2022 නොවැම්බර් 27 වන ඉරිදා

ජීවිතය ආරණ්‍යයක් නම් එහි සෙනසුන ආදරයයි....

 2022 නොවැම්බර් 27 වන ඉරිදා, පෙ.ව. 06:00 174

ෂැම්පේන් එක්ක හිත යාවෙන ලස්සන මතක ගොඩාක් මගේ ජීවිතයේ එක එක තැන්වල තියෙනවා. ෂැම්පේන් තරමටම රසවත්, ඒ හැම මතකයකටම මම හරි ළෙන්ගතුයි... ෂැම්පේන් වීදුරුවක් එක්ක හරි ‍රොමාන්තික චිත්‍රපටයක දසුන් අතරේ මම මාත් එක්කම කතා ක‍රන රාත්‍රියක මගේ හිත නැවතුණේ Mr. and Mrs. Iyer චිත්‍රපටය ළඟ...

මතක මුද්‍රා සංසාර මඟතොට පුරාවට අරන් එන තැන් ජීවිතයේ තියෙනවා ඔයාට දැනිලා තියෙනවද? ලෙයටම කැලතිලා හදවතේ මලක් වගේ පිපිලා ජීවිතය පුරා පැලවෙන්නේ ඒ මතක මුද්‍රාවන් කියලා ඔයාට හිතිලා නැද්ද? ඔව්.. ආදරය පාරමිතාවක් සේ නොපිරුවත් ආදරයට ඇත්තටම ආදරය කරන තැන්වලදි ඒ ආදරයත් සංසාරය පුරාම දැවටෙමින් නැලවෙමින් ඇවිලෙමින් අවුලවමින් අපි එක්ක එනවා...

Mr. and Mrs. Iyer අවසානයේ නිහඬවම අහන ප්‍රශ්නයට මම හරි ආසයි... ආදරය ඇත්තටම තියෙන්නේ ආදරය දැනෙන තැන්වලම විතරයි නේද? අයිතිය ආදරය විදිහට දකින සාම්ප්‍රදායිකත්වයෙන් ඇණ ගසා රාමු කළ සම්මතය අතික්‍රමණය කරමින් ඒ දෙන උත්තරයට මම හරි ආසයි.

නාඳුනන ඔවුන් දෙදෙනා හමුවන්නේ බස් රථයක් තුළ. ඒ දිගු ගමනක් යද්දි. ඇය පුංචි දරුවෙකුගේ මවක්. ගමනාන්තයේදි ඇගේ සැමියා එනවා ඇය කැටුව යන්න. එහෙත් ගමනාන්තය තෙක් ඔවුන් මුහුණදෙන අනපේක්ෂිත සිදුවීම් දාමයත් එක්ක තමයි එම චිත්‍රපටයේ ප්‍රස්තුතය දිගහැරෙන්නේ. 

ඒ හින්දු - මුස්ලිම් ගැටුමක් එක්ක ඇවිලී යන ප්‍රශ්නයක්. නාඳුනන ඔහුත් ඇයත් වර්ගවාදීන් හමුවේ Mr. and Mrs. Iyer වෙන්නේ ඒ මොහොතේදී.. රැයක් ගෙවෙන තුරු ඔවුන්ට එක් නවාතැනක තනි වී හිඳින්නට සිදුවෙනවා. ඒ රාත්‍රිය කෙළවර බොහෝ දේ සිදුව ඇති වග කියන්නේ ඇගේ නළල මත රැඳි රතු පාට ලොකු මොට්ටුව විසිරී මැකී තිබූ සලකුණෙන් විතරයි...

ආදරය හමුවෙන තැන් ජීවිතයේ හරි ලස්සනයි.. ඒ ආදරයට අනුරාගයේ පිනි දිය ඉසෙන තැන් හරි චමත්කාරයි. ආදරය සෞන්දර්යාත්මක හැඩතලවලින් විචිත්‍රවත් කරන්නේ අනුරාගයේ ඒ රිදීවන් හැඩතල එක්ක... ආදරය විතරක්ම විසිරෙද්දි ජීවිතය මත අවර්ණයි පවිත්‍රයි. ඒත් අනුරාගයේ අසෙනි වැහි ඒ මත වැක්කෙරෙද්දි ජීවිතය කියන්නේ ආදරණීය උන්මාදයක්...

ඒ උන්මාදය විඳලා තියෙනවා නම් ඔයාට දැනෙයි හුස්මක් හුස්මක් ගාණේ... ඔව් හුස්මක් හුස්මක් ගාණේ ජීවිතය විඳින වග... විඳින හැම මොහොතකම ජීවිතය දැනෙන වග...

ආදරය ආදරය විදිහට දැනෙන තැන ඇයි කොන්දේසියක්... ඇයි සම්මතයන්.. ආදරයක් ඒ සියලු පවුරු බිඳගෙන ගිය තැනකදිත් හමුවෙන්න පුළුවන්..

කොහෙදි කොහොම හමුවුණත් ඊටත් එහා සුන්දර හැඟීමක් මේ ලෝකයේ තවත් නෑ...

ආදරය කියන්නේ ඉල්ලීමක් නොවෙයි... යළිත් කිසිවක්ම නොඉල්ලමින් පිරිනමන මේ ලෝකයේ තියෙන සුන්දරම මනෝභාවයක් බවට ආදරය පරිවර්තනය කරන්න පුළුවන් නම් ආදරය සුන්දරම වෙසෙකින් විඳින්න පුළුවන්... ආදරය කරපු හිතින්ම ආදරය කළ කෙනා කිසිම ලෝභකමක් නැතුව තව කෙනෙකුට බාරදීලා රිදුණු තැන් දරාගෙන හැරී යන්නත් පුළුවන්.. එහෙම හැරුණු තැන් ඔයාගේ ජීවිතයේ කොතනක හරි තියෙනවා නම් ඔයාට මම මේ කියන හැඟීමත් දැනිලා ඇති. ජීවිතය ආරණ්‍යයක් නම් එහි සෙනසුන තමයි ආදරය.. හැබැයි ආදරය ආදරය ලෙසින්ම හමුවෙන තැන්වලදි විතරක්...

I සංජු