2022 ඔක්තෝබර් 09 වන ඉරිදා

එතකොට ඒ ගී රාවය යාන්තමින් මට ඇසේවි

 2022 ඔක්තෝබර් 09 වන ඉරිදා, පෙ.ව. 08:00 93

යළිදු ඇස් නොහරින සීතල නින්දක  නිදාගත් මගේ ආත්මය ඇහැරගෙන........ ඉතින් නුඹ ගයන්න.... නිදි නොලද ආත්මය සුව නින්දකට කැටුව යනු වස්

ඉතින් නුඹ ගයන්න..........

එතකොට ඒ ගී රාවය යාන්තමින් මට ඇසේවි..............

අත්වැල් ගිලිහී තනිකමට පෙම් කරපු  ජීවිතයේ මහ කන්ද නගිද්දී දැක්ක එකම එක සිහිනයක් තිබුණා මට....... ඒ සිහිනයේ නම ආදරය....... ඔව්පවතිනු වස් ජීවිතය; මුදාහල ඒ සිහිනයේ නම ආදරය....

ඉතින් නුඹ ගයන්න.........

ස්නේහයෙන් එක් වරක් ආත්මයම සනසන්න 

ඉතින් නුඹ ගයන්න..

එතකොට ඒ ගී රාවය යාන්තමින් මට ඇසේවි.........

නොවිඳි ප්‍රේමය........ නොලද ප්‍රේමය ......

කිසිදා කිසි තැනකදී මුණනොගැසි ප්‍රේමය 

 දැන නොදැන අනන්තයකින් අංශුමාත්‍රයක් මා  සෙවූ ප්‍රේමය........

 එනමුදු සීතල  ම සීතල මරණය සපැමිණෙන තෙක් මුණනොගැසි ප්‍රේමය....... මේ මොහෙතේත්

ආත්මයම ඇහැරගෙන සොයන ප්‍රේමය....

ඉතින් මා සොඳුරු මරණයක සතපවනු පිණිස නුඹ ගයන්න 

ප්‍රේමය ගැන එකම එක ගීතයක් ස්නේහයෙන් ගයන්න 

එහෙම ගයද්දී 

මේ ලොව 
යම් කිසිවෙකු 
මා හට පෙම් කළ බව
එතකොට ඒ ගී රාවය 
හීන් හඬින් 
මට කියාවි...........

මගේ හුස්ම, මගේ ආත්ම ය මගේ පන්හිඳ.... ඒ පන්හිඳ ළඟ පෙළ ගැහුණු අකුරු... වචන, වාග් අලංකාර කාව්‍යෝක්ති දිගේ අනන්තය ක් දුර මම ඇවිද්දේ ඒ පන්හිඳ ත් එක්ක. ඒ තමයි මගේ ප්‍රේමය....  ඉතින් මහා තනියක් නොදැනෙවා නෙවෙයි මට.. ඒත් ඒ තනිය කොයිතරම් සුන්දරද? කවි ගී පොත් ලියැවුණේ ඒ සොඳුරු තනිකමේ ගැලීගෙන දියවීගෙන. කුරුටු ගෑ  කවියක, දින පොතේ පිටු අතර ලිය වෙච්ච ගීතයක  දැන නොදැන සිතා නොසිතාම ලියවුණේම ජීවිතය.......

සංසාර රැහැන් පොටක ඇලීගෙන මා ඔසවාගෙන යන,

රිදුම් පිරිමදිමින් කඩතොලු මකාලන්නට අංශුමාත්‍රයක්  හෝ 

ප්‍රේමය  ම ඉල්ලන,

ඒ හැරෙන්නට කිසිවක් ම නොඉල්ලන, 

ජීවිතය හැරෙන්නට කිසිවක් ම තිබුණේ නැහැ ලියූ කිසිම අකුරක

ළය ලෙය කළතා පන්හිඳ ට උරච්ච් කර මම ලීවෙම මගේ ජීවිතය.... ඉතින් මගේ ලෙයින් මා ලියූ කවිය නුඹ ගයන්න 

එහෙම ගයද්දී 

මේ ලොව යම් කිසිවෙකු 
මාහට පෙම් කළ බව 
එතකොට ඒ ගී රාවය 
හීන් හඬින්
මට කියාවි.......

අනේක ගිම් නිවාගන්න  මා නිවාලන සුපෙම්බර රාත්‍රියේ කළුවර උරහිසක හිස තියාගෙන මම හිතුවෙම නොවිඳි, නොලද ප්‍රේමය ගැන........

අප්‍රකාශිත ප්‍රකාශනයක පළමු පරිච්ඡේදය 
ඔව් ඒ ප්‍රේමයේ සොඳුරුතම ඉසව්ව

එතනින් එහා යොදුනක් තබා අඩියක් තරම් දුරක්වත් ඇවිද්දෙ නෑ අපි

සංසාර රිදුම් යළි යළිදු ඇහැරවන කෙළවරක් නොදන්න පාර දිගේ ඇවිද්දෙ නෑ අපි

මේ ලෝකයේ හැම දේකම කෙළවර ක් තියෙනවා.... එහෙත් මේ ලෝකයේ කිසිම දෙයක අවසානයක් නෑ...... ශුන්‍යත්වය තුළ පවා හිස් බව පවතීනම් අවසානයක් යන්න සනිටුහන් වූ තැනක් නම් නැත.ඉතින් ප්‍රේමය තුළ මිස සංසාරය තුළ මම නිර්වාණය නොසොයමි...

 දවසක් නුඹ ට මෙහෙම කියන්න මට හිතුණා 

මා මළ පසු
සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව 
දුක් ගීයක් ලියනු මැනව 

නන්නාඳුනනා ඔබගේ 
අත් අකුරින් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව 
දුක් ගීයක් ලියනු මැනව 

ඇත්තටම නුඹ කවුද 
ජීවිතයේ හමු වූ සොඳුරුතම අහම්බකාරකය
ආදරණීය ම අනපේක්ෂිතය 
සදාතනික සිහිනය
මගේ සංසාර සුවඳ 
ඇත්තටම නුඹ කවුද 
මම හඳුනන තරමටම නන්නාඳුනන
මම දන්න තරමටම නොදන්න 
ඇත්තටම නුඹ කවුද 

ඒ නුඹගේ අත් අකුරින් ඇවිත් මේ රාත්‍රියේ එක ම එක ගීයක් ලියන්න 

මරණය ගැන නොවෙයි 

ප්‍රේමය ගැන 

එකම එක ගීතයක් ලියා යන්න 

මට ම විතරක් ඇහෙන්න සිහින් සරින් ඒ ගීතය ගයන්න 

නිදි නොලද ආත්මීය සරතැස නිවාලන්න

මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනව 

තරු කැටත් නිදි කිරන අඩ සඳත් තනිවෙන්න තැනක් හොයන කළුවර ම විතරක් හැම තැනම ඉහිරිච්ච මේ සීතල අඳුරු රුයේ

නුඹ ගයන්න 

එක ම එක වතාවක් මගේ ආත්මය නිවාලනු පිණිස 

නුඹ ගයන්න 

එතකොට 

රෑහි හඬන සුසුම්බර රාවය අතරින් 

ඒ ගී රාවය යාන්තමින් මට ඇසේවි.....

ඔව්

එතකොට ඒ ගී රාවය යාන්තමින් මට ඇසේවි 

පද නිමැවුම : මහගම සේකර 
නාද සංයෝජනය : සෝමදාස ඇල්විටිගල 
ගැයුම : පණ්ඩිත් ඩබ්.ඩී.අමරදේව 

I සංජු