නුඹම අයියණ්ඩියක වී මට
නැගණි වී මා එකම මව් කුස
සසර මතු දා උපත ලබනට
පාරමී දම් පුරමු අප දෙදෙනා..
එහෙම ප්‍රාර්ථනාවක් මගේ හිතට එක් කරපු සහෝදරයෙක් මගේ ජීවිතයේ ඉන්නවා. එකම අම්මා කෙනෙක්ගේ එකම තාත්තා කෙනෙක්ගේ දරුවන් විදිහට මේ ලෝකයට නාවත් ළය ලෙයට දැනිච්ච බැඳීමකින් ජීවිතයට එකතු වෙච්ච ඒ සහෝදරත්වයට මම හරි ආදරෙයි.
කොච්චර දුර ඈතක හිටියත්, එන්න යන්න බැරි දුරක හිටියත්, දුර වග නොදැනෙන මිනිස්සු අපේ ජීවිතවල ඉන්නවා. කොයි තරම් ළඟක හිටියත්, ජීවිතයට හුඟාක් දුර වග දැනෙන මිනිස්සුත් අපේ ජීවිතවල ඉන්නවා.. භෞතිකව ළඟින් හිටියත් නොහිටියත් හිතට ළඟද දුරද දැනෙන්නේ යොදුන් ගණනින් නෙවෙයි. ආධ්‍යාත්මිකව අපි අනිත් කෙනාට කොයි තරම් ළඟද දුරද යන හැඟීමෙන්.
ජීවිතයට කෙනෙක් ළඟින්ම ඉන්නවා නම් කියලා හිතෙන මොහොතක් අපි කාගේත් ජීවිතවලට එන්න පුළුවන්. එහෙත් එහෙම අය අපේ ජීවිතවල හමුවෙන්නත් පුළුවන්. හමු නොවෙන්නත් පුළුවන්. එන්නත් පුළුවන්. නොඑන්නත් පුළුවන්. ඇවිත් ආපහු යන්නත් පුළුවන්. වැදගත් වෙන්නේ යන දවස නෙවෙයි. ළඟ ඉද්දි හෘද සාක්ෂියට එකඟව ජීවිතය කොයි තරම් අනිත් පාර්ශ්වයත් එක්ක බෙදාගන්නවාද කියන කාරණය එක්ක.
බැඳීමක වටිනාම දෙය අවංක බව කියලා හිතෙනවා. ඒත් තමන්ගේ හෘද සාක්ෂියට එකඟව නිර්මල විදිහට ආදරය, ප්‍රේමය, මිත්‍රත්වය, ළෙන්ගතුකම තව කෙනෙක් එක්ක බෙදාගන්න හුඟාක් අයට තේරෙන්නෙ නෑ. තේරෙන්නෙ නෑත් නෙවෙයි, එක බැඳීමක නතරවෙලා ඒ තුළ ජීවිතය විඳින්න බැරි තරමට මිනිස්සුන්ගේ හදවත් සංකීර්ණයි.
ඒ සියල්ල මැද තමන්ගේම සහෝදරයෙක් කියලා දැනෙන බැඳීමක නිරාමිස ආශ්වාදය හිතට විඳින්න හැකි හැම මොහොතක්ම ඇත්තටම හරි සුන්දරයි.
ලෝකය කියන්නේ එක බිම් තීරයක් නෙවෙයි. ලෝකය කියන්නේ එක මිටියාවතක් නෙවෙයි. ලෝකය කියන්නේ එක යායක් නෙවෙයි. ලෝකය කියන්නේ මහා වනාන්තරයක්. අපි ඇවිදින්නේ ඒ මහා වනාන්තරය ඇතුළේ. අපි ජීවිතය හොයන්නේ ඒ මහා වනාන්තරයේ ගස් පාමුල නැවතිලා. හෙවණක්, සිහිසලසක් හමුවෙන තැන් වගේම හමු නොවන තැනුත් ඒ ගමන් මගේදි අපට හමුවෙනවා. ඒත් ගිම් නිවුණත්, නැතත් ඒ ගමන අප යා යුතුයි. දුෂ්කර බව හිතමින් හැර දමන්නට නොහැකි ලෙස ජීවිතයට ආදරය කළ යුතුයි.
ජීවිතයට ආදරය හමුවෙන්නේ ජීවිතයට ආදරය කරන තැන්වලදී විතරයි. අනිත් හැම තැනකදිම ජීවිතය කියන්නේ කටු අත්තක්. ඒ කටු අත්තේ මලක් පොහොට්ටුවක් පිපෙන දවසක් එන බව නොවැරදිම කියලා දෙන ආදරණීය මිනිස්සු ජීවිතයේ කලාතුරකින් හරි අපට හමුවෙන්න පුළුවන්. එය සුලභ සත්‍යයක් නොවුණත් ඒක එහෙම තමයි.
පාරමී දම් පුරමු අපි දෙන්නා.. එහෙම පැතුමක හිත නතරවෙන බැඳීම ඇත්තටම කොයි තරම් සැනසිල්ලක්ද? ආදරයක්ද?