දෛවයෝගයකින් මෙන් සිදුවූ මේ ගමනේ දී දක්නට ලැබුණු අරමුණු තුනෙන් ඔහු තුළ තදින් කා වැදී ගියේ ය. මහලු මිනිසකු ද රෝගියකු ද මෘත ශරීරයක් ද දැක කම්පාවට පත්, හැඟීම් බහුල මේ කුමරා ඒ බියකරු විපතේ තේරුම කිමෙක් දැයි තම රියැදුරාගෙන් ඇසුවේ ය. මේ විපත් තුන මුළු මනුෂ්‍ය වර්ගයා වෙත ම පැමිණෙන බව දැන ගත් කුමරා එයින් අතිශයින් කම්පිත විය. මින් පසු ඔහු කලින් ගත කළ ප්‍රීතිමත් පහසු ජීවිතය අප්‍රසන්න විය. තමා සතු ලෞකික වූ හැම සැප සම්පතක් ම අත්හළ එතුමා මිනිසුනට විඳීමට සිදු වී ඇති දුක්වලින් ඔවුන් මුදවා ගැනීමේ මාර්ගය සෙවීමට කැප විය. අවසානයේ දී ඒ උත්තමයාණෝ අවුරුදු ගණනකට පසුව බුදු වී වදාළහ. තම ප්‍රඥාලෝකය වටහා ගත් උන්වහන්සේ මිනිසුනට මෝක්ෂ මාර්ගය ඉගැන්වීමට පටන් ගත්හ.
ජීවිතේ තේරුම කිමෙක් ද යනු පැහැදිලි කරුණෙක් නොවේ. එතරම් නොපැහැදිලි දෙයක් සෙවීම සඳහා සිදුහත් කුමරුනට මෙන් අප සියලු දෙනාටම ප්‍රේමය, බලය, ධනය, සුවපහසුව හා ගෘහ බන්ධන සුඛය වැනි දේ අත්හළ නොහැකි ය. එහෙත් අන්තිමේ දී අප සියලු දෙනා විසින් ම නැඟිය යුතු වන ප්‍රශ්න සමහරෙක් ඇත. මිනිසුන් දුක් විඳින්නේ කවර හෙයින් ද? දුකින් නිදහස් වීමට ඔවුන් විසින් කළ හැකිව ඇත්තේ කිමෙක් ද?
සිදුහත් කුමරුන් එතරම් තද කම්පාවතට පත් කළ පීඩාවන්ගෙන් දෙකක් වන ජරාව හා ව්‍යාධිය නැති කරන ලද අනාගත යුගයක් ගැන අපේ මනෝරාජ්‍ය - නවකථාකාරයෝ බලාපොරොත්තු වෙති. එහෙත් ඉතා දක්ෂ ලෙසින් නවීන භෞතික විද්‍යාව භාවිත කිරීමෙන් පවා මිනිසාට තම අන්තිම සතුරා වන මරණය පිටුදැකිය හැකි බවෙක් තව ම ඒ ගත් කරුවනට පෙනී ගොස් නැත. ලෝවැස්සා කැමැති නම් ලෝකයත් එහි ඇති ධන සම්පත්තිත් වඩා සිහිකල්පනාවෙන් සංවිධානය කිරීමෙන් සියලු දෙනාට ම ආරක්ෂාවත්, සෞඛ්‍යයත්, සාමයත්, සෞන්දර්යයත්, තාරුණ්‍යයත් ලබා දිය හැකි ය. එහෙත් අපට දහසක් අනාරක්ෂාවලටත් දහසක් අන්තරායවලටත් සැපතට හා අභ්‍යන්තර සාමයට හා ඇති දස දහසක් තර්ජනවලටත් මුහුණපාන්නට සිදු වී තිබේ. ගින්න හා ජලගැල්ම, වසංගත හා භූමිකම්පා, රෝග හා ව්‍යසන, යුද්ධ හා මනුෂ්‍ය ඝාතන යන මේවා අපට ඇති බාහිර තර්ජනවලින් සමහරෙකි. මිනිසාගේ අධ්‍යාත්ම ලෝකයෙහි ඇති දුර්වලතා හා අසම්පූර්ණතා ද රාශියෙකි. ආත්මාර්ථකාමය, මෝහය, ඊර්ෂ්‍යාව, ද්වේශය හා තෘෂ්ණාව යන දුර්ගුණ, ඒ දුර්ගුණ ඇති පුද්ගලයාටත් ඔහු සමග ජීවත් වන සෙස්සන්ටත් දුක දනවන උල්පත් ය.
සංගීතයේ නැතහොත් සූර්යෝදයෙක සෞන්දර්යයෙන් නැහැවී ගිය විටෙක දී විශ්වයේ හදවතෙහි ආනන්දයකුත් ගැඹුරු අර්ථයකුත් තිබිය යුතු යැයි අපට සිතෙයි. එහෙත් අපට කිසියම් පෙනීමක්, කිසියම් දයාවක්, කිසියම් දාර්ශනික විස්මයක් යන්තමෙකින් හෝ ඇති නම් ක්‍රෑරතාවන්ගෙන් ද නො ඉවැසිය හැකි ප්‍රාර්ථනා බිඳීම්වලින් ද පිරී ඇති ජීවිතයේ සත්‍ය සිද්ධිවලට පෙරළා පැමිණි විට නො අසා සිටිය නොහැකි දාර්ශනික ප්‍රශ්න කොටසෙක් ඇත. හුදු ජීවත්වීමේ පැහැදිලි ලෞකිකාර්ථය හැරුණු විට එයින් ඔබ්බෙහි වූ ජීවිතයේ තේරුම හා ප්‍රයෝජනය කිමෙක් දැයි සිහිබුද්ධියේ නාමයෙන් ඇසිය යුතු ය. මම කවරෙක් වෙම් ද? මා මෙලොව සිටින්නේ කවර හෙයින් ද? මා යන්නේ කොහි ද? මා දුක් විඳින්නේ ඇයි ද? අනෙක් මිනිසුන්ට මගේත් මට ඔවුන්ගේත් ඇති නියම සම්බන්ධතාව කිමෙක් ද? විශ්වයේ බලවේගයන්ගේ ඔවුනොවුන් කෙරෙහි වූ මහා ව්‍යාපාරයට අපේ ඇති පොදු සම්බන්ධතාව කවරේ ද? අපෙන් ඔබ්බෙහිත් අප අවටත් ඇති මහා බලයට අපේ පොදු සම්බන්ධතාවක් තිබේ නම් ඒ කවරේද?
බොහෝ කලෙක සිට මිනිසුන් නැවත නැවතත් මතු කරන්නේ මේ මූලික ප්‍රශ්න ම ය. මේවාට උත්තරයක් නැතිව කායික වූ මානසික වූ හෝ දුක් වේදනා අඩුකිරීම පිණිස යොදනු ලබන හැම තාවකාලික පිළියමෙක් ම අන්තිමේ දී අර්ථ විරහිත වෙයි. දුක් ඇති විය හැකි බව ම විවරණය වන තාක් කිසිවක් විවරණය වී නැත. ඉතාමත් නොවැදගත් වූ කුඩා සතුන්ගේ පවා දුකට ඇති හේතු දක්වන තාක් කිසි ම දෙයකට ඇති හේතු දැක්වූවා නොවේ. එහෙත් ජීවිතය පිළිබඳව අපගේ ඇති දාර්ශනිකාවබෝධය ද අසම්පූර්ණ ය.
(සංසාර මන්දිර - කන්නිමහර සුමංගල හිමි)