ඉෂාරා.... අපිට චූටි දුවගේ නම කියන්න?
අපෙ චූටි දුවගේ නම ඉසස්යා සිදුප්රි සඳුමිණි පතිරණ. දැන් චූටි දුවට වයස අවුරුදු හතරයි මාස පහයි.
දැන් එයා කොහොමද? දඟයිද?
අම්මෝ... ඔව්. එයා නම් දැන් දඟ මල්ලක්. මායි අනුරයි පොඩ්ඩක් තැම්පත් දෙන්නෙක්නේ. හැබැයි චූටි දුව ඒකේ සම්පූර්ණයෙන්ම කණපිට චරිතයක්. එයා දඟේ උපරිම දඟ දරුවෙක්. ඒ වයසේ හැටි වෙන්න ඇති. චූටි දුව හරිම හුරතල් දරුවෙක්. උදේ නැගිට්ට වෙලාවේ ඉඳන් රූ නිදාගන්නකම් එක තප්පරයක්වත් එකතැන ඉන්නේ නැති තරම්. එයා හරිම ක්රියාශීලී දරුවෙක්. රූටත් නින්දෙන් දඟලනවා.
ඉෂාරා ගෙදර ඉන්න වෙලාවට චූටි දුවගේ ප්රතිචාර කොහොමද?
මායි අනුරයි ගෙදර ඉන්නවට චූටි දුව හරි ආසයි. මගේ අම්මයි තාත්තයි වගේම අනුරගේ අම්මයි තාත්තයි එක්ක තමයි චූටි දුව අපි දෙන්නා නැති වෙලාවට ඉන්නේ. ඒ අය එක්තත් ඉන්න ආසයි. හැබැයි අපි දෙන්නා ගෙදර හිටියොත් චූටි දුවට ඊට වඩා සතුටක් තවත් නැති තරම්. රූට නිදාගනිද්දී ''අම්මී හෙට ඔයාලා යනවා'' නේද? කියලා අහද්දී මම ''ඔව්'' කිව්වොත් ''අනේ ඉක්මනට එන්න මට ඔයාලා නැතිව පාළුයි'' කියලා කියනවා. අපි දෙන්නගේ අස්සේ රිංගගෙන ඉන්න තමයි චූටි දුව වැඩිපුරම කැමැති.
ඔයයි දුවයි ගෙදරදි වැඩිපුරම කරන්නේ මොනවද?
ගෙදරදි අපි දෙන්නා නොකරන දෙයක් නැති තරම්. මම එහෙම නටන කෙනෙක් නොවුණත් රූපවාහිනියෙන් හෝ ෆෝන් එකෙන් සිංදුවක් දිලා අපි දෙන්නා නටනවා. දුවට නටන්න නම් මාත් එයා එක්ක නටන්න ඕනේ. අපි දෙන්නා සිංදු කියනවා. සෙල්ලම් කරනවා. චූටි දරුවෝ එක්ක සෙල්ලම් කරද්දී අපිත් හරියට පොඩි දරුවෝ වගේ වෙනවා. ඒක සම්පූර්ණයෙන්ම ඇත්ත. චූටි දුවට සැරකරල කිසිම දෙයක් කියන්න අමාරුයි. එයා හරියට ආදරය බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි දෙන්නා සෙල්ලම් බත් උයනවා. බිමට වතුර දාලා මඩ කරලා එතනත් අපි සෙල්ලම් කරනවා. ගහකොළට දරුවව අපි හුරු කරනවා. එයා දැන් ගහකොළට ස්වභාවදහමට හරි ආදරෙයි.
චූටි දුව වැඩිපුරම කැමති මොනවටද?
කන්න බොන්න නම් එයා හරිම අකමැතියි. හැබැයි චූටි දුව කොමඩුවලට අයිස්ක්රීම්වලට හරි ආසයි. පළතුරු ටිකක් වැඩිපුර කනවා. හැමදාම පළතුරු බීමක් බොන්න චූටි දුව හරි ආසයි. බත් කන්න නම් ආසම නැහැ. චූටි දුව නොකරන සෙල්ලමක් නැති තරම්. බට්ටා පනිනවා. බෝනික්කෝ, ටෙඩීලා එක්ක සෙල්ලම් කරනවා. මේ දවස්වල එයාට හරි ලස්සන බෝනික්කෙක් ඉන්නවා. එයාට ''ඕලබෙයා'' කියලා නමකුත් දාලයි තියෙන්නේ. එයා එක්ක කතා කරනවා. නාවනවා. චූටි දුව තමයි ඒ බොනික්කිගේ ''අක්කි'' වෙලා තියෙන්නේ. දුව ළදරු පාසලේ වැඩ කරන්නත් හරි ආසයි. එයාට ඒ පාසල් වැඩ කරන්නත් අපි වෙනම තැනක් හදලා දීලයි තියෙන්නේ. මම ගෙදර වැඩ කරද්දී එයා ''අම්මි ටීචර්'' කියලයි කියන්නේ. ගෙදර වැඩ කරන තැනට ''අම්මි ටීචර් ඉස්කෝලේ'' කියලයි කියන්නේ.
ඔයාවයි අනුරවයි රූපවාහිනියෙන් දකිද්දී චූටි දුවගේ ප්රතිචාර කොහොමද?
රූපවාහිනියෙන් දකිද්දී චූටි දුව අපිට හඳුනාගන්නවා. හැබැයි අපිව රූපවාහිනියෙන් දකිනවාට වඩා සජීවීව දකින්න දුව ආසයි. රූපවාහිනියට යනවා කියන්නේ එයත් එක්ක අම්මියි තාත්තයි ගතකරන කාලය අඩුවෙනවා කියලා දුව දන්නවා. ඒ නිසා ටී.වී. එකේ දකිනවාට වඩා අපි ගෙදර ඉන්නවා නම් දුව හරි ආසයි.
දුව නිසා හිත කලබල වුණ සිදුවීමක් කියන්න?
දුව පෞද්ගලික රෝහලකයි ඉපදුනේ. දුව ඉපදිලා දවස් දෙකකට පස්සේ ගෙදර ගෙන ආපු දවසේම රූ චූටි පැටියට හොඳටම උණ ගත්තා. කිරි බිව්වේ නැහැ. පළවෙනි බබා නිසා මට කිරි පොවන්න තේරෙන්නෙත් නෑ. දුව හොඳටෝම ඇඬුවා. අපිත් හොඳටම බයවුණා. මහ පාන්දර පෞද්ගලික රෝහලකට දුවව අරගෙන දිව්වා. දුවව එදා ප්රතිකාර සඳහා නතර කර ගත්තා. දුවට හරියට කිරි පෙවිලා නැති නිසා එයාගේ ඇඟේ පෝෂණය අඩුවෙලා තමයි එහෙම උණ අරගෙන තියෙන්නේ. එදා මගෙයි අනුරගෙයි දුව නිසා හිත ගොඩක් කලබල වුණා. එදා අපි දෙන්නා හොඳටම බයවුණා.
චූටි දුව ළදරු පාසල් යනවනේ. මුලින්ම ගියපු දවසේ එයාගේ ප්රතිචාර කොහොමද?
කොවිඩ් කාලයේදී අපි වැඩිපුර එළියට ගියේ නැහැ. බබාලා කවුරුත් එයාට මුණගැසුණේ නැහැ. චූටි දුව පොඩි අයට හරි ආසයි. පොඩි අයත් එක්ක හරි ඉක්මනට එකතු වෙනවා. ඒ නිසා ළදරු පාසැලේදී එයාට යාළුවෝ ගොඩක් හම්බුණ නිසා ළදරු පාසල් යන්න හරි ආසයි. මුලින්ම ගියපු දවසෙ නම් එයා ඇඬුවා. දෙවැනි දවසේ ඉඳන් ඇඬුවේ නැහැ. අපි හිතුවටත් වඩා ඉක්මනට චූටි දුව ළදරු පාසැලට යන්න ආසා කළා.
ඇත්ත කියන්න... චූටි දුව වැඩිපුරම එකතු ඉෂාරාටද? අනුරටද?
ඒක එක එක වෙලාවට වෙනස් වෙනවා. එක දරුවා නිසා හුරතලේකට ගියාම පොඩි වැරදි වැඩක් ඉඳහිටලා කරනවා. එහෙම වෙලාවට මම සැර කරද්දී එයා අනුර ළඟට ගිහින් එයා ළඟ හුරතල් වෙනවා. තාත්ති බැන්නොත් මම ළඟට ඇවිත් මට තුරුලු වෙනවා. දවල් කාලේදී මාත් එක්ක වැඩිපුර ඉන්න කැමැති වුණාට රූට චූටි දුවගේ ඇඳ තමයි එයාගේ තාත්තිගේ බඩ වෙන්නේ. එයා අපි දෙන්නටම හරි ආදරෙයි.
I දිශානි