චලන රූපය මිනිස් ඇස මත මවාලන සෞන්දර්ය මෙතෙකැයි කිව නොහැකියි. චලන රූපයේ අද්විතීය නිමැවුම ''සිනමාව''. සිනමාව විවිධාංගීකරණය වූ විෂයක්. වාර්තාමය සිනමා පට කියලා කියන්නෙත් ඒ අතරින් එකක්. වාර්තාමය සිනමාපට අතරිනුත් වනජීවී වාර්තාමය සිනමාව බොහෝම සුවිශේෂීයි. අපි කතා කරන්න සූදානම් වෙන්නෙ දේශීය වශයෙන් නිෂ්පාදනය වුණු , රටට ජාත්‍යන්තර කීර්තියක් රුගෙන එන වනජීවී වාර්තාමය චිත්‍රපටයක් පිළිබඳ. එහි නම “Sri Lanka – Leopard Dynasty”.
යාල සහ විල්පත්තු වනෝද්‍යානයන්හි වෙසෙන වන සතුන්ගේ හැසීරීම් ඇසුරේ තමා මේ නිර්මාණය බිහිවුණේ. “Sri Lanka – Leopard Dynasty” වනජීවී වාර්තාමය සිනමා සිත්තම ජාත්‍යන්තර වනජවී නාලිකාවක් වන “Nat Geo WILD” නාලිකාවේ විකාශය වෙනවා.
මේ දිනවල ජර්මනියේ විකාශය වන අපූරු ශ්‍රී ලාංකික වනජීවී වාර්තාමය සිනමා සිත්තම ඉදිරියේදී ලෝකෙ තවත් රටවල් රුසක විකාශය වීමට නියමිතයි. සත්තකින්ම ඉදිරි වසර කිහිපය තුළ “Sri Lanka – Leopard Dynasty” ලොව පුරා විකාශය වේවි. ඒකට හේතුව මේ නිර්මාණය තියෙන ගුණාත්මක බව කියලා කිව්වොත් අපි වැරදි නැහැ.
විදේශීය කණ්ඩායම් අපේ රට තුළ රූගත කරපු ජාත්‍යන්තර නාලිකාවල විකාශය වුණ වනජීවී වාර්තාමය චිත්‍රපට පිළිබඳ ඔබ අසා ඇති. අඩු තරමින් ඔබ Discovery, National Geographic වැනි රූපවාහිනී නාලිකාවල වනජීවී වැඩසටහක් හෝ ඔබ බලා ඇති. අපේ නිර්මාණයත් ඒ කිසිවකට දෙවෙනි නැහැ. ඒ නිසාමයි මුළුමනින්ම දේශීය නිෂ්පාදන කණ්ඩායමක් විසින් නිර්මාණ කරපු මේ සිනමා සිත්තම “Nat Geo WILD” නාලිකාව තුළ විකාශය වන ප්‍රථම ශ්‍රී ලාංකික වනජීවී වාර්තාමය චිත්‍රපටය බවට පත්වුණේ.
ඒ විතරක් නෙවෙයි. මේ නිර්මාණය තවත් ජාත්‍යන්තර කීර්තියක් අපේ රටට රැගෙන ආවා. පහුගිය දවසක ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති “WILDLIFE CONSERVATION FILM FESTIVAL” අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ ආසියාවේ හොඳම වනජීවී චිත්‍රපටයට හිමි සම්මානය අපේ “Sri Lanka – Leopard Dynasty” වනජීවී චිත්‍රපටය දිනා ගත්තා.
සෑම වසරකම ඇමරිකාවේ පවත්වන ලෝකයේ ඉහළ පෙළේ වනජීවී වැඩසටහන් අගයන සිනිමා උළෙල ලැබුණු මේ ඇගයුම, කිසිසේත්ම සුළුකොට තකන්න බැහැ. ඇත්තටම අපේ රටට ලොකු ආඩම්බරයක් “Sri Lanka – Leopard Dynasty” නිෂ්පාදන කණ්ඩායම අත්පත් කරලා දීලා තියෙනවා.
මේ වගේ සුවිශේෂී නිර්මාණයක් කරපු පිරිස කවුද? මෙහි නිෂ්පාදකයා වන්නේ වෛද්‍ය ක්ෂේත්රයේ ඉතා දක්ෂ පිළිකා විශේෂඥ වෛද්‍යවරයෙක් වන මහේන්ද්‍ර පෙරේරා මහතා. අධ්‍යක්ෂක තිවංක රුක්ෂාන් පෙරේරා. තිවංක ඇමෙරිකා එක්සත් ජනපදයේ Academy of Art විශ්වවිද්‍යාලයෙහි තිර රචනය, සංස්කරණය සහ සිනමාකරණය පිළිබද උපාධිධරයෙක්. ඔහු විසින් නිර්මාණය කරපු වනජීවී කෙටි චිත්‍රපට සහ තවත් නිර්මාණ ඇමෙරිකා එක්සත් ජනපදය, මැලේසියාව, ඉන්දියාව වැනි රටවල පැවැත්වෙන ප්‍රධාන පෙළේ සිනමා උළෙලවල්වලදී ජයග්‍රහණ අත්කරගෙන තියෙනවා.
“Sri Lanka – Leopard Dynasty” හී අධ්‍යක්ෂණය වගේම තිර රචනය සහ සංස්කරණ කටයුතුත් සිදුකරලා තියෙන්නෙ තිවංක රුක්ෂාන් විසින්මයි. විනාඩි 45කින් සමන්විත “Sri Lanka – Leopard Dynasty” වනජීවී වාර්තාමය සිනමා සිත්තම රූපගතකොට නිෂ්පාදන කටයුතු අවසන් කරන්න වසර 02ක පමණ කාලයක් ගතවෙලා තියෙනවා.
මේ වැඩේට එල්ලවුණු අභියෝග බොහොමයි. විවිධ මානව ක්‍රියාකාරකම්, දේශගුණික, කාලගුණික තත්ත්වයන් ඒ අතරින් කිහිපයක් විතරයි. විශේෂයෙන්ම ජාත්‍යන්තර නාලිකාවක විකාශය කිරීමට සඳහා සුදුසුකම් ලැබීමට නම් ඉතා උසස් තාක්ෂණයෙන් යුතු පිලිවිතරයන් අනුකූලව රූපරාමු පටිගත කළයුතු යුතු වුණා. ඒ නිසා අපේ දේශීය නිෂ්පාදක කණ්ඩායමට තවත් විශාල වෙහෙසක් දරන්න සිද්ධවුණා නිර්මාණය වෙනුවෙන්.
මෙහි රූගත කිරීම්වලදී විශාල අභියෝග රැසකට මුහුණ දුන්න චරිතයක් තමා මෙහි ප්‍රධාන කැමරා ශිල්පියා වන ධනූෂ බණ්ඩාර ඇතුළු කණ්ඩායම. මේ කාරනේදී සහාය කැමරාකරණයෙන් ඩිලාන් සිගේරත්, කැමරා සහායක ලෙස රොෂාන් පෙරේරාත් කටයුතු කරලා තියෙනවා. ඒ වගේමයි නිෂ්පාදන කළමනාකරු වශයෙන් කටයුතු කරලා තියෙන්නේ පියසේන ජයවික්‍රම මහතා.
අපි දැකලා තියෙනවා අප්‍රිකානු මහද්වීපය ප්රමුඛ ලෝකයේ හුඟාක් රටවල සංචාරක කර්මාන්තයේ දියුණුවට මේ වගේ වැඩසටහන්, චිත්‍රපට හේතු වෙන ආකරය. කොතරම් සොබාව සෞන්දර්යයක් තිබුණත් අපේ රට ගැන ඒ වගේ පණිවිඩයක් ලෝකයාට අරගෙන යන්න බැරිවුණා. එහෙම වුණා නම් අපේ සංචාරක කර්මාන්තය තවත් සංවර්ධනය වෙනවා. කොතරම් මුදල් වියදම් කළත් ගුණාත්මකව ඒ වැඩේ කරන එක ඇත්තටම ලෙහෙසි නැහැ.
කොහොම නමුත් “Sri Lanka – Leopard Dynasty” වනජීවි වාර්තාකරණ චිත්‍රපටය ඒ කාරණාවට මුලපුරලා තියෙනවා. ඉදිරි වසර කිහිපය තුළ මේ නිර්මාණය ලොවපුරා විවිධ නාලිකාවල විකාශනය වේවි. අර්බුද සමයේ සංචාරක කර්මාන්තයට පුංචි හෝ අස්වැසිල්ලක් “Sri Lanka – Leopard Dynasty” සපයයි කියලා අපි හිතනවා.
ඇතැම්විට මේ නිර්මාණය මිල කළ නොහැකි සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් වෙන්නත් පුළුවන්. අපි බලන් ඉමු.
I නිසල්