සීත අරණේ සුපුල් නාමල සුවඳ ගැල් වූ ජීවිතේ
සීත හිමගිර සීත නොදැනේ දැනෙයි උණුසුම ආදරේ....
නිබඳ නුඹ මට සිහිවේ. නුඹ නැතුව නුඹ එක්ක සංසාරණ්‍ය පුරාවට ඇවිද ආ ගමනක් ඇතැයි මට සිතේ. ස්නේහයේ විසල් මාත්‍ර අමෘතයන් සංසාර පෙරහන්කඩින් පෙරා නුඹේ ජීවිතය පුරා සුවඳ ගල්වනු පිණිස ඉසින්නට ඉඳින් මම පේවී හිඳිමි. නුඹ නැතත් නුඹ නිබඳ ගැවසෙන හැමතැනම සොඳුරුය. කිසිදා ප්‍රේමය නිර්වචනය කරන්න යැයි ඉඳින් මම නොඉල්ලමි.
මගෙ මැණික.... ඉතින් මම කිසිදාක
ආදරය හැරෙන්නට
කිසිවක්ම නොඉල්ලමි....
මගෙ මැණික ඔයා මට ඇත්තටම ආදරෙයිද? යළි යළිදු නුඹෙන් අසන්නට මට වරෙක සිත් උපදී.
එකම දේ අහනවා හැමදාම.... නුඹ කියයි. ඒ වදන් යාන්තමින් හෝ රළු යැයි හැඟෙද්දී ඉඳින් මම නිහඬ වෙමි. වරෙක නුඹට නොදැනෙන ආදරණීය ගැහැනුකමක හැටි එහෙමය. සාගරයක් සේ ආදරයක් නුඹ මවෙත තිළිණ කළත් ආදරය යන වචනය යළි යළිදු අසන්නට මා සිත ලෝභකම් කරයි. ඉඳින් ආදරයම හැර, ප්‍රේමයම හැර කිසිවක් නොපතන සසර බැඳීමක මම නුඹේ ඇස් අග්ගිස්සෙන් ගිලිහෙන බැල්මක පවා ආදරයේ රේඛාවන් සොයා වෙහෙසෙමි.
ආදරය අතොරක් නැතුව දනවන මොහොතක නුඹ අබියස මම සුවපත්ය.
ජීවිතය උණුසුම්ය. වේදනාත්මක අසෙනි සුළං එවන් තත්ත්පරයක මම නොවිඳිමි.
ඉතින් ප්‍රේමයම හැර තවත් යස ඉසුරු කුමකටද මට... අසුරු සැණින් එක මොහොතකට මම ප්‍රේමයේ නිර්වාණය නුඹ ළය හිස හොවා අත්විඳිමි.
ඒ ඔක්තෝබරයට මම හැමදාමත් ආදරෙයි. වස්සාන සිහිනයක ප්‍රථම මල් පියවිලි ජීවිතයේ පාර දිග ඉස සැනසූ සුන්දර ඔක්තෝබරයකදි අපි හමුවුණෙමු. කියාගන්නට බැරුව ලතැවුණු ප්‍රේමයක දිගහැරුම වචනයෙන් වචනය සොඳුරු ප්‍රකාශනයක් වූ ඒ ඔක්තෝබරයේ 23 වැනි ඉරිදා ඒ හැන්දෑවට, හැන්දෑවෙන් එහා රාත්‍රියට, රාත්‍රියෙනුත් එහා 24 වැනිදාට දොර හැරුණු මැදියමට මම හැමදාම ආදරෙයි.
වසන්තය යනු ප්‍රේමය අවසන් නොවන තාක් නිමා නොවන සුයාමයක් බව මම විශ්වාස කරමි. ප්‍රේමයේ සුදු ඇතිරිලි අතුරා නුඹට මට තනිවෙන්නට නවාතැන්පොළක් මට අවැසිමය. සීතලට මම ආසයි. අකුණක් ගසද්දි ඒ අකුණු සරය වැස්සත් අරගෙන එනකම් මම අහස දිහා බලාගෙන ඉන්නවා. ළා අළු පාට වළාකුළු ඉහිරෙද්දි වැහි ළිහිණියන් අහස අරා ඉගිලෙද්දි මගේ හිත හරි නැවුම්. මම දන්නවා කොයි වෙලාවක හරි මහා වැස්සක් පොළොව හොයාගෙන එනවා කියලා.
මම ආසයි හී ගඩු පිපෙන සීතලට.. මගේ හිතේ නිදාගෙන ඉන්න අනුරාගයේ හැම හිතුවිලි මාත්‍රයක්ම මාත්‍රාවෙන් මාත්‍රාවට අවුස්සන්න ඒ වැස්සට පුළුවන්... නුඹේ ළමැද සුව යහන මත මම රතු පාට හීනයෙන් හීනය ගෙත්තම් කරන්නේ වැස්සට ඇවිස්සුණු ඒ හිතුවක්කාර හිතත් එක්ක...
මගේ මැණික.....
උණුසුම උණුසුමක් වගේ දැනෙන්නේ සීතල කටු ඇන ඇන රිදෙන්න නොරිදෙන්න මා පාරවද්දි... මම ආසයි රිදෙන නොරිදෙන ඒ උණුසුම් හාදු අනෝරාවට... ඇස් පිහාටුවකට සැලෙන්නට පවා අමතක කරන ඒ උණුසුම් හාදු අනෝරාවේ තෙමි තෙමී අනුරාග අනන්තයකට නුඹ එක්ක ඉගිලෙන්න නෙවෙයි පාවෙන්නයි මට ඕනෑ..
සීත අරණේ සුපුල් නාමල
සුවඳ ගැල්වූ ජීවිතේ
සීත හිම ගිර සීත නොදැනේ
දැනෙයි උණුසුම ආදරේ....
හැමතැනම හිස්තැනක්... නුඹ මගේ ළඟ නැතුව මේ අහස පොළොව අතර හැමතැනම හරි හිස්තැනක්... ආසයි හෙමින් හෙමින් නුඹේ උණුසුම් සුසුම් ස්වරයක දැවටෙන්න මම... නුඹ සිරුර පුරා වෙළීගෙන, මහා වනස්පතියක් වූ නුඹ අස පුංචි ළපල්ලක්ව ජීවිතයම ඉගෙන ගන්න ආසයි මම...
ලතාවක් සේ වෙළී සියොළඟ
පතමි රුකවරණය ඔබෙන්...
ඔව් මැණික නුඹ සිරුර පුරා වෙළීගෙන ඒ උණුසුමේ දැවටීගෙන ආත්මය අයදින්න හිතයි මට... ඉතින් ප්‍රේමය ප්‍රේමය ලෙසින්ම දැනෙන තැන මම සඳගිරි පව්වක නුඹ හා තනිවෙමි. නුඹේ උකුල මත හිස හොවාගෙන මගේ කැරලි ගැසුණු කෙහෙරැලි නුඹේ දිගු අනුරාගී ඇඟිලිවලින් ඔහේ පටලවද්දි ඔය සරාගී නුවන් දැහැනින් මුදාහල අනුරාග අනෝරාවේ මම තෙමෙන්නම්. මම තව තවත් නුඹටම තුරුල් වෙන්නම්.
සදා දෝතින් මලක් සේ ඔබ
වැළඳ ගන්නෙමි හදවතින්...
මගේ නිකට මත නිකට සෙමින් අතුල්ලමින් නුඹ ගයයි.
සඳගිරි පව්වේ නුඹ හා වැතිර මම සඳ එළියෙන් ප්‍රමුදිතව හිඳිමි. ඈත ඈත තරු කැට පෙනෙන නොපෙනෙන ලෙසින් දිලිසෙද්දි ඒ තරු එළිය නුඹේ ඇස් මත තවරන්නට මට හිතෙයි. දහවලේ පිපි මල් යාය විදාහල සුවඳ සඳ එළිය ගැවසුණු හාත්පස සුළං නැලවිල්ලේ පාව විත් සිහින ඕවිල්ලක නුඹ හා මා සනසයි.
මිටියාවත හිඳ මුදුනත විනිවිද
බැලුවෙමි නුඹ කොතැනකද කියා
හැම නෙත් මඟහැර නුඹ නෙත් සෙව්වෙමි
ජීවිතයේ ගිම් නිවන නිසා...
ඔහේ කුරුටු ගෑවෙන කවියකත් නැවතී හිඳින්නේ නුඹමය. ගිම් නිවන්න නුඹේ යස උරහිස මත හිස රඳන මොහොතක මම සිතින් කවි කියමි. ඔබෙන් තොර මාවතක් මට නොපෙනේ. කොතැනකවත් නොනැවතුණු සිත නැවතුණු තැන ඔබ ළඟය. සැනසිල්ල මවෙත තිළිණ කළ මගේ රන් මිණි ප්‍රාසාදය ඔය විසල් හදවතය. ඉතින් මගෙ මැණික... නික්ම යන දවසක් නොසිතාම නුඹේ හදවත් ප්‍රාසාදය සෙවණේ නැවතී මම ගිම් නිවමි.
වලාවක් සේ අයාලේ ගිය
සිතට නිවහන ඔබ ළඟයි
මම නුඹට කියමි.
නුඹ දෑසින් වැගිරෙන සොඳුරු පිළිවදන් ඉඳින් මා නිවාලයි.
මහා කතරෙක ගෙවූ තනි මග
නිමා කළ ඉම ඔබ නෙතයි...
නිරුදක කතරක් සේ වියළී ගිය ජීවිතයේ සරතැස මත අවැසි වැසි ඇදහැලුණු සඳ ජීවිතය කෙම්බිමකි.
මා නෙතින් වැගිරෙන දයාවේත්, ආදරයේත්, ප්‍රේමයේත් සිහිලසින් නුඹ නිවෙන වග නුඹ මට කියයි. නුඹ සේම මම ද නුඹේ හුරු පුරුදු ආදරණීය දෙඇස් අස නිවී සැනසෙමි.
මහා කතරෙක ගෙවූ තනි මග
නිමා කළ ඉම ඔබ නෙතයි...
හුස්මක් වැටෙන දුරින් නොරැඳුණද මේ සංසාරණ්‍යයේ වීදියෙන් වීදියට යන ගමන නිමාවන තෙක්
මගෙ මැණික ඉතින් මම නුඹට ආදරෙයි....
(ගී පද නිමැවුම: කුලරත්න ආරියවංශ
ස්වර රටා නිමැවුම: රෝහණ වීරසිංහ
ගායනය - මාලිනී බුලත්සිංහල සහ මිල්ටන් මල්ලවාරච්චි)