිතෙයි... සඳකිඳුරැ භවේදී සඳගිරි පව්ව මත සාක්ෂියක් කර තැබූ නුඹටම පමණක් කැප කළ මා ප්‍රේමයේ අනුහස එයයි.....
ලේන කුලේ සිට ආ ගිය මග තොට
සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
නිවන් දකින තුරු මේ සංසාරේ
පසුපස ආවා සෙවණැල්ලක් වී.........
අසනු මැන..... දැන හෝ නොදැන ඔබ මවෙත තිළිණ කළ රිදුම් මා නුඹ වෙනුවෙන් දරා නොගත්තා නම් නුඹට බොහෝ දේ අත්හැර යන දවස පමා වෙන්නටත් තිබුණා යැයි මට සිතේ....... නුඹට අත් හැර දමන්නට අවැසි සියල්ල අත් හරින්නට ඉඩ දී මම නිහඬ නොවුණා නම්....... නුඹ යන මග තොට අඳුරැ සෙවණැලි රඳන අමාවක රාත්‍රියක් සේ මා රැඳුණානම්,....... අහන්න ජීවිතයේ ගිරිදුර්ග පසුකර සොඳුරු නිම්නයකට නුඹේ සක්මන සැපත් වෙන තුරු මම පහනක් සේ දැල් වුණෙමි...... නුඹ මා අතැර ගිය ඒ රාත්‍රියේ නුඹ නොකියාම යන වග මට නොදැනුණා නොවේ.... දුරින් ඇසෙන නුඹේ මුදු පා හඬ පවා හඳුනන මගේ හදවතට නුඹ නික්ම යන හඬ නෑසුණා නොවේ..... එහෙත් නිහඬ සංසාර සම්මුතියකට රහසේම ඉඩහැර නුඹේත් මගේත් සංසාර සමුගැනීමේ ප්‍රථම පියවර නොසැලී සසැලුණු හදින් මා දරාගත් වග නුඹ දන්නවාද?
ඈත ඈත භවයෙන් භවය මා නුඹ ළඟ සෙවණැල්ලක් සෙයින් දැවටුණු මතක අනන්තයකි...... නුඹ නිදුකින් නොවුණු මොහොතක මම නුඹට අම්මා කෙනෙක් වුණෙමි....... නිදි වරමින් නුඹ අසල රැඳී ගිලන් වූ නුඹට මා දෑතින් කළ උවටැන් අපමණය.... කවා පොවා සනහා නුඹේ ඇස් පියවෙනතුරු මම නිදි නොලද්දෙමි. නුඹ කුස පිරෙන තුරු මට කුසගින්නක් නොදැනුණි. නිබඳ ආශිර්වාදයෙන් නුඹ යන ගමන් මග මලින් සැරසූයෙමි. මා සිරුරේ සෑම ශක්ති මාත්‍රයක්ම නුඹට අස්වනු නෙළනු රිසියෙන් කැප කළෙමි.... මා නික්ම යනතුරු ඔබ නික්ම නොයනු මැනවැයි පැතුවෙමි. මට කියන්න ඔබ පිරූ සියලු පාරමිතා අසමාන වුවත් ප්‍රේම පාරමිතාව මා තරම් පුරන්නට නුඹට හැකි වී දැයි මට කියන්න........
තැලී සෙනේ සිත සැලී හඬන විට
වැටී දෙපා ළඟ යශෝධරාවෝ
පිපී නිවන් මල් සාදුකාර දි
නිවී පහන් විය උදෑසනක් සේ....
සමුනොදී සමුගත් වේදනාවෙන් ආතුර වූ සිත සසර මැඳුරේ නිමැවුම සුණු විසුණු කරන තෙක්ම මම ඉවසා දරාගත්තෙමි. අවසන නුඹේ පය පාමුලෙහි අමා වැස්සක් සෙයින් ඇද හැලුණේ සසරක් පුරා මා දරාගත් ස්නේහයකට සමුදුන් වියෝගයේ කඳුළයි....... සියලු සිත් පිරිසිඳ නුඹ පැමිණි මගෙහිම අවසන මමත් ආවෙමි. මගේ සංසාර ප්‍රේම පාරමිතාව වෙනුවෙන් නුඹ මවෙත තිළිණ කළ උත්තරීතරම ත්‍යාගය එයයි. ඉඳින් යළි යළිදු සංසාර මන්දිර තනන්නට සංසාර වීදියෙන් වීදියට කිසිදා අප හමුනොවනු ඇත.
යළිත් මේ සංසාර ආරණ්‍යයේ ප්‍රේමය හෝ ජීවිතය වෙනුවෙන් නුඹ සහ මම පෙරවදන් නොලියනු ඇත. ප්‍රේමයත්, ජීවිතයත් අස මා සාක්ෂාත් කළ නිර්වාණය එයයි..... ඔබ මවෙත දන්දුන් මනුෂ්‍යත්වයේත් ආදරයේත් අපිරිමිතයද එයයි.
(පද: රඹුකන සිද්ධාර්ථ හිමි
සංනාද: එච්.එම්. ජයවර්ධන
ගායනය: කරුණාරත්න දිවුල්ගනේ)
I සංජු