2022 නොවැම්බර් 06 වන ඉරිදා

බුකිය රත් කරන ක්‍රිකට් ඔට්ටු

 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:00 46

Y Trend කියලා කිව්වම හොඳ ඒවත් තියෙනවා නරක ඒවත් තියෙනවා. ඔන්න සුදා මේ දවස්වල අපේ Young generation එක ඇතුළෙ තියෙන නරකම නරක Trend  එකක් ගැන අපි කතා කරන්නේ. මීට කලිනුත් මේ ගැන පුංචි පුංචි දේවල් ටිකක් අපි සහෝලා එක්ක කතා කරලා තියෙනවා.

අපි කවුරුත් දන්නවා මචෝ මේ දවස්වල T20 ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙනවා. දැන්නම් තරගාවලිය අවසන් වෙන්නත් ළඟයි. ඒත් මේ තරගාවලිය අවසාන වෙද්දී තමා, අපේ රටේ මේ අලුත් Trend එක පටන් අරගෙන තියෙන්නෙ. Viral වෙලා තියෙන්නෙ. Online ක්‍රිකට් ඔට්ටු සීන් කෝන් එක ගැන තමා මේ කතාව ෆොන්තො.

“අපෝ ඕක මොකක්ද? මීට කලිනුත් අපි සීන් එක ගැන දන්නවනෙ." ඔව් එහෙම සුදාලාට හිතෙන්න පුළුවන්. හැබැයි අපි මෙහෙම කිව්වොත් අපේ පංචො පැංචියොන්ට ටිකක් බය හිතෙයි හරිය. මේ ලෝක කුසලාන කාලය තුළ ලංකාවේ Online ක්‍රිකට් ඔට්ටු ඇල්ලීමේ ප්‍රවණතාවය 100% කින් විතර ඉහළ ගිහිල්ලා තියෙනවා.

Double කිව්වට ත්‍රිබල් ෆෝබල්. අනේ මන්දා හිතාගන්න බෑ වස්තු. කවදාවත් විශ්වාස කරන්න බැරි මිනිස්සුත් ඔන්න ඔට්ටු අල්ලනවා. පිස්සුවක් ඈ...

ක්‍රිකට් ගැන සෝෂල් මීඩියා ඇතුළෙ කතාබහ කරන මචාලා දන්නවා සීන් එක. මීට කාලෙකට කලින් ලංකාවට මේ ක්‍රිකට් ඔට්ටු සීන් එකට සෙට් කරගන්න ඉන්දියන්කාරයෝ දත කෑවා. අපේ Page වල Group වල මෙයාලා මේ සීන් දම දමා හිටියා. ඒත් ඉතින් ඒ කාලේ සීන් කෝන් එක එච්චර නැගලා ගියේ නෑ. මතක විදිහට අපි දවසක් Cricket ගැන කරපු Y Trend එකක මේ සීන් එක සුදාලාට කිව්වා.

දැන් තත්ත්වය එහෙම පිටින්ම වෙනස්. Facebook ඇතුළෙ ඔට්ටු අල්ලන Application Promote කරන්න Sponsored එහෙමත් ගහලා තියෙනවා අපිට දැකගන්න පුළුවන්. Finally ඉන්දියන්කාරයෝ සීන් එක අල්ලගෙන. අපේ අයත් වැඩේට බැහැලා. 

දැන් අපේ ක්‍රිකට් පෝස්ට්වල අමුතු අමුතු කමෙන්ට් පවා වැටෙනවා.

“මම අර ක්‍රීඩකයා ගහනවා කියලා ඊයෙ තුන්දාහක් ඇල්ලුවා. වැඩේ හරි ගියා. පහළොස් දාහක් ලැබුණා."  

“අඩේ නූලෙන් මිස් වුණේ, දෙදාහක් අපරාදේ." 

මේ වගේ comment දැන් ෆේස්බුක් එකේ වැහි වැහැලා. මේවා දැක්කම අපේ අනිත් අයත් එකෙන්ම ෆෝම් වෙනවා. සීන් එක ගැන වැඩි විස්තර හොයාගෙන ගිහිල්ලා ඔට්ටු අල්ලනවා. හැබැයි මේවත් promotion campaign වලම කොටස් මචෝ.

හැමදේකම වගේ ඔට්ටුවලදී දිනන ප්‍රමාණයට වඩා වැඩිපුර ඉන්නේ පරදින අය. ගොඩක් දෙනා තමන් ටිකට් ඔස්තාර්ලා කියලා හිතාගෙන ඉන්න නිසා මේ සීන් කෝන් එකට අහුවෙනවා වැඩියි ඉතින්. එයාලට නම් සොරිම තමා වස්තු.
කොහොම වුණත් මේ කතාවත් කියන්න ඕන මචෝ. ක්‍රිකට් වෙනුවෙන් ඔට්ටු අල්ලනවා කියන එක ලංකාවේ අපිට නුපුරුදු දෙයක් නෙවෙයි. යාන වාහන, ඉඩම්, ගෙවල් පවා ක්‍රිකට් ඔට්ටු විදිහට අල්ලපු අය අපේ රටේ හිටියා. 

ලංකාව හොඳටම ක්‍රිකට් ගහපු කාලේ මේක ටිකක් සල්ලි තියෙන මෝඩ පහේ සෝබනකාර පන්තිය ඇතුළෙ පිස්සුවක් වෙලා තිබුණේ සහෝ. පස්සේ මේ සීන් එක ටික ටික අඩුවෙලා ගියා. තාමත් ටිකක් තියෙනවා. නැත්තටම නැතිවෙලා නම් නැහැ ඉතින්.

එතකොට ඔය රේස් බුකිවල Cricket ඔට්ටු අල්ලන සීන් එකත් පහුගිය කාලයේ සෑහෙන්න Trend වුණා. ශ්‍රී ලංකාවේ නීතියට අනුව මේක නීතිවිරෝධී වැඩක් වුණත්, ඇත්තටම මචෝ කවදාවත් හරියට මේකට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වුණේ නෑ. තාමත් මේ සීන් කෝන් එක ඔය රෑට රෑට ලයිට් පත්තුවෙන අශ්වයා ඉන්න ලීගල් සූදුපිටිවල සිද්ධ වෙනවා.

අපි කාලෙකට කලින් ඒ සීන් කෝන් එක Trend වෙනකොටම සවිස්තරව සුදාලාට සීන් එක පැහැදිලි කළා. හැබැයි මේ ඔට්ටු අල්ලන සීන් එක මේවා ඇතුළටම ගිහිල්ලා කරන්න ඕන නිසා එක්තරා සීමිත කණ්ඩායමක් තමා මේ වැඩේට සෙට්වෙලා හිටියේ. කලින්ම අඩි පුඩියක් ගහලා ඇවිල්ලා, සිගරැට් එකක් පත්තු කරගෙන ඔය පොට්වල TV ඉස්සරහට වෙලා ක්‍රිකට් මැච් බලන එක තමා මේ සෙට් එකේ Fashion එක වුණේ.

කොහොම හරි මචෝ මේකෙම සිල්ලර අවස්ථාව තමා අද වෙනකොට Online ක්‍රිකට් ඔට්ටු කියන සීන් කෝන් එකෙදි අපිට පේන්නෙ. ඉන්දියාව, පකිස්තානය වගේ රටවල තමා මේකට වෙළෙඳපොළ මුලින්ම නිර්මාණය වුණේ. අපි කලින් කිව්වා වගේ ලංකාවට වැඩේ හඳුන්වා දෙන්න දරපු උත්සාහයන් මුල් කාලයේ අසාර්ථක වුණා. ඒත් දැන් පැහැදිලිවම සීන් එක සාර්ථක වෙලා. අහන්න ඛේදනීයයි, දකින්න සෝචනීයයි මචෝ මේක පට්ට Y Trend එකක් වෙලා. 

මේ දවස්වල තියෙන ආර්ථික අහේනියත් මේකට එක්තරා ආකාරයකට හේතුවක්. ක්‍රිකට් තමන්ට ටිකක් තේරෙන හින්දා කීයක් හරි ටක්ගාලා හොයාගන්න මේක මාර චාන්ස් එකක් කියලා සමහරු හිතනවා. අනිත් එක වස්තු ලංකාව ඇතුළෙ පහුගිය මාස කිහිපයේ ක්‍රිකට්වලට ලැබුණු විශාල අවධානය මේකට ලොකු හේතුවක්. ඒ වගේම ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවලින් මේක ප්‍රචාරණය කිරීමත්, ඔට්ටු ඇල්ලීමේ ක්‍රමය සරල වීමත් මේ සීන් කෝන් එක නැගලා යන්න හේතුවෙලා තියෙනවා.

කොහොම වුණත් මචෝ මේ සම්බන්ධව නීතිමය පැත්තෙන් නම් කිසිම අවස්ථාවක් නැහැ. මේ වැඩ නීතිවිරෝධීයි. ඒත් හැමදෙයක්ම සිද්ධ වෙන්නෙ එළිපිට. සෝෂල් මීඩියා ඇතුළෙ ප්‍රසිද්ධියේ පළවෙන දැන්වීම්, පිළිගත් බැංකු ගිණුම් හරහා සිද්ධවෙන ගනුදෙනු වගේ දේවල් නිසා මේක නීතිවිරෝධී දෙයක් කියලවත් පිළිගන්න සමහරු කැමති නැහැ. කොහොම වුණත් ලංකාවේ පිළිගත් නීතියෙ නම් මේ වගේ දේවල්වලට කිසිම ඉඩක් නැහැයි කියලා තමා සඳහන් වෙලා තියෙන්නෙ.

ඇත්තටම සුදෝ මේවා ගැන බලධාරීන්ගේ අවධානය යොමුවෙන්න ඕන. Y Trend ගැන කතා කරන අපිට ඔය බලධාරීන්ගෙ නිලධාරීන්ගෙ සීන් කෝන් එච්චර අදාළ නැති වුණත්, මේ රටේ මුදල් කොහෙටද යන්නේ, මොකද්ද වෙන්නේ කියන එක හොයලා බලන එක කාගේත් යුතුකම කියලා මතක් කරනවා අවසාන වශයෙන්. 

I නිසල් 
සේයාරූ- අන්තර්ජාලෙයන්