සුළං රැල්ලේ පාව එන්නේ ඔහුගේ නාමය වේ
රාත්‍රිය මනරම්.... සරාගී නුඹ නුවන් අස්සෙන් වැක්කෙරෙන අනුරාගයෙන් මා මත් කළ ඒ රාත්‍රිය මනරම්... අනුරාග වචන වැස්සක මා තෙමාලූ... මා මත් කරලූ... මා අනන්තයටම කැටුව ගියා වූ ඒ රාත්‍රිය මනරම්.... නුඹේ උණුසුම් පිරිමි පපුවේ සොඳුරු නිරුවත දෑසින් දුටු පළමු තත්ත්පරයේ මම ගැහුණු තරමක්.... ළා රත්තරන් පාට ඒ පපුව අස්සේ අනුරාගයේ හැම හීනයක්ම නුඹෙන් ඉල්ලගෙන තුරුල් වෙන්න මට හිතුණා.... ලෙයත් උණුහුම්ව හද ස්වරය වේගයෙන් ගැහෙද්දී කවදාවත් නොවිඳි කවදාවත් පිරිමියෙකු අස නොදැනුණු ප්‍රේමණීය අනුරාගයකින් මගේ ආත්මයම ඉසියුම් ලෙස පිරිමදිද්දී නුඹ එක්ක සොඳුරුතම සුයාමයක තනිවෙන්න මට හිතුණා.... ඒ තරම් චමත්කාරයක් නුඹේ හයිය පිරිමි පපුව දිහා බලාගෙන මම විඳිද්දී නොරිදෙවන්න රතු පාට පුංචි හැපුමක සොඳුරු සලකුණු ඔය පපුවේ රඳවන්න මට හිතුණා... ජීවිතයේ කිසිම දේකට ලෝභකම් නොකියන මගේ හිත නුඹ දුටු පළමු මොහොතේ පටන් නුඹ මගේම කරගෙන ආදරය කරන්න පටන් අරගෙන... නිහඬවම මම නුඹට ප්‍රාණ සම ස්නේහයෙන් ආදරය කරන තරමක්... සරාගී නුඹ දෑස් අතරේ මම අනුරාගයේ අනන්තයටම සරණ තරමක්.
මගේ දිගු ඇඟිලි තුඩු අග්ගිස්සෙන් ඔය පපුවේ ඉඳහිට තැනක රුඳුණු පුංචි රෝම කූපයක් හෙමින් හෙමින් පහුරු ගාද්දි පිපෙන හී ගඩු මගේ තොල්වලින් උණුහුමට ඉඹින්න මම ආසයි... නුඹේ පපුවෙ හැම අංශුමාත්‍රයක්ම නොරිදෙන්න හපමින් සිපගන්න මට ආසයි... ප්‍රේමයෙන් මන්මත්ව ප්‍රේමයේ නිර්වාණය නුඹේ පපුවේ ඉසව්වෙන් ඉසව්වට සැරිසරද්දි මම වින්ද හැටි.... මගේ සරාගී ඇස් පියවෙලා යද්දී නුඹේ ළය මත මම වින්දේ මේ ලෝකයේ ඇති සොඳුරුතම ආශ්වාදයයි.... නුඹ ගන්න හුස්මෙන් හුස්ම ඒ පපුව අතොරක් නැතුව සිපගනිද්දි මට දැනුණා.... ඒ සිහිනයේම මට නිදියන්න දෙන්න යැයි නුඹෙන් අයදින්න මට හිතුණා.... ප්‍රේමයත් අනුරාගයත් ඒ තරම් චමත්කාරයක්, ඒ තරම් හිරිවැටීමක් නුඹෙන් මා විඳින....
මඳක් ඉස්සුණු නුඹේ පිරිමි පපුවේ පියයුරු තුඩග මගේ දෙතොලින් උණුසුම් වෙද්දී නුඹේ දිගු ඇඟිලි තුඩු මගේ හිස පුරා දුවනවනම් මම ආසයි.... ප්‍රේමය අනුරාගයෙන් සම්මිශ්‍රණය වී අපේ ආත්ම මත වැක්කෙරෙද්දී හිතේ හැටියට තෙමෙන්නට හැකි සදාකාලික වසන්තයක අනෝරා වැහිවලට මම හරි ආසයි.... මගේ ඇඟිලි තුඩු පවා හිරිවට්ටපු උන්මාද අනුරාගයක සොඳුරු වැස්ස ආයෙත් වහින මනරම් රාත්‍රියකට මම ආසයි.... අනුරාග සුව අතර තනිවෙද්දී නුඹ දෑතින්ම බදාගෙන කතා කරගන්න බැරුව මට කෙඳිරි ගෑවෙන හැම මොහොතකටම මම ආසයි... .ළා රත්තරන් පාට නුඹේ පුළුල් උරහිස් දෑතින් බදාගෙන මගේ රතු වෙච්ච කම්ඹුල් ඒ උරහිස් මත සතපවන්න මම ආසයි.... .ප්‍රේමය තරම් සුවයක් තවත් මේ ලෝකයේ නැති වග ජීවිතයේ පළමුවැනි වතාවට මට කියා දුන්නෙත් නුඹමයි. ඉතින් නුඹ මට ප්‍රේමණීය උන්මාදයක්.... ජීවිතයේ හැම මොහොතකම මම විඳින.... මට අත්නොහැරෙන සිහිනයක් නුඹ.... ඉතින් සරාගී අනුරාග උල්පත් නොසිඳි වෑස්සෙන සදාකාලික වසන්තයක එන්න තනිවෙන්න..... එදා වගේම අදත් මනරම් රාත්‍රියක්....
නුඹේ පපුව මත මගේ උස් පියයුරු දැවටී වෙළී කිති කැවෙන මොහොතක නුඹේ පපුවේ උණුහුමට සමු දී මගේ ළමැද නුඹ සතපවන්න සුව යහනක් සදන්න මට හිතුණා.... නුඹ සරාගීත්වයෙන් මගේ ළය ලෙය උණුසුම් වන තුරු මා සිපගන්න මොහොතක හුස්මක් ගන්න අමතක වෙන රසාලිප්තයක මම ඔහේ පාවෙනවා...
ප්‍රේමයත් අනුරාගයත් තරම් සුන්දර දෙයක් මේ ලෝකයට දෙවියන් දීලා නැහැ...
රනින් කළ වන් පුළුල් උරයෙන්
හසුන් ළමැදේ මුස කරන්නේ
හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ
සරාගී නිල් නුවන් බඳුනින්
නුරා ඉතිරෙන්නේ.....
ඉතින් නුඹම හැර කිසිවක්ම කිසිවෙක්ම නැත. මගේ ජීවිතයම මගේ ආත්මයම නුඹ ගැන සිතුවිල්ලෙන් උණුසුම්ය.
ඉතින් එය එසේ වූ සඳ.....
ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු හෙවණේ
සුළං රුල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ.....
මම ආසයි කෙළවරක් නැති වැස්සට
මගේ හැඟුම් කොනිත්තන
මම ආසයි මාව අවුස්සන හුළඟකට
ඈත ඈත කඳු අස්සෙන්, ගස් අස්සෙන් මල් සුවඳත් පිසගෙන පෙරීගෙන එන ඒ හුළඟෙ සර සරය කොඳුරන්නෙ නුඹේ නම.... මම මේ ලෝකයේ අහන්න ආසම ඒ නම....
එන්න... ගයන්න.... ප්‍රේමයේ ගීතය
එන්න... යදින්න.... ප්‍රේමයේ යාඥාව....
දේව මන්දිරයේ අල්තාරය අබියසට එන්න ප්‍රේමය ගැන බයිබලය කියවන්න....
ප්‍රේමය කියන්නෙ දෙවියන්
අනුරාගය කියන්නෙ ගීතිකාවක්
ඉතින් එන්න ගයන්න
ඉතින් එන්න යදින්න.....
ගැහැනියකට ආදරය කියන්නෙ ජීවිතයෙන් අංශුමාත්‍රයක් නෙවෙයි.... ජීවිතයම.... ආත්මයම.... අනුරාගයේ උල්පත් සිඳී ගිය මොහොතකත් ආදරය නොසිඳෙන්නෙ ඒ නිසා....
හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ....
සඳක් සේ නොකිළිටි නිර්මල අචින්ත්‍ය ප්‍රේමයක් නුඹ නමට දන් දෙන්න ඉතින් මට අවසරයි...
සඳැල්ලේ මිණි තලාවේ
තාරුකා පිපි වෙලාවේ
ළදැලියන්නේ සීන අතරේ
මැවෙයි ඒ රෑපේ.....
ඒ හැම හීනෙකින්ම මිදී එන්න ඉතින්...
මගේ ප්‍රේමයේත්
සරාගී සිහිනයේත් දැවටෙන්න.....
එන්න... ගයන්න මනරම් රාත්‍රියක අවැසි වැස්සක තෙමීගෙන ප්‍රේමයේ ගීතිකාව...
ආත්මීය කෙඳිරිල්ලකින් ජීවිතය පිරිමැදෙන මොහොතක සරාගී නිල් නුවන් අතරේ ඉතින් අපි හොයාගෙන හොයාගෙන යමු.
ප්‍රේමයේ සොඳුරුතම නවාතැන
සරාගයේ සොඳුරුතම කෙඳිරිල්ල
(පද සංයෝජනය : මහගම සේකර
ගී ස්වර සහ ගැයුම : පණ්ඩිත් ඩබ්.ඩී අමරදේව)
I සංජු