ඇස මනස දෑඟිලි සුසර කළවිට බිහිවන ලොව විශ්මිතම කලාකෘතිය ''සිතුවමයි''. අප අද ඔබ හමුවට කැඳවාගෙන එන්නේ රටක් ආදරය කරන සිත්තරෙක්. ඔහු නමින් ශානක කුලතුංග. ශ්‍රී ලාංකික නූතන සිතුවම් කලාව තුළ ශානක දැනටමත් කතාබහට ලක්වන චරිතයක්. පසුගිය දිනවල ලයනල් වෙන්ට්ඩ්හීදී පැවැත්වුණු Hexa ප්‍රදර්ශනය නිසාත් ශානක කුලතුංග පිළිබඳ කතාබහක් නිර්මාණය වුණා.
මානව රූපයේ සුන්දරත්වය විනිවිද ගැඹුර සොයා සෞන්දර්ය චාරිකාවක නිරතවන මේ අපූරු සිත්තරා වෛද්‍යවරයෙක්. නමුත් ජීවක වෘත්තීය සිත්තර කලාවට ආභරණයක් කරගන්න ඔහු තුළ එතරම් මනාපයක් නැත. එමනිසාම වෛද්‍යවරයෙකු ලෙස ඔහුගේ දිවියේ තොරතුරු අප මෙහි ලා සටහන් නොකිරීමට තීරණය කළා.
ශානක සිත්තරෙකු ලෙස ගොඩනැගීමේ ජීවන පුවත පළමුව විමසා බැලීම වටිනවා. පාසලේ පළමු පංතියට ඇතුළත් වූ දා පටන් මේ අපූරු දරුවා තුළ සිත්තරෙකු සිටියේය. බාලේ ඇඳි සිතුවම්වල ගැබ්ව තිබුණු සහජ හැකියාව නිසාමයි ශානක චිත්‍ර කලාව උගතයුතු බව දෙගුරුන් තීරණය කළේ.
ශානක කුලතුංග සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවේ කොස්වත්ත එම්.ඩී.එච්. ජයවර්ධන විදුහලේ. පාසලේ හැමදෙනාම ශානකව අඳුනගෙන හිටියෙ චිත්‍ර විෂයට උපන් හපන්කම් තියෙන දරුවෙක් විදිහට. ඒත් ඇත්තටම පාසල් කාලේ ඉදිරිපත් වුණු තරගවලින් සිතූ තරම් විශාල ජයග්‍රහණ ඔහුට ලැබුණේ නැහැ. ඒ පිටුපස සැඟවී තිබුණ හේතුව දරුවෙකුගේ පරිචය ඉක්මවා යන හැකියාවක් ඔහු තුළ තිබීම සහ ඒ හැකියාව විශ්වාස කිරීමට සමහරුන් මැලිවීම. කොහොම නමුත් 1993 වසරේ විතර පළමු වතාවට සමස්ත ලංකා ජයග්‍රහණයක් ලබන්න ශානක කුලතුංගට හැකිවුණා.
ලයනල් රණවීර නම් ප්‍රකට චිත්‍ර ගුරුවරයාගේ ආභාෂයත් ශානකට මේ කාලේ ලැබුණේ ඔහුගේ පියාගේ මැදිහත්වීම නිසා. සාමාන්‍ය පෙළ විශිෂ්ට ලෙස සමත් වුණාම, තෝරාගන්න විෂයධාරාව පිළිබඳ පුංචි ගැටලුවක් ඔහු තුළ නොවුණාම නෙමෙයි. ඒත් අවසානයේ කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වෙලා ජීව විද්‍යාව විෂය ධාරාවෙන් උසස් පෙළ අධ්‍යාපනය ලබන්න ශානක තීරණය කළා. රාජකීය ආගමනයත් ඔහුගෙ දිවිසැරියේ පරිවර්තනීය අවස්ථාවක් විදිහට හඳුන්වන්න පුළුවන්.
රාජකීය විද්‍යාලයේ ''සිතිජයෙන් ඔබ්බට'' නම් වාර්ෂික චිත්‍ර ප්‍රදර්ශනයේදී ශානක කුලතුංග කියන තරුණ සිත්තරා ඇගයුමට ලක්වුණා. ඒ යුගයේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්යවරුන් පවා ශානකගෙ සිතුවම් ඇගයුවා. විෂය ප්‍රාමාණිකයන්ගෙන් ලැබුණු දිරිගැන්වීම් මේ තරුණයා තුළ ඇති කෙළ් අපූරු ජවයක්.
චිත්‍ර කලාව පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කළ යුතුය කියන හැඟීම ඔහු තුළ ඇති වුණා. උසස් පෙළ අවසන් වෙනවාත් එක්කම මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවරගේ විභවි ඇකඩමියට මේ අපූරු තරුණ සිත්තරා ගමන් කළා. මේ කලාවේ ගැඹුර, මානව රෑපයේ සෞන්දර්ය බොහොම තදින් ශානකගේ සිතට වදින්නේ මෙන්න මේ කාලයේ.
සිතුවම් කලාව වගේම ජීවවිද්‍යාවෙන් මිනිස් සිරුර පිළිබඳ කතාකරන කායව්‍යඡේදය (Anatomy) වගේ විෂයන් මේ කාලේ ශානකට මුණගැසුණා. ඒ සමපාත බවත් බොහොම අපූරුවට දැනෙනවා ඔහුට.
ඔහුගේ මීළඟ නැවතුම වුණේ සරසවිය. වෛද්‍යවරයෙක් වෙන අදහසින් ශිල්ප හැදෑරුවත් ඔහුගේ සහජ සිතුවම් කරන හැකියාව මේ කාලේ ඔහු කෙරෙන් දුරස් වුණේ නැහැ. සරසවියේ කලා කටයුතුවලට වගේම මිත්‍රයන්ගේ ආලේඛ්‍ය චිත්‍ර අඳින්නත් ශානක මේ කාලේ කටයුතු කළා.
වෛද්‍ය විද්‍යාලයෙන් ලයනල් වෙන්ට්ඩ්හී පවත්වපු චිත්‍ර ප්‍රදර්ශනවලටත් ශානක තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කළා. කොහොම හරි වෛද්‍ය විද්‍යාලයට ශානක කුලතුංග සමුදුන්නේ 2009 වසරේ.
ශානක සීමාවාසික පුහුණුවට කළුතරට ආවේ. ඒත් තරුණ වෛද්‍යවරයාට වෘත්තීය ජීවිතයේ පළවෙනි නවාතැන වෙන්නේ හරි අපූරු ප්‍රදේශයක්. ඒ වව්නියාවේ සෙට්ටිකුලම. පශ්චාත් යුද සමයේ ශානකගේ සෙට්ටිකුලම් ආගමනය ඔහුගේ සිතුවම් කලාවේ මහා පෙරැළියටත් හේතුව වුණා.
මානව ප්‍රකාශනයන් පිළිබඳ වස්තු විෂයයන් මේ කර්කෂ පොළොව මතදී ඕනෑතරම් ශානකට හමුවුණා. ඔහු ආත්මීය වශයෙන් හොයමින් හිටපු මුහුණු හැඩතල උතුරුකරයේ මේ පොළොවේ තිබුණා. ඉතින් මේ ප්‍රදේශයේ දකින දසුන් එක්ක තමන්ගෙ සිත්තර කලාවේ ඊළඟ අදියරට අපේ සිත්තරා මුලපිරුවා. මෙහිදී සංකල්පීය වශයෙන් සිත තුළ නැගෙන සිතුවම් සැලසුම් සහගතව සංවිධානය කොට, ආදර්ශක ලෙස පුද්ගල චරිත කැඳවා ගනිමින් ශානක සිතුවම් කලාවට තවදුරටත් නැඹුරු වුණා. ඇත්තටම එතැනදී සිද්ධ වුණේ ආරම්භයක්.
මී හරකුන් දක්කාගෙන යන පිරිමි දරුවා, එළුවන් බලාගන්නා ගැහැනු දරුවා, ශානකගේ සිතුවම්වල තේමා බවට පත්වුණේ අන්න එහෙම. පශ්චාත් යුද සමයේ වව්නියාවේ මිනිසුන්ගේ හැඟීම්, මිනිසුන් මුහුණ දෙන අභියෝග පිළිබඳ අපූරු සංකල්පීය ප්‍රකාශනයන් මේ තරුණ සිත්තරා අප වෙනුවෙන් නිමැවූයේ හුදකලාවේ. මේ සිතුවම් කොළඹ රුගෙන ඒමත් එක්ක එහි ඇති සංකේතාත්මක වටිනාකම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ට වැටවුණා. ඒ තමයි ශානක කුලතුංග සිත්තරාගේ දිවිසැරියේ තීරණාත්මක අවස්ථාව.
ඔහුට Sri Lankan Art නම් චිත්‍ර ප්‍රදර්ශනයට සිතුවම් ඉදිරිපත් කිරීමේ පුරුද්දක් ඇතිවීමටත්, ශානක පිළිබඳ සිත්තර කලාව තුළ පුළුල් සංවාදයක් ඇති වීමටත් එය හේතුවක්. 2017 වසරේදී පමණ ශානක කුලතුංග සිත්තරාගේ පළමු ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය පවත්වන්නට යෙදුනා. මේ අතර එම වසරේදීම ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් සංවිධානය කරන ලද චිත්‍ර ප්‍රදර්ශනයකදී ප්‍රථම ස්ථානය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වීමටත් ඔහුට අවකාශ උදා වුණා.
2020 වර්ෂය රාජ්‍ය චිත්‍ර මූර්ති උළෙලෙත් ආලේඛ්‍ය සිතුවම් අතර පළමු තැන ලැබෙන්නෙ මේ අපූරු සිත්තරාට. 2021 වනවිට දෙවැනි ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වන්නට ශානකට හැකිවුණා. මීට අමතරව විදෙස් රටවල්වල චිත්‍ර ශිල්පීන් වෙනුවෙන් පවත්වන කඳවුරුවලට වැඩ සටහන්වලට සහභාගී වෙන්නත් ඔහුට අවකාශ සැලසුණා.
වෛද්‍ය වෘත්තියෙනුත් ඔහු ඉදිරියෙන් ඉදිරියට ගමන් කරනවා. නමුත් ආරම්භයේ සඳහන් කළා වගේම වෘත්තීය ජීවිතයත්, චිත්‍රකලාව හා සබැදි ජීවිතයත් වෙන් වෙන්ව තබාගන්නයි ශානක කුලතුංග ප්‍රවේසම් වෙන්නෙ. ඇත්තෙන්ම ඔහු පෞද්ගලික වෛද්‍ය සේවාවලින් මුලින්ම බැහැර වෙනවා. ශානක ඉස්පාසුවක් ලැබෙන හැම මොහොතකම සිය ආත්මීය භාෂණය වන සිතුවම්කරණයේ නිරත වෙමින් සිටින්නේ. මේ සිත්තරා අපූරු අමුතු චරිතයක්. ඔහු හැකියාව අගතැන් හී තබා කටයුතු කරන්නෙක්. ඒ නිසාම ඔහුගේ නම අනාගතයේ දිනක ලාංකික සිත්තර කලාවේ අගතැන්හි ලියැවෙනු නොඅනුමානයි.
ශානක ඔබට හදසර අපේ සුබපැතුම් !
I නිසල්