2022 සැප්තැම්බර් 25 වන ඉරිදා

කඩු තුඩු මත සැතපෙන්නෙමි ඔබ සැනසේනම්

 2022 සැප්තැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 08:00 110

මියුරු කල්පනා නෙතක දැල්වුණා......

මේ අහන්න මගේ මැණික.......

මගේ ජීවිතය කියන්නෙ කටු අත්තක් නම් ඒ කටු අත්ත මත පිපිච්ච රත්තරන් රෝස මල තමයි නුඹේ ආදරය .........

මේ අහන්න මගේ මැණික........

අපි ඇස්වලින් විතරක් කතා කරමු... වචන එපා මට ආදරෙයි කියන්න ... අප්‍රකාශිත අප්‍රමාණයක්ව පවතින අන්තිම තත්ත්පරය දක්වා තරම් ප්‍රකාශිත බන්ධනයක් වෙසින් පරිවර්තනය වෙන ආදරය සුන්දර නෑ කියලා මට හිතෙනවා... ඒ නිසා කවදාවත් මට ආදරෙයි කියලා ඇස් අගිස්සෙන් මිසක් වචන අහුරකින් නොකියා ඉන්න. නුඹ දන්නවාද මට හුරුපුරුදු ඔය දුඹුරු පාට ඇස් අස්සෙ ගැඹුරටම එබීගෙන මම හොයන්නෙ සංසාර ස්නේහයක්....

දොසක් නොකියන්න  ඉතින් මට.... මම ආදරේ කරන්නෙ කාටද කියලා කොහොමද මේ ලෝකෙ වෙන කවුරුත්ම තීරණය කරන්නෙ.... මගේ හදවතට ආදරය දැනෙන තැන මම මිසක් කවුද දන්නෙ වෙන.... ඉතින් මට හිතෙන තැන නැවතෙන්න මට ඉඩ දෙන්න..... මට ආදරය දැනෙන හදවතකට ආදරය කරන්න මට ඉඩදෙන්න. 

එහෙම නොවුණු තැන

නුපුරුදු ගිනි දහසක් මැද සිතක් මැලවුණා

දුක සතුට විතරක් නෙවෙයි මේ අහස පොළොව අතර සියල්ල මම දුටුවේ නුඹේ ඔය රත්තරන් ඇස් දෙකෙන්.... පහන් තාරුකා වගේ ජීවිතයට මග කීව ඔය ඇස්වල එළියෙන් අදටත් ජීවිතයේ අතරමං නොවී ඇවිදිනවා ඉතින් මම......

"දුෂ්කරය කියා හැරදමා යා යුතුද ජීවිතය"

ඒ එදා නුඹ මට කියාදුන්න ලස්සනම පාඩමක්.... අහගෙන උන්නා ඉතින් මම. ආදරය කියන්නෙ මුණිවර සෙනසුනක පූජාවක් උදෙසා තබපු මලක් වගේ. ඔව්... කවදාවත් නොපරවෙන මලක් වගේ.. සලකුණක්වත් නොතබා හැර ගියත් ආදරය දැනෙන තැනකින් වෙන් වෙන්න බෑ ඉතින් සංසාරෙවත්.... දැනී දැනෙන සුසුවඳ සුවඳටත් හදවතේ ඉවුරු වාං දමන තුරු ආදරය දැනෙන්නෙ ඒකයි...... ඉතින් දොසක් නොකියන්න මට... මම නුඹට ආදරෙයි....

නුඹේ සිනාවෙන් එහා කොහෙද මට නවාතැන්පොළක්... ජීවිතයේ ගිම් නිවන්න ඒ හිනාවත් ඇති මට.. එහෙත් කොහොම තේරුම් කරන්නද හදවතක් නැති ලෝකයකට ආදරයේ අරුත් මේයැයි ඉතින් මම.

මියුරු කල්පනා නෙතක දැල්වුණා
අමයුරු රස හසකැන් මැද
සිතක් හිනැහුණා
වරෙක නැලවුණා
වරෙක ලතැවුණා
නුපුරුදු ගිනි දහසක් මැද
සිතක් මැලවුණා...

රිදවන්නෙත් නලවන්නෙත් ආදරයමයි..... භාවනාවක් ලෙසින් සිත නිවන්නෙත් ගින්දරක් ලෙසින් සිත අවුළුවන්නෙත් ආදරයමයි... කොච්චර රිදෙව්වත් රිදුම් පිරිසිඳ හිත හොයන්නෙත් ආදරයමයි.... නොඉල්ලමි කිසිවක්ම ආදරය හැරෙන්නට.... ඔව් වෙන කිසිවක්ම එපා මට ආදරය හැරෙන්නට..... ලෞකිකත්වය තුළ මම නිර්වාණ සුව විඳින්නෙ ඔය ඇස් අස්සෙ ආදරයෙන්

ඉතින් මේ අහන්න මගේ මැණික....

මියුරු කල්පනා නෙතක දැල්වුණා
අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුණා

ආදරය කොහොමද කොච්චරද කියලා මනින්නෙ..... සීමාවක් නැති අනන්තයක් මිස අහසක් තරම් සාගරයක් තරම් කියලා කියන්න කැමති නෑ මම මගේ ආදරය... අහසටත් මහා සාගරයටත් කොහේ කොතැනක හරි ඉමක් ඇති.... ඒත් නුඹ දන්නවද නුඹ නමින් ඉපදිච්ච මගේ ආදරයේ රෝස කුසුම සදාතනිකයි... ඒ මලේ සුවඳ අනන්තය තෙක් දුරක් විහිදෙයි.

නුඹට දැනෙනවා නම් ළය ලෙය තුළින් මතුවී ආත්මයම ස්නේහයෙන් බදාගත් දාන පාරමිතාවක් මගේ ආදරය.... මගේ හුස්ම දක්වා සියල්ල නුඹ නමින් නුඹ අස දණ නමාගෙන පුදන්නට තරම් බැතිබර.

මේ අහන්න මගේ මැණික

එහෙමම තමයි ආදරය....

නුඹ හා යා වූ මතක අතරෙ සැරිසරද්දි මට ඇහෙනවා මේ ගී පද

හිමගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි
කටු අකුලින් මල් පුබුදමි
ඔබ සැනසේනම්...

එහෙම හිතුවිල්ලක්.... හිත හිරි වට්ටන එච්චරම ලස්සන සිතුවිල්ලක්... නුඹට තියෙන මගේ ආදරය ළඟ, ඒ ආදරය වෙනුවෙන් ලෝකයම එක්ක හරි මට කරන්න පුළුවන් අරගලය ළඟ හිමගිර කියන්නෙ මට දෝතට ගත හැකි වැලි අහුරක් විතරයි.... මහා සාගරය කියන්නෙ එක දිය රැල්ලක් විතරයි... ආදරය ආදරය ලෙසින්ම තේරුම් ගත්ත හදවතකට ආදරය වෙනුවෙන් මොනවද කරන්න බැරි...

කටු අකුලින් මල් පුබුදමි
ඔබ සැනසේනම්....

කටු අකුලක් මල් යායක් බවට පත් කරන්න ආදරයට පුළුවන්... හෙම්බත් වූ මහ පොළොවක් සාරෙට අස්වද්දන ආදරයකට පුළුවන්.... දුරින් හිටියත් ළඟින් හිටියත් නුඹේ සතුට වෙනුවෙන් සියල්ල දරාගෙන නුඹ සනසන්න මටත් පුළුවන්... ආදරය වාං දමන හිත දරාගෙන නුඹට නොරිදවෙන්නට නුඹේ නළල සිප සීරුවෙන් හැරී යන්නත් මට පුළුවන්... ආදරය කියන්නෙ ආදරය... ඉන් එහා නෑ නමක් ආදරයට... ඉන් එහා නිර්වචනයක් නෑ ආදරයට...

මේ අහන්න මගේ මැණික

ආදරය කියන්නෙම ආදරය....

ආදරය හැරෙන්න අනික් හැමදේම කියාදෙන්න මට

ඇයි දන්නවාද එහෙම කීවේ

ජීවිතයම පූජාවක් කරන්න හැකිනම් මට නුඹ වෙනුවෙන් ආදරය ගැන ආය ඉගෙන ගන්න එක අකුරක්, තිතක්, කොමාවක් තරම් දෙයක්වත් ඉතුරුවෙලා නෑ මට.... ඒ තරම් සුවදායි හැඟීමක් ලෝකයේ නැහැ, පාරිශුද්ධ හදවතකින් එය හඳුනාගත්තොත් නුඹ

මට මතක් වෙනවා මේ ගී පද

අනේ මන්දා ඒත් නුඹට ඇහෙනවාද

පිනි බිඳකින් මුතු අමුනමි
දිනිසුරුගෙන් සීතල දෙමි
කඩු තුඩු මත සැතපෙන්නෙමි
ඔබ සැනසේනම්....

අහෝ ආදරයේ තරමක්...! ඒ ගී පද ඇහෙද්දී මට එහෙමයි හිතෙන්නේ

ආදරයට පුළුවන් කවි හිත් මවන්න... ගී හිත් තනන්න.... දෙවියන් විසින් ලෝකයට දුන් ලස්සනම තෑග්ග ආදරය...

අහන්න මගේ මැණික

සොබාදහම කියන දෙවියන් මේ ලෝකයට දීපු ලස්සනම තෑග්ග ආදරය

නැත්නම් කොහොමද?

පිනි බිඳකින් මුතු අමුනන්න, චණ්ඩ හිරුරැසින් සීතල උපද්දවන්න තරම් ආශ්චර්යයක් ආදරයට කරන්න පුළුවන් කියලා කියන්නෙ....

නුඹ වෙනුවෙන් මගේ ප්‍රාණය පුදන්නත් පුළුවන් මට...

ඉන් එහා ආදරය කොහොමද මම නිර්වචනය කරන්නේ

කඩු තුඩු මත සැතපෙන්නෙමි
ඔබ සැනසේනම්...

මේ අහන්න මගේ මැණික

නුඹේ සතුට තරම් කිසිවක්ම නෑ මට

ඔව් කිසිවක්ම නෑ මට

නුඹ නිදුකින් නම් ඒ ඇති මට සැනසෙන්න....

ආදරය කියන්නෙ ආදරය

ඉන් එහා නෑ නිර්වචන... නිර්වාණය මුණගැසෙන තුරු ජීවනයේ නිර්වාණය,

ඔව් ඒ ආදරය....

දුරින් හිටියත් ළඟින් හිටියත්

මගේ හදවතේ පිපිච්ච රත්තරන් රෝස මල

ඔව් ඒ ආදරය....

(ගී පද: ප්‍රේමකීර් ති ද අල්විස්
නාද සංයෝජන: සරත් දසනායක
ගායනය: වික්ටර් රත්නායක)

I සංජු